සෙත්මිණ මංගල කලාපය නිකුත් වීමත් සමඟම ගලා ආ උණුසුම් ප්රතිචාර අදහා ගත නොහැකි තරම් ය. පැය කිහිපයකදී සෙත්මිණ මංගල කලාපයේ සියලු පිටපත් විකිණී අවසන් විය. ඒ වෙනුවෙන් ලැබුණු සුබ පැතුම්, දිරිමත් කිරීම් සහ අලුත් යෝජනා ද බොහෝය. මේ හැමෝටම පින්!
පින යනු පින වීමයි. එනම් කෙනෙකු සතුටට පත් කිරීම ය. ‘ප්රීණනං’ නම් සංස්කෘත වචනය සිංහල කට වහරට එකතු ව තිබෙන්නේ පින යනුවෙනි. සෙත්මිණ කියවා බලා කෙනෙකු සතුටට පත් වූයේ නම් ඒ අපට පිනකි!
මේ කටයුත්තෙහි දී අපට ආධාර උපකාර කරමින්, ගුරු හරුකම් ලබා දුන්, ලොකු කුඩා සියලු දෙනාම ඒ පිනෙහි බලවත් කොටස්කාරයෝ වෙති. පින මතු භවයේ සුඛයට හේතුවකි.
මුවින් නික්මෙන වචනය ශබ්දයකි. ශබ්දය යනු ශක්තියකි. ශක්තිය කිසිදා විනාශ කළ නොහැක. එය සදාකාලයටම මේ විශ්වයේ නින් නාද දෙමින් පවතී. කෙනෙකු සතුටට පත් කරන වචන භාවිතා ෙකළේ නම් එය නිරනුමානව ඔබ වෙත සුඛ විපාක ගෙන එන්නේ ය. අද කිත් - පැසසුම් ලබන්නේ පෙර භවයක අන් අය සතුටට පත් කළ ජන්මීන්ය.
හැම විටම අනෙකා සතුටට පත් කරවන වචනම පවසන්න. එය පිනක් බව තේරුම් ගත යුතුය. දොම්නසට පත්ව සිටින පුද්ගලයාට සොම්නසම ගෙන දෙන වචන තෝරා ගන්න. ඒ පිනකි.
අනෙකා සතුටට පත් කරවන ආකාරයේ වචන ඔබ සතුව නැත්නම් කට පියාගෙන සිටීම ද පිනකි. මොකද එවිට ඔබේ මුවින් හිස්බස් - කේළාම් - සහ අනෙකාට අවමන් කෙරෙන වචන පිට නොවන හෙයිනි. වචනයේ මහා බලය තේරුම් ගෙන එය භාවිතා කිරීම දොලොවටම වැඩදායකය.
0 comments:
Post a Comment