728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    ධනු රැසේ ග්‍රහ පොකුරක්

     දෙසැම්බර් 18 දා උදේ 8.42 ට

    මේෂ-වෘෂභ-කටක කන්‍යා-වෘශ්චික-ධනු
    පෙර පින පල දේ කළ පව් සේදේ

    මිථුන-සිංහ තුලා-මකර 
    ආවේග මැඬගෙන යුක්තියට හිස නවන්න

    දෙසැම්බර් 06 දා පාන්දර 4.43ට සිකුරු ග්‍රහයා ගුරු හිමි ධනු රාශියට සැපත් විය.

     ලබන 18දා රවි ග්‍රහයාද ධනුවට යෑම සමඟම නිර්මාණය වන ග්‍රහ ගෙත්තම අනුව සෑම දෙනාම තම හැඟීම් පාලනය කර ගැනීමට ඉටා ගැනීම මැනවි.

    ලග්න වශයෙන් ගත් කළ මේෂ - වෘෂභ - කටක - කන්‍යා - වෘශ්චික සහ ධනු ලග්න හිමියන්ට විශේෂ සුබ ඵල ලැබෙන කාලයකි.

    මේෂ - ජය සතුට සම්පත

    ඔබට ලක්ෂ්මි දිව්‍යාංගනාවන්ගේ ආශීර්වාදය ලැබිය හැකි කාලසීමාවක් උදාවන්නේය. භක්තියෙන් යුතුව ලක්ෂ්මි දිව්‍යාංගනාවන්ට පුද පූජා තබා ආශීර්වාද පතන්න. වැඩිහිටියන්ට සැළකීමෙන් එකී බලය වර්ධනය කර ගත හැක.

    ගුරුවරු පූර්වාචාරීන්ට යුතුකම් ඉටු කරන්න. වයෝවෘද්ධව සිටින පැරණි ගුරුවරුන් සිටිත් නම් ඔවුන් බලන්නට යාම සඳහා අහම්බෙන් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ලබන්න. රුපියලේ සුළු ලාභයම තබාගෙන ව්‍යාපාරික කටයුතුවල නිරතවන්න.

    වෙළෙඳාම වැඩි වී ලාබය අධික වේවි. උගුරේ ආබාධයක් මතු කළ හැකි බැවින් කලබලේට උණු ආහාරපාන ගිල දමන්න යන්න එපා. අනපේක්ෂිත ලෙස අභූත චෝදනා අපවාද කීර්තිනාම හානි ආදියට ගොදුරු විය හැකි බැවින් විනිවිද භාවයෙන් සියලු දෛනික කටයුතු සිදුකොට ඇඟ බේරාගන්න බලන්න.

    වෘෂභ

    “පරාභව” බුද්ධ දේශනාවේ සඳහන් ලෙසට සූදුව පිරිහීමේ ලක්ෂණයකි. නමුත් කාලීන වශයෙන් මතු කෙරෙන ග්‍රහ බලය විසින් මනුෂ්‍යයා විසින් තමා සූදුවට පෙළඹීමත් අනුන් ලවා සූදු කෙළවීමත් සිදු කරනු ලබයි.

    ටික දිනකට මේ ග්‍රහචාරය ඔබට ද බලපායි. සූදු අන්තුවන් නම් මෙයින් අගාධයටම යයි. ලොතරැයි සූදුවේද තම තරමට යෙදුනොත් යම් ජයක් අත්කර ගත හැක. එකවර ස්විප් ටිකට් දහයක් අඩංගු කාඩ් එකක් අරගෙන බලන්න. උත්පත්ති ජන්ම පත්‍රයේ ද ධනයෝග ඇතිනම් ඔබට ජයග්‍රහණ ඇත.

    ඔබේ හිස මත පැටවී තිබූ විශාල වගකීමෙන් ලිහිල් වෙන්ට කාරණා යෙදේ. ඔබ විසින් අන් කෙනෙකු තත්ත්වයෙන් පහකිරීමට හෝ නිවසකින් ඉඩමකින් පලවා හැරීමට හෝ ක්‍රියා කර ඇති නම් කළ පව් පස්සෙන් එළවාගෙන විත් දඬුවමක් දෙන කාලයක් ද වෙයි.

