728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    බොරු සාස්තර අහලා මැරිලත් පළි ගන්න ඇවිත්

    බොරු සාස්තර ඇසීමත් ගජබින්න පිළිගැනීමත් අපායට වැටෙන පාපයකි

    සුමනා හැට අට හැවිරිදි කාන්තාවකි. පදිංචිය නාත්තණ්ඩියේය. ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත සිය දියණිය හා බෑණනුවන් සමඟ පැමිණි ඇය සිය දුක් ගැනවිල්ල කීවාය. හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදිවීම, බඩේ දැවිල්ල, දෙකකුල් වේදනාව, දැනට වසර තුනක පටන් පවතින බවත්, විවිධ ප්‍රතිකාර හා අභිචාර විධි පැවැත් වූ නමුත් සුවයක් නොවූ බවත් කීවාය. ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා ඇය පරීක්ෂා ක‍ෙළ්ය.

    අධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුමනා වෙව්ලන්නට වී සිහිසුන්ව වැටුණාය. ඇගේ ශාරීරික දුර්වලතාවන් ද මානසික පසු බෑම ද සලකා ඇයට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
    බෝධි පූජා අවසන් කොට ඇය ඊළඟ දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණියේ “මම චමින්ද මම චමින්ද” යැයි අවේශ වී කෑ ගසා ගෙනය.

    “ කවුද මේ චමින්ද කියලා කෑ ගහන්නේ?”

    “පුතා පුතා . මේ මගේ අම්මා”
    “ඇයි මේ පුතා අම්මාට හිරුහැර කරලා පව් සිද්ධ කැර ගන්නේ “ යි නාගොඩවිතාන මහතා ඇසීය.
    “මම හිරිහැර කරන්නේ නෑ. මට ඕනෑ පියසේන මාමාගෙන් පළිගන්නැයි’ ප්‍රේතයා කීවේය.

    “ කවුද පියදාස මාමා ය කියන්නේ?”
    “අපේ ගේ ඉස්සරහ ගෙදර මිනිහා”
    “ ඇයි එයාගෙන් පළිගන්නේ?”
    “ එයා තමයි මට හූනියම් කෙළේ?”
    “ කවුද කීවේ එයා හූනියම් කළාය කියා”
    “සාස්තරේට කියැවු‍ණා”
    “ කවුද සාස්තර අහන්න ගියේ”
    “අම්මලා”
    “ඇයි පියදාස මාමා හූනියම් කළේ”
    “ඒ මිනිහා අපිත් එක්ක තරහයි”
    “මොකක්ද තරහ වෙන්න හේතුව?”
    “පියදාස මාමාගේ පුතා අපේ අක්කා එක්ක යාළුවෙන්න ආවා. අපේ ගෙදර අය ඒකට විරුද්ධ වුණා.”
    “කවුද වැඩියෙන්ම විරුද්ධ වුණේ?”
    “අම්මා”
    “තමුන් මැරුණෙ කවදාද?”
    “දැන් අවුරුදු තුනකට කලින්”

    “හරි පියදාස මාමාලගෙ කාරණයට විරද්ධ වුණේ අම්මා. ඉතින් අම්මා දැන් අසනීප වෙලා ඉන්නේ ඒ හූනියම නිසා නෙවෙයි. පුතා චමින්ද නිසා. චමින්ද මැරිලා ප්‍රේතයෙක් වෙලා ඉපදිලා අම්මාගෙ ඇඟට රිංගපු නිසා. අම්මා දැන් ලෙඩෙක් වෙලා.ඇයි මේ බොරු හූනියම් කතාවක් පටලවා‍ගෛන ඉන්නේ?” “ ඒ හූනියමෙන් ලෙඩ වෙලා මැරුණෙ මම”
    “මොනව වෙලාද මැරුණේ?”
    “මට අංශභාගෙ හැදිලයි මැරුණේ”
    “අනිත් අයට හූනියම නොවැදී ඇයි තමුන්ටම වැදුණේ”
    “මම දන්නේ නෑ මහත්තයා හූනියම වැදිලා තමයි මම අසනීප වුණේ. මට උන්ගෙ ගෙදර අයගෙන් පළි ගන්න අවසර දෙන්නැ යි. ප්‍රේතයා ඉල්ලීමක් කෙළේය.

