පෙර භවයේ චුතියට පෙර ජවන් සිත්වලින් ගන්නා අරමුණ ඊළඟ භවයේ ප්‍රතිසන්ධියට හේතු ප්‍රත්‍යවන බව අභිධර්මයෙන් විස්තර කැරේ. මරණාසන්න මොහොතේ ඇති වන ඒ සිතිවිල්ල ඊළඟ භවයේ සුගතිගාමී වීමට හෝ දුගතිගාමී වීමට හෝ හේතුවන බව එයින් පැහැදිලි වේ. ඒ අනුව මිනිසා තමන්ගේ සමීපතමයන්ට හෝ දේපළවලට බැඳුණු දැඩි ආදරයෙන් මරණයට පත්වුවහොත් හෙවත් මරණාසන්න මොහොතේ සිහිපත් වුවහොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ප්‍රේතාදී දුගතියක උපදී. එහි දී චිත්ත සන්තානය තුළ ලෝභ චෛතසිකය විසින් ඇති කරනු ලබන ආසාව හෙවත් ඇලීම ඒ උපත (ප්‍රතිසන්ධිය) සිදුකරයි.
එසේ ම යම් කිසි හේතුවක් නිසා යමෙකුට හෝ යම් දේපළකට හෝ අමනාපයෙන්, තරහෙන් චිත්ත සන්තානය තුළ ද්වේෂයක් හට ගත්තොත් රිදවීමේ පළිගැනීමේ චේතනාවෙන් ඒ පුද්ගලයා හෝ වස්තුව විනාශ කිරීමේ අදහසින් ඊට සමීපව උපත (ප්‍රතිසන්ධිය) ලබයි. මේ දෙයාකාරයෙන් කිනම් ආකාරයකින් උපත ලැබුවත් එය ඊට අදාළ වන පුද්ගලයාට අහිත කරයි.
තාරා කළුතර ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් සිසුවියකි. ඇය කුඩා කලම ඇගේ මව මිය ගියාය. පියා දෙවැනි විවාහයක් කැර ගෙන ඇති අතර ඔහු දියණියට සැලකිල්ලක්, උදව්වක් හෝ සොයා බැලීමක් නොකරයි. ඇය ජීවත් වූයේ ආච්චි ළඟය. ආච්චි ඇයට පුළුවන් අන්දමින් ඇය රැක බලා ගත්තාය. මීට අවුරුදු තුනකට පෙර එනම් තාරා පාසලේ පස් වැනි වසරේ ඉගෙනුම ලබද්දී ආච්චිද මිය ගියාය.
ආච්චි පුරුදුව සිටියේ මිනිපිරිය තුරුල් කොට ගෙන නිදා ගැනීමට ය. තාරා ද ආච්චිගේ උණුහුමට පුරුදුව සිටියාය. එදින ද ආච්චි අම්මාගේ තුරුලේ නිදා ගත් දැරිය වෙනදා මෙන් ම උදේ අවදි වූයේ පාසල් යෑමට සූදානම්වීමට ය. වෙනදා තමන්ට කලින් අවදි වන ආච්චි අම්මා අද තවමත් නින්දේය. “ආච්චි..... ආච්චි......” තාරා කීප වරක් ආච්චි ඇමතුවාය. ආච්චිට ඇහෙන්නේ නැත. තාරා ආච්චිගේ ඇඟට අත තබා සෙලවූවාය. වෙනදා උණුහුමට මෙළකට තිබුණු ආච්චිගේ ශරීරය ගල් වෙලාය. “නැන්දේ නැන්දේ... නැන්දේ....” අසල නිවසේ පදිංචි නැන්දාට ඇහෙන්නට කෑ ගැසුවාය. එසේ කෑ ගසමින් නැන්දා ෙසායා ගෙන ගොස් ඇය කැඳවාගෙන ආවාය. ආච්චි යළිත් තාරාට උණුසුම් වෙන්නට පැමිණෙන්නේ නැත.