    ටිකක් කල්පනාකාරී වන්න. සමාජයේ උසස් යයි සම්මත කෙනෙකුගෙන් වැඩ උදව්වක් ද ලබාගත හැක. කුමන වයසක් ගෙවන අයෙකු වුවත් නව නිර්මාණයක් කරන්නට අලුතින් කිසියම් විෂය දැනුමක් ලබාගැනීමට හෝ පිළිවන්කමක් ලැබෙනු ඇත. ඔබට විශ්වකර්ම බලයක් ලැබේ.

    මිථුන

    ඔබට ලැබූවේ අපූරු ග්‍රහචාරයකි. ඔන්න අෂ්ට ලෝක ධර්මතාව ඔබම අත්විඳින්න. නම්බු නාම ප්‍රශංසා නින්දා අපහාස ඔබව සොයා එනවා. ඒ නිසා සියලු දෙය කෙරෙහිම උපේක්ෂාවෙන් බලන්නට සිතන්න. ඔබ මෙතෙක් රැකි ශීල ධර්මයන් තරමක් අඩපණ විය හැක. ආරූඪයෙන් ශාස්ත්‍ර කියන කෙනෙකු නම් ආකර්ෂණ බලය හීන වීමට ද පසුබිම සැලසේ. ටිකක් පරිස්සම් වන්න.

    ගේදොර ටිකක් කරදර මතුකළ හැක. කලත්‍රයාට තමාගේ දෛනික කටයුතුවලදී කරදරකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ඔබ ප්‍රේම ලෝකයේ ඔටුනු පලඳින්නට බලා සිටියේ නම් විරහ වේදනාවක් ඇතිකිරීමේ සංසාරගත අකුසල බලවේගය ඉස්මතු වීම නිසා ඔබ පැටලිලිදායී තත්ත්වයකට පත්වේ.

    මුදල් හින්දා ලොකු පටලැවිල්ලකට ඔබට පත්වෙන්නට සිදු වේ. අතීත මිනිසා වාගේ බඩුවලට බඩුත්, සේවයට සේවයත් වශයෙන් කාලීන පරිවර්තනයකට යොමු වී මුදල් අතපත ගෑමෙන් වළකින තරමටම හොඳයි.

    ඔබ විවාහක යුවතියක් නම් ඔබේ සැමියා රාගාධික තත්ත්වයේ කෙනෙකු නම් ඊට සරිලන ලෙස හැසිරීමට ඔබගේ කැමැත්ත කෘත්‍රිමව හෝ ඇතිකරගත යුතුයි. ඔබේ උකටලී බව සහ අකමැත්ත නිසා විවාහ ගැටලුවක් ඇතිවිය හැක. යුගදිවි යහන පීඩා කර ගත්තොත් ඔබ පරාදයි.

    කටක

    ඔබට ප්‍රමාණය ද ඉක්මවූ කම්සැප ලැබෙන කාලයකි. හැබැයි ඉතින් සියල්ල පමණ ඉක්මවා භුක්ති වින්දොත් ඉන්ද්‍රිය දුර්වලතාවකට ද ‍ගොදුරු වේ. ඔබ කුමන හෝ සූදුවකට ඇබ්බැහි වී සිටින කෙනෙකු නම් මේ දවස්වල ඒ මත්තේ තැග්ගෙහෙන්න එපා. වැලේ වැල් නැතිවෙලා මංගල මුද්දත් උකස් තියල සූදුවේ නිරතවෙලා මහමඟටම බහින්න සිද්ධ වේවි.

     ඔබ අනුන්ගේ අඩුපාඩු හොයන්නවත්, ඕපාදූප සල්ලාපයේ යෙදීමවත් ඇඟට ගුණ නැත. රැකියා ස්ථානයේදී අනුන් ගැන කතා හදන්න යන්න එපා.

    ඔබට ලොකු අපකීර්තියක් කීර්ති නාම හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඔබ ආයතනයක අධිපතියෙකු නම් ආයතනයේ දියුණුවට හෝ ගොඩනැගිලි හදන්න හෝ සේවය පතාගෙන එන අයගෙන් ආධාර ඉල්ලන්න යන්න එපා.

    අල්ලස් දැළකට කොටුකර ගන්නට අල්ලස් දැළක් ග්‍රහ බලය විසින් ඔබේ ඉහට උඩින් අල්ලගෙනයි ඉන්නෙ. කාන්තාවන් සමඟ ගෙදරදොරේදී වුවත් සමාජයේදී වුවත් බහින්බස් වෙන්න යන එක හොඳ නැත.

