එය සාදා දෙන දෛවඥයින් ඉන්නේ අතලොස්සයි
විවාහාපේක්ෂිත යුවළක් සඳහා නැකැත් බාරදීමේ සිට පෝරුවේ චාරිත්‍ර, පොතේ අස්සන් කිරීම ආදී මංගල දිනයේ සියලු ශුභ කටයුතු, ශුභ නැකැත් වේලාව අනුවම සිදුකරයි.
එහෙත් විවාහ දිනයේ වැදගත්ම නැකත ලෙස සැලකෙනුයේ රාත්‍රී නැකතයි. එය පිළියෙල කරදෙන දෛවඥයන් ලංකාවේම ඇත්තේ අතලොස්සකි. බොහෝ අය ඊට ප්‍රමුඛස්ථානයක් නොදෙන්නේ නොදැනුවත්කම නිසාදැයි නොදනී.
විවාහයේ ඉතාම වටිනාම අංගයට සුබ වෙලාවක් සකස් කර දීම දෛවඥයන්ගේ යුතුකමයි මෙන්ම මනාල යුවළගේ ද අවධානය මේ සඳහා යොමුවිය යුතු වන්නේය.
විවාහ කටයුතු සඳහා ගනු ලබන ශුභ මුහුර්ථවල පරමාර්ථය කුමක් ද? එය සකස් විය යුත්තේ කෙසේ ද? යන්න අපි පළමුව විමසා බලමු.
නැකත හා සුබ මුහුර්ථ යනු එකක් නොව දෙකකි.
රාශි චක්‍රයේ නැකැත් 27 කි. මින් එක නැකතක් දවසේ පැය විසිහතර පුරා හෝ ඉන් අඩු හෝ වැඩි කාලයක් පැවතිය හැකිය.
කිසියම් දිනයක කිසියම් නැකතක් බලපැවැත්වෙනුයේ චන්ද්‍රයාට අනුවය. අදාළ දිනයේ චන්ද්‍රයා රාශි චක්‍රයේ සිටින්නේ එකී දිනයේ බලපැවැත්වෙන නැකතට පසුබිම්වය.
සුබ මුහුර්ථය යනු මෙකී නැකතේ අති සූක්ෂ්ම අවස්ථාවකි. අංශක 3 යි කලා 20 කින් (අංශක 3 20”) සමන්විත වූ එක් නැකැත් පාදයක් උදා වී මැකී යාමට සාමාන්‍යයෙන් මිනිත්තු 13 යි තත්පර 20 ක් (මි. 13, ත. 20) ගතවේ.
පෘථිවිය, චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහයන්ගේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේගයන්ට අනුව මිනිත්තු තුනක පමණ කාලයකදී උදා වී තිබූ ශුභ ග්‍රහ බලය ගොඩනැංවීමට ඉවහල් වූ ග්‍රහ දෘෂ්ටි මෙන්ම සංයෝග වියෝග ආදිය ද මැකී යනු ඇත.
න්‍යායාත්මකව බලන විට පෘථිවිය නැඟෙනහිර දෙසට භ්‍රමණය වීමේදී මිනිත්තු තුනකදී යා හැකි දුර දළ වශයෙන් සැතපුම් 52 ක් පමණ වේ. මෙකී දුර ප්‍රමාණය සීමා වූ පෘථිවි බල ප්‍රදේශයේ පැවතිය හැකි ශුභ මුහුර්ථය පෘථිවි භ්‍රමණ වේගයට සමානුපාතිකව මිහිතලය මත ඇදී ගොස් මොහොතකින් මැකී යයි.
එය එසේ සිදුවන්නේ නම් එකම දිනයක එකම සුබ මුහුර්ථය පෘථිවිය මත තවත් ස්ථානයකදී එනම් සැතපුම් 100 ක පමණ දුරකින් යුත් ප්‍රදේශයකට යොදාගත හැකි ද? එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය යුතුය.
කොළඹට යොදාගන්නා සුබ මුහුර්ථය මාතරට හෝ යාපනයට යොදාගත නොහැක. අදාළ ප්‍රදේශයට ඉර උදාවේ වෙනස අනුව කාලය සකස් කර ගත යුතුය.
මෙය සකසා ගැනීමට නම් ජ්‍යොතිර්වේදියා උසස් ගණිතමය දැනුමක් හා භූගෝල විද්‍යා මෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ අවබෝධයක් ද තිබිය යුතුය.
මංගල නැකත වශයෙන් බොහෝ දෛවඥයින් සකස් කර දෙනු ලබන්නේ මනාලයාට සහ මනාලියට නිවසින් පිටත්වීම, පෝරුවේ චාරිත්‍ර, අස්සන් කිරීම ආදී සුබ කටයුතු සඳහා සම්මතයේ පිළිගත් අවස්ථාවන් කිහිපයක් සඳහා සුබ මුහුර්ථ පමණි.
එහෙත් විවාපත් යුවළකට වඩාත් වැදගත් වන්නේ යුවතිපතියන් ජීවිතයේ ප්‍රථම වතාවට අඹු සැමියන් ලෙස ලිංගිකව එක්වීමේ ශුභ මොහොතයි.
එදින දිවා කාලය කොතරම් ශුභ වුවද රාත්‍රී කාලය අව, මර, විශ්ටි හෝ ඒ මොහොත රාහු කාලය වැනි අසුබ බලපෑම්වලින් ගහණව තිබූ අවස්ථාවක් වුවහොත් එම යුවළට අශුභ ඵල උදාවෙයි.
විවාහයක ප්‍රධානතම අරමුණ වන්නේ දරු සම්පතයි. නිකම්ම නිකම් දරු සැපතක් නොව වාසනාවන්ත ගුණවත් නුවණැති දරු සම්පතකි.