ආච්චිගේ මරණයෙන් පසු තාරාගේ භාරකාරත්වය නැන්දාට පැවරිණි. නැන්දාගේ දරුවන් සමඟ හැදෙන්නට වැඩෙන්නට සිදුවිය. මාස කීපයකට පසුව තාරා හීනෙන් බිය වී කෑ ගසාගෙන රාත්‍රී අවදි වෙන්නට වූවාය. දහවලට හිටි හැටියේ සිහි නැතිව වැටෙන්නට වූවාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ද නොවීය. වෛද්‍ය පරීක්ෂණවලින් (සී. ටී. ස්කෑන්, ඇම්.අයි.ආර්. ස්කෑන්) ඇයට මීමැස්මොරය වැනි රෝගයක් නැති බවද තහවුරු විය.
“සෙත්මිණ” “නොපෙනෙන ලෝකය” විශේෂාංගය කියැවූ තාරාගේ නැන්දා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා තාරා කැඳවාගෙන ගියාය. එහිදි ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී තාරාගේ රෝග තත්ත්වය පැහැදිලි කළාය.
එහි දී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට තාරා අඬන්නට වූවාය. නොනවත්වා අඬන්නට වුවාය. ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන්නැයි ගවේෂකවරයා තාරාගේ නැන්දාට අවශ්‍ය උපදෙස් දුන්නාය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ.
එදිනද තාරා දිෂ්ටි ගැන් වු විට ප්‍රලය වී අඬන්නට වූවාය. ඇය හැසිරැණේ වියපත් කාන්තාවක් මෙනි. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ළමයාගේ ඇඟට ඇතුල්වෙලා ඉන්නේ?”
“මේ දැරිවිගේ ආච්චි.”
“ඇයි අඬන්නේ?”
“අනේ මහත්තයා, මට මේ පොඩි එකීව දාලා යන්න බෑ.”
“ඒ මොකද?”
“මේ අහිංසකීට කාත් කවුරුවත් නෑ.”
“ඇයි අම්මා තාත්තා?”
“මහත්තයා, දැරිවි පුංචි කාලෙම අම්මා උන සන්නිපාතය හැදිලා මැරුණා. එදා ඉඳලා කෙල්ල හදා වඩා ගත්තේ මම.”
“ඇයි තාත්තා”
“ඌ නොසන්ඩාලයා. මගේ පුතා වුණත් ඌ මනුස්සයෙක් නොවෙයි. ඌ වෙන ගෑනියෙක් අරගෙන වෙනම ජීවත් වුණා. කෙල්ල ගැන බැලුවේ නෑ. කිරිපිටි පැකට් එකක් අරගෙන දුන්නේ නෑ. පෑනක් පැන්සලක් කොපි පොතක් අරගෙන දුන්නේ නෑ. මම තමයි මට පුළුවන් විදිහට කෙල්ල හදා වඩා ගත්තේ.”
“තමුන්ට මොකද වුණේ?”
“මම වයසටම මළා මහත්තයා. අවුරුදු අසූවක් ජීවත්වෙලා ඉඳලා මැරුණා. අනේ මේ කෙල්ල රැයක් එළිවෙනකම් මගේ මිනියට තුරුල් වෙලා හිටියා. මම මැරුණු බවවත් කෙල්ල දන්නේ නෑ. මගේ මිනිය වළ දමන වෙලාවේ “අනේ ආච්චියේ..... මාව දාලා යන්න එපා.....” කියලා කෙල්ල ඇඬුවා. අනේ මහත්තයා මම ඉතින් කොහොමද කෙල්ල දාලා යන්නේ?”යි භූතාත්මය නැවතත් අඬන්නට වූවාය.
“ඇයි ඉතින් මිනිපිරීට ඔය තරම් ආදරේ නම් මේ කරදර කරන්නේ?”
“මම කරදර කරන්නේ නෑ මහත්තයා. මම දැනුවත්ව නම් මගෙන් කරදරයක් වෙන්නේ නෑ.”