    සිංහ

    ආහාර බුදින වෙලාවෙ මනුෂ්‍යයෙකුට තියා තිරිසනෙකුටවත් පහර දෙන්න මනුෂයෙක් තුන් හිතකින් වත් හිතන්නෙ නැහැ. නමුත් ක්ෂණිකව ඇතිවූ ආවේගයක් නිසා ඔබ විසින් ආහාර බුදින කෙනෙකුට පහර දෙන්න පෙළඹේවි.

    සම්පූර්ණයෙන්ම ඔබේ ප්‍රතිබිම්බය විනාශ වීමට මෙය බලපාන බැවින් ඉවසීමට පුරුදු වීම අත්‍යවශ්‍යයි. හදිසි මුදල් ලාබයක් ඔබට අත්වනු ඇත.

    විරුද්ධ ලිංගිකයන් ඔබට බැඳෙනවා ඇත. ඔබේ අතමිට සරුවීම දැනගත් දුරස්වී සිටි ඥාති හිතමිත්‍රයෙකු ඔබ සොයා එනවා ඇත. ඔබගේ හෝ ඔබේ ළඟ හිතවතෙකුගේ හෝ යම් කාරණාවක් ඉටුකර ගැනීම සඳහා නොයා බැරි කමට කිසියම් පුද්ගලයෙකු මුණගැසීමට සිදුවෙනවා ඇත.

    හිත දෙගිඩියාවකට පත් වුණත් ඔබේ කාරණාව ඉටුවේවි. හැබැයි පුදුම පිහිටීමක් ඇත. ඔබ එයින් ගැලවිය යුතුයි. ඔබ උදව් ලබාගන්නා බලවතා ඔබේ රාග දැලට ගොදුරු විය හැක. ඒ නිසා අන් අය ඔබට උදව් කරමින් කොච්චර ලෙන්ගතු වෙන්න ආවත් හුදෙකලා ස්ථානවලදී නොව ප්‍රසිද්ධ ස්ථානවලදී අන් අය මුණගැසී කීර්ති නාමය රැක ගන්න.

    කන්‍යා

    මවු සෙනෙහස වැඩිපුර ලැබෙන කාලසීමාවක් වන්නේය. ඔබ දැනට වෙනම පදිංචි වී සිටින කෙනෙකු නම් මවගේ සුවදුක් බැලීමට යාමට සිදු වෙනවා ඇත. ඒ සමඟම මව් පාර්ශ්වයේ දේපළ ලැබීම්වලට ද ඉඩ පවතී. අවිවාහකව සිටින ඔබගේ ලොකු අම්මලා නැන්දලා වැනි ඥාතීන්ගේ දේපළ ද හිමිවීමේ භාග්‍යය පවතී.

    ළමා සමාජයක කිසියම් කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමිවනවා ඇත. එය ළමයින් අතර පවතින තරඟයක් ද විය හැක. මානසික තෘප්තියක් ඇතිවෙනවාද ඇත. විදේශයක රැකියාවේ නියුතු වන කෙනෙකු නම් හදිසියේම ස්වදේශයට පැමිණීමට සිදු වෙනවාද ඇත.

    ඔබට තම සිත සැහැල්ලුවෙන් යුතුව පවත්වා ගැනීමටත් කටයුතු සිදු කිරීමටත් පසුබිම් සැළසෙනු ඇත. ඔබ මෙතෙක් ඵල ප්‍රයෝජනයක් නොගෙන තිබෙන්න හැර තිබූ කිසියම් දේපළක්, ප්‍රතිලාභයක් භුක්ති විඳීමට අවස්ථාව සැළසේ.

    රැකියාව ස්ථිර කර ගැනීමට හෝ උසස්වීම ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් එය ඉටුකර ගත හැකි වනු ඇත. විශේෂයෙන් නියෝජ්‍ය තනතුරක් දරන්නේ නම් ආයතන අධිපති තනතුරට පත්වනු ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය විශේෂයි.

    ඔබ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු නම් විදුහල්පතිතුමා ස්ථාන මාරුවකට හෝ සේවය පහ කිරීමකට ලක්වනු ඇත.