    “ ඔබ මිය ගියේ වෛරයකින්. අනුන් කියපු කාරණයක් අහගෙන තමුන්ට හූනියමක් කළාය කියලා හිතාගෙන මහා වෛරයකින් ඉන්නේ. ඒ වෛරය නිසා චමින්ද ප්‍රේතයෙක් වෙලා උපන්නා. තවමත් ඒ වෛරය චිත්ත සත්තානයේ පවතින නිසා ඔබ තව තවත් පහළට වැටෙනවා. එතකොට පළිගන්න ඔබට ශක්තියක් නෑ.

    මම කොහොමද ඔබට පළිගන්න අවසර දෙන්නේ? මොකක්ද එහෙම පළිගන්න අවසර දෙන්න මට තිබෙන අයිතිය අපි බෞද්ධයෝ අපේ ශාස්තෘන් වහන්සේ අපට පළිගන්න අවසර දීලා නෑ.මෛත්‍රී කරන්න නම් උගන්නලා තියෙන්නේ “නහී වේරේන වේරානි” වෛරයෙන් වෛරය නොසංසි‍‍දේ කියලා උගන්වලා තියෙනවා. අනිත් කාරණය ඔබට එහෙම පළිගන්න ශක්තියක් නැහැ. තමන්ට පියදාස මාමා ළඟට ළං වෙන්නවත් බෑ. තමුන් ශක්තිමත් වෙලා එන්න. මම ඔබේ ගෙදර අයට තවත් බෝධි පූජා දින හතක් නියම කරනවා. ඔබත්, ඒ අය සමඟ බෝධි පූජාවට යන්න. ඒ අය මල් පහන් පූජා කරනකොට ඒවාට අත ගහලා දායක වෙන්න. ඒ අය ගාථා කියන කොට ඔබත් ගාථා කියන්නැයි” භූතාත්මයට උපදෙස් දුන්නේය. එසේ තවත් බෝධි පූජා හතක් පවත්වා එන්නැයි සුමනා‍ගේ දුවටත්, බෑණාටත් උපදෙස් දුන්නේය. බෝධි පූජාව අවසානයේ බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි ඒ බුදු ගුණ බලයෙන් මම සුවපත් වේවා සියලු සත්ත්වයෝ සුවපත් වේවා” ය හඬ නඟා මෛත්‍රීය පතුරුවන ලෙස කීවේය.

    බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. සුමනා දිෂ්ඨි ගන්වා චමින්ද‍ගේ ප්‍රේතාත්මය ඇගේ ශරීරයට ගෙන්වා තබා චමින්දගේ අක්කාගෙන් චමින්ද ගේ පැවතුණු තත්ත්වයන් විමසීය.
    චමින්ද උපදින කොටම හදවතේ සිදුරක් සහිතව උපන්නේය. ඒක සුව කරන්න බැහැ කියලා වෛද්‍යවරු කීවා. වෙහෙස මහන්සි නොවී යහපත් ජීවිතයක් ‍ ගෙව්වොත් අවුරුදු තිහක් හතළිහක් ජීවත්වෙන්න පුළුවන් බවත් කිව්වා. ඒත් චමින්ද මත්පැන්වලට ඇබ්බැහි වුණා. පාප මිත්‍ර සේවනයට වැටිලා දිනපතාම බිව්වා. අන්තිමට අංශ බාගෙ හැදිලා මැරුණා මල්ලී මැරෙන කොට වයස අවුරුද තිහයි.” ඇය කීවාය.
    ගවේෂකවරයා භූතාත්මය අමතා නැවත කතා කෙළේය.

    “ අක්කා කියපු දේවල් ඇහුණා නේද?”
    “ඔව්”
    “බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ නාමයෙන් ඇත්ත කතා කරන්න. අක්කා කීවේ ඇත්ත නේද?”
    “ඔව්”
    “පියදාස මාමලා හූනියම් කළා නම් පළමුවෙන් ලෙඩ වෙන්න ඕනෑ අම්මයි, අක්කයි. එහෙම වුණේ නෑ. ඒ අයට සුළුවෙන්වත් දෙයක් සිද්ධ වෙලා නෑ. චමින්ද තමයි බොරු සාත්තරයක් ඔලුවට දාගෙන වෛරයක් ඇති කැර ගත්තේ. චමින්ද උපන්නේම පෙර අකුසල විපාකයකින් රෝගාබාධයක් ඇතුව හදවතේ සිදුරක් ඇතුව ඊළඟට මත්පැන් බොන්න පටන් ගත්තා. රෝගියෙක් හොඳ ආහාර ගන්න ඕනෑ. බෙහෙත් බොන්න ඕනෑ. අධ්‍යාත්මය හොඳින් ශක්තිමත් කැර ගන්න ඕනෑ. ඔබ කෙළේ ඊට විරුද