එසේ නම් පින්වත් දූ පුතුන් පිළිසිඳ ගැනීමට මවුපියන් ලිංගිකව එක්වන මොහොත ශුභ ග්‍රහ කිරණවලින් පෝෂිත වූ වායුගෝලීය ස්වභාවයක් පරිසරය පුරා පැතිර තිබිය යුතුය. මේ අනුව බලන විට විවාහ ජීවිතයකට අවශ්‍ය ශුභ මුහුර්ථය රාත්‍රී නැකත විය යුතුය. එය නිසි අයුරින් සකස් කර දීම දෛවඥයාගේ යුතුකමකි. වාසනාවන්ත දරුවන් පිළිසිඳ ගන්නා සුබ මුහුර්ථ සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ලියැවී ඇති ජ්‍යොතිෂ ග්‍රන්ථ ඕනෑ තරම් තිබේ. අපේ ජ්‍යොතිෂවේදීන් නැකැත් පිළියෙළ කිරීමේදී ඊට ප්‍රමුඛස්ථානයක් නොදෙන්නේ මන්දැයි ගැටලුවකි.
ශුභ නැකතකට එක්වීමෙන් මෙලොවට ජනිත වූ ශක රජතුමාගේ උපත ශුභ ග්‍රහ බලයක ප්‍රතිඵලයක් ලෙස පුරාණ ග්‍රන්ථවල දැක්වේ. ශක රජතුමා පහත් යැයි සම්මත කුලයක උපත ලබා රාජශ්‍රීයට පත්වූයේ පියා විසින් සුදාරකෝත්පත්තියකට ඉවහල් වන ශුභ මුහුර්ථයකදී එම පිළිසිඳ ගැනීම සිදුකළ බැවින් යැයි ශක රජ පිළිබඳ උපතේදී දක්වා තිබේ.
මේ අනුව වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීමක් මංගල රාත්‍රියේදීම ඇතිවිය හැකිවන පරිදි එදින ඔවුනට අඹු සැමියන් වශයෙන් එක්වීම සඳහා වූ සුවිශේෂී සුබ මුහුර්ථය සකසා දිය යුතු වන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුව එළැඹෙන හිරු උදාවට ආසන්න වූ ශුභ මොහොතක විය යුතු යැයි සෘෂි මතයයි.
මංගල සුබ මුහුර්ථ සාධනයෙහිලා ඉදිරිපත් වන දෛවඥයා සතු වගකීම් රාශියකි. ප්‍රථම එක්වීමේදීම පිළිසිඳ ගැනීමකට කැමති පති පතිනියන්ගෙන් ඒ පිළිබඳ විමසා බලා ප්‍රථමයෙන්ම ස්ත්‍රියගේ ඔසප් චක්‍රයට ගැළපෙන අයුරින් දින වකවානු පිරික්සා බලා ශුභ දින ශුභ හෝරා තෝරාගත යුතුය. එබැවින් අඩු තරමින් මාස තුනකවත් ඔසප් චක්‍රය දෛවඥයා මනාලියගෙන් ලබාගත යුතුය. සමහරු මේ පිළිබඳව කතා කිරීමට මැලිවේ. වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ හැකි දෙය දෛවඥයා සමඟ කතා කිරීමට ලැජ්ජා විය යුතු නොවේ.
මේ අනුව බලන විට පෝරුවේ චාරිත්‍ර ආදී කටයුතු සඳහා දිවා කාලය සුබදායකව තිබිය යුතුවාක් මෙන්ම එදින රාත්‍රී කාලය ඊටත් වඩා ශුභදායී ග්‍රහ බලයෙන් පරිපූර්ණ විය යුතුය.
එසේ නොමැතිව මංගල රාත්‍රිය නැකැත් දෝෂවලින් ගහණව පවතින අවස්ථාවලදී පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් උපදින දරුවා මන්ද බුද්ධික හෝ යම් යම් ආබාධ සහිත වූවන් විය හැකිය.
නොඑසේ නම් ආගම දහම කෙලෙසන සමාජයට අහිතකර ක්‍රියාවන්හි නියැළෙන, ගුණ ගරුක නොවූ ප්‍රචණ්ඩත්වයෙන් යුත් දරුවන් බිහිවිය හැක.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් ජ්‍යොතිෂය පිළිබඳ වෙනදාට වඩා දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. එය සමහරුන්ගේ අත්දැකීම අනුව සිදුවූවකි. කෙසේ වුවද ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා යනු මහා බ්‍රහ්මයාට සම කළ හැකි මැවුම්කරුවෙකු ලෙස ද හඳුන්වා දෙයි. ඔහු එම තැන හිමිකර ගැනීමට නම් ගණිත මිනිතාදියෙන්, ජ්‍යොතිර් විද්‍යාවෙන් මෙන්ම භූගෝල විද්‍යාවෙන් හා තාරකා විද්‍යාව ආදී ශාස්ත්‍රයන්ගෙන් පිරිපුන් වී සිටිය යුතුය.
එසේ වන්නේ නම් ජ්‍යොතිර්වේදියාට මිහිපිට කළ හැකි බොහෝ දේ ඇත.
යහපත් වැඩදායී පින්වන්ත දරුවන් මෙලොවට ජනිත කිරීමට අපේක්ෂා කරන යුවතිපතීන්ගේ වගකීම විය යුත්තේ මංගල නැකැත් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ලවා කල්වේලා ඇතිව සකසාගෙන ඒ අනුව කටයුතු කිරීමය. එසේ වුවහොත් යුග දිවියේ නිසි ඵල නෙළාගැනීමේ හැකියාවත් යුගදිවි සැපතත් ඔබ සතුවනු ඇත.
- ධම්මිකා වෙලේගොඩ
0 comments:
Post a Comment