    තුලා

    පරාර්ථකාමී චින්තනයකින් යුතුව කටයුතු කිරීමටත් ගනුදෙනු කිරීමටත් ඔබ පෙළඹේ. නමුත් ඔබේ යහපත් චේතනාව අනිකා හඳුනා ගන්නේ ඔබේ නපුරු චේතනාවක් ලෙසටය. ඒ නිසා හුදෙක් අන් කෙනෙකුගේ යහපතට යමක් කරන්නට සිතුණත් දෙවරක් සිතා බැලිය යුතුයි.

    ගමනකදී බිමනකදී මරණාසන්න කෙනෙකුට වුවත් ඉඳුරාම පිළියමක් යෙදීම සුදුසු නැත. එය වෙනත් වගකිවයුතු කෙනෙකුට හෝ ආයතනයකට දැනුම් දීමෙන් සෑහීමට පත්වන්න ඔබගේ ඇඟිලි මාක් එක ඔබට කරදරයක් ගෙනදිය හැකි බැවිනි.

    අනපේක්ෂිත සතුරු පීඩාවක් ඔබට එරෙහිව මතුවනවා ඇත. කලබල විය යුතු නැත. වෙනත් කෙනෙකුගේ මැදිහත්වීම නිසා ඒ සතුරු බලය මර්දනය වනවා ඇත. ඔබ කුලී නිවැසියෙකු නම් නිවාස හිමිකමකට පසුබිම සැළසේ.

    ඒ වාගේම හදාගෙන යන නිවසේ වැඩ කටයතු නිම නැතත් පදිංචි වීමට සිතක් පහළ වුවොත් එම අදහස ද ක්‍රියාවට නැංවූවාට කමක් නැත. ගෘහ භාණ්ඩ රාශියක් ඔබට හිමිවීමේ භාග්‍යයය පවතින බැවිනි.

    වෘශ්චික

    ඔබ විසිතුරු මල් පැළ - සුවඳ විලවුන් - ධාන්‍ය ආහාර ආදිය අලෙවි කිරීමේ කටයුතුවල නිරත කෙනෙකු නම් ‍ඔබගේ ආදායම ඉහළ යනු ඇත. ගෙවත්තේ විනෝදයට වවන භෝග වර්ගවලින් පවා අමතර ආදායමක් උපයා ගත හැකි වනු ඇත.

    ඔබ තරුණ වයසේ කෙනෙක් නම් සමකාලීන විරුද්ධ ලිංගිකයින් ඔබට තෑගි භෝග ලබාදීමට පසුබිමක් නිර්මාණය කර ගනු ඇත. එවැනි අය සමඟ ආගමික ස්ථානවලට යාමට පසුබිම් සැළසේ. එකී ගමන් බිමන්වලින් ජීවන ඉරණම විසඳෙන සම්බන්ධතා ගොඩනැඟෙනවාද ඇත.

    ඔබට චතුර වාග් විලාශයක් ඇතිවනවා ඇත. පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු නම් සිසු සිසුවියන් ඔබේ වාග් විලාශය නිසාම ඔබේ උපකාරක පංතිවලට සහභාගි වනු ඇත. ඔ‍බ නීතිඥ වෘත්තියේ කෙනෙකු නම් ඔබේ තර්කය බිඳීම වෙනත් උගත් නීතිඥ මහත්වරුන්ට සිහිනයක් පමණක් වනවා ඇත.

    සමාජ දැනුමින් නීති උපදෙස් දෙන්නට ද ඔබට පුළුවන් වෙනවා ඇත. අලුත් මිත‍්‍රයෙක් ලැබේ. නමුත් එයා එච්චර වැදගැම්මක් නැතැයි දැන් ස‍ිතේ. එහෙත් නුදුරු අනාගතයේදී එයාගෙන් විශාල ලාභ ප්‍රයෝජනයක් ලබාගත හැකි වනු ඇත.

    ධනු

    ඔන්න ඔබට අපූරු පිනක් පෑදෙනවා. ඔබේ දුව දීග දී ගැනීම ප්‍රමාද වීම නිසා කනස්සල්ලෙන් ද සිටියේ. දුව විවාහ කර දීමට මේ මාසෙ තදින්ම උනන්දු වන්න. වහාම මඟුල් කපුකම් කරන තරුණ වියේ කාන්තාවක් යොදාගන්න පුළුවන් නම් ඉතා සුදුසුයි.

    මේ ටික කාලෙදි නිවසේ වයඹ දිශාවේ ඇති කාමරය දියණියට ලබා දීම ද යෝග බලය බලවත් කර ගැනීමට හේතුවක් වේවි. ඔබ විවාහ වන වයසේ කෙනෙකු නම් රූමත් කඩවසම් කෙනෙකු ඔබ සොයා එන කාලයකි. ඉගෙනීම් ලැබීම රස්සාව ලැබීම වැනි අවශ්‍යතා පෙරට දැම්මොත් මංගල යෝගය අක්‍රීය වේවි. දරුවන් පතන විවාහකයෙකු නම් දරු ලාබවලට ඉඩකඩ පවතී.

    ඔබ වයස අවුරුදු හැටක් වන අවිවාහකයෙකු නම් දරුවන් සිටින වැන්දඹු කාන්තාවකගේ අත ගැනීමට වාතාවරණයක් නිර්මාණය වේ. වැන්දඹු වුවත් ඇය රූමත් කාන්තාවක් විය හැක. කෙසේ වෙතත් ඔබ කුමන තරාතිරමක අයෙකු වුවත් ඔබට බරපතළ වගකීම් ලැබෙන අතර ඒවා චිත්ත ප්‍රීතියෙන් යුක්තව ඉටුකිරීමට ද ශක්තිය, ධෛර්යය ලැබේ. නව ධනෝපායන මාර්ගයක් ඔබ වෙනුවෙන් ම කලඑළි බසී.

    මැසිවිලි නගපු කාලෙ ඉවරයි. නව වර්ෂය උදාවන්නේ ඔබේ අවශ්‍යතාව අන් අයට ඕන කරන වෙලාවකයි. ඉතින් ඔබේ වටිනාකම වැඩියි. පෙම්වතුන් පෙම්වතියන් කිහිප දෙනෙකුගෙන්ම මේ වෙලාවෙදී ඔබට රසවත් වෙන්න පුළුවන්. එහෙම කිරීමෙන් වළකින්න. මොකද දන්නවද? ඊළඟ ග්‍රහ පිම්මේදී කාපුවා වමාරන්න සිද්ධ වෙන හින්දයි.

    මකර

    විනෝද සාගරයක ගිලෙන්නට අවශ්‍ය කරන විවිධ දේ හිමිවෙනවා ඇත. අධික මුදල් වියදමකට ද ලක්වනු ඇත. තැන්පත් ධනය වියැකී යාමේ ඉඩකඩ ද පවතී. යටි කූට්ටු කටයුත්තක් කිරීමට ඔබ පෙළඹෙති. ඔය වැඩේ කරන්න ඉස්සෙල්ලා පියාගෙන් හෝ පියාගේ සහෝදරයෙකුගෙන් උපදෙස් ලබාගෙන දෙවරක් සිතා බලන්න. ඔබට හදිසියේ සම්බන්ධ වූ විරුද්ධ ලිංගිකයෙකු මුණගැසීමට රහසිගතව යන්න ලැබේ.

    ගියොත් නම් ඔබ අමාරුවේ වැටේ. හොර වැඩ නැතිව එළිපිට වැඩ පමණක් සිදු කිරීමට වගබලා ගන්න.
    කලත්‍රයා සමඟ නොයන අවමඟුල් ගෙදර වුණත් ඔබට අහිතකර වේවි. කාර්යාලයට යනෙන ලිබර්ටි රථය ගෙදර යන වීටදී කාර්මික දෝෂයකට ලක්වුණා නම් හොඳම යාළුවාගෙන් ඇරලවා ගැනීමට ‍ෙනාගොස් පොදු වාහනයකින් රෑ බෝවෙන්න කලින් ගෙදරට ගියොත් කීර්තිනාමයට හානියක් නොවේ.

    මිලියන ගණන්වලින් ගනුදෙනු කරන ගණකාධිකාරීවරයෙකු හෝ කොටස් වෙ‍ෙළඳපොළ සාමාජිකයෙකු නම් බුද්ධිමත් තීරණ නොගත්තොත් ඔබ අල්ලස් දෙපාර්තමේන්තුවට කොටුවේවි. බලාගෙන කටයුතු කරන්න. ගෙදර දොරේ දෛනික කටයුතුවලදී තියුණු ආයුධ භාවිතය හොඳ මදි. මේ මාසයේදී බාබර් ලවා කොණ්ඩය කප්පවන එක වුණත් ප්‍රමාද කරන එක හොඳයි. අවි ආයුධ භය තියෙන නිසයි.

    කුම්භ

    ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා. වන්දනා ගමනක් හෝ විනෝද ගමනක් යන්න ලැබෙනවා. එහිදී රතු මල් සහිත පිඟානකින් ඔබට ආහාර වේලක් පරිත්‍යාග කෙරෙනවා. ඔබ අවිවාහක කෙනෙකු නම් ඒ පරිත්‍යාගශීලියා අනාගතයේදී ඔබේ අත ගනී. ඔබ ඔබේ පෞද්ගලික නිදහස පතනවා. නොලැබී යන්නෙත් නැහැ.

    ඒත් උපරිමයෙන් ගන්න යන්න එපා. ආදර බන්ධනවලින් නම් ඔබට අඩුවක් වෙන්නේ නැහැ. ඔබ තරුණයෙක් නම් යෞවනියන් විසින් ඔබ ගැන ඔබේ තත්ත්වයට වඩා වැඩිපුර මහ ඉහළින් ඔබ පිළිබඳව මනඃකල්පිත ලෝකයක අතරමං වේ.

    ඔබ දරුවන් සිටින විවාහකයෙකු වුවත් ඔබ ගැන සිතන විරුද්ධ ලිංගික තුන්වැන්නෙකු කලඑළි බසිනවා. අනුකූලතාවයන් දැක්වූවොත් ඔබ පරාදයි. ස්තූති ප්‍රශංසා ආදිය නම් අඩු නැතිව ගලා එනවා. ඔබ අසනීපයකින් පසුවූයේ නම් රෝගය සුව වේ.

    ඉගෙනීමේ ආශාව වැඩිවන බැවින් විභාග සමත්වීමට පසුබිම ද සැළසෙනවා. නළලේ ගෙඩි වණ මුහුණේ කුරුළෑ ආදිය මතුවිය හැක. විෂබීජ නාශක සබන් වර්ග භාවිතය සුදුසුයි.

    මීන

    තාවකාලික ෂෝක් බෝක්වලට ඔබ පෙළඹෙනවා ඇත. භූමියෙන් ලැබෙන සම්පතක් හිමිවීමේ වාසනාව ද පවතී, රැකියාවේ වෙනස්කමක් සිදුකිරීමට සිතක් පහළ වේ. එනම් කරන ‍ක්ෂේත්‍රයට වඩා වෙනත් ක්ෂේත්‍රයක් සුදුසු බව සිතනවා ඇත. කාර්යාලයක වුවත් සුබසාධන අංශයෙන් පාලන අංශයට මාරු කළ හැක. පාසලක නම් විනය භාර ගුරුභවතා ලෙස පත්කළ හැක.

    හැබැයි මේක නිසා අලුත් කරදරයක් ද මතුකළ හැකි බැවින් අලුත් රස්සාව බොහොම කල්පනාවෙන් කළ යුතුයි. ඔබට ලොකු ප්‍රසිද්ධියක් ද කීර්ති නාමයක් ද ඇතිවෙයි. නමුත් එය පසුපස ‍ලොකු ගැටුමක් ද හඹාගෙන එනවා.

    පොලිසි උසාවි ගියොත් ඔබ පරාදයි. ගොඩින් බේරාගන්න බලන්න. ස්ත්‍රී පක්ෂය නිසා ගොඩ එන්න අමාරු දුෂ්කර කාලපරිච්ඡේදයක් මවාවි.

    ඔබ නේවාසිකාගාරයක තවත් තරුණියන් සමඟ සිටින යුවතියක් නම් රාගාධික තරුණියන්ගෙන් පරිස්සම් වන්න. දබරයක් හෝ නීති කරදරයක් මතුකරන කාම අපරාධයකට ඔබත් හමුල්කාරියක් වේවි.

    අසල්වැසි කාන්තාවන්ගෙන් පරිස්සම් විය යුතුම කාලයකි. ඔබ ගැන ඔවුන්ගේ සිතට ඊර්ෂ්‍යාවක් දැනෙන නිසයි. ඔබ වරදකට කොටු වී සිටියේ නම් ඔබට නිදහසක් ලැබෙන කාලයකි. සිරගත වූවෙක් නම් කල්ක්‍රියාව හොඳින්ම ගෙවන්න. නිදහසක් ලැබේවි.

    අක්මීමණ තලගහ විශ්වකීර්ති
    ඡ්‍යොතිෂ විද්‍යා
    පණ්ඩිත ශිරෝමනී
     සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ධනු රැසේ ග්‍රහ පොකුරක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top