“මනුස්සයන්ටයි අමනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. ඔබතුමිය උතුම් ආච්චි අම්මා කෙනෙක්. මිනිපිරීව ආදරෙන් හදා වඩා ගත්ත එක ලොකු පිනක්. ඒත් දැඩි ආදරය නිසා ඒ පින්වල විපාක වශයෙන් දේවත්වයක් ලබන්න බැරිවුණා. දැඩි ආදරය නිසා මිනිපිරී ගැන ඇලීම නිසා දැන් දුගතියක ඉපදිලා. ඔබ දැන් ඉන්නේ ප්‍රේතාත්මයක. ඔබ දැන් ජොසි නෝනා නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඔබ සමීප වුණාම තාරා අසනීප වෙනවා.”
“මම එන්නේ දැරිවි ආරක්ෂා කරන්නයි මහත්තයා.”
“ඇයි මම දූව බලා ගන්නවානේ. අම්මා කරදර වෙන්න එපා”යි තාරාගේ නැන්දා ද කීවාය.
“උඹ මේ දැරිවිට කිසිම වෙනසක් නොවෙන්න බලා ගන්නවාද?”
“ඔව් අම්මේ ඔව් මම නේනම්. වෙන කවුද බලා ගන්නේ. මෙතනට එක්ක ආවෙත් මමනෙ.”
“එහෙම නම් මට පොරොන්දු වෙයන්.”
“මම තාරා දුවට කිසිම වෙනසක් නැතිව මගේ දරුවන් වගේ ම බලා ගන්නවා”යි ඇය පොරොන්දු වී වැඳ වැටුණාය.
“ෙහාඳයි හොඳයි මම විශ්වාස කරනවා.”
“හොඳයි දැන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න”යි ගවේෂකවරයා භූතාත්මයට කීවේය.
“මම කොහේ යන්නද මහත්තයා?”
“බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහින් ඒ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙලා සතුටු වෙන්න.”
“එහෙම බැහැනෙ මහත්තයා. මට මොනවත් හිතෙන්නේ නෑ. කෙල්ල ගැනමයි හිතෙන්නේ. මේ අහිංසකීව දාලා බෝධිය ළඟට යන්න බෑ මහත්තයා. කෙල්ල දාලා යන්න හිත දෙන්නේ නෑ. මම දැරිවිට කරදර කරන්නේ නෑ. මම අවට ඉන්නම්. මම දැරිවිගෙ ශරීරයට ආයෙත් යන්නේ නෑ. දෙවියන් බුදුන් නමින් පොරොන්දු වෙන්නම්.”
“හොඳයි මේ ළමයා නැන්දාට කැමතියි. නැන්දාත් ළමයාට ආදරෙයි. ළමයාට දුකක් නොදී වෙනසක් නොකර බලා ගන්නා බවට නැන්දාත් පොරොන්දු වුණානේ. මම දැන් තවත් දවස් හතක් බෝධි පූජා තියන්න නියම කරනවා. මේ අය බෝධි පූජාවට යන කොට ඔබත් යන්න. දවස් හත අවසන් වන විට ඔබ බෝධීන් වහන්සේ ළඟ නතර වෙන්න. උදේ හවස ගිහින් ළමයාව බලලා ආපහු බෝධිය ළඟට යන්න. ගමේ පන්සල ඔබට පුරුදු තැනක්නේ. එතැන ඉඳගෙන පිනට දහමට අත හිත දෙන්න. එතකොට ඔය ඉන්න තත්ත්වයෙන් දිව්‍ය තත්ත්වයට ඉහළට යන්නත් පුළුවන්. මිනිපිරීට ආශීර්වාද කරන්නත් පුළුවන්” යැයි භූතාත්මය දැනුවත් කළේය.
උපදෙස් පරිදි බෝධි පූජා හත අවසන් වනවිට තාරාගේ හීනෙන් බියවීමත්, සිහි නැතිව වැටීමත් සම්පූර්ණයෙන් සුවපත් විය.
මතුගම - මහින්ද විජේතිලක
0 comments:
Post a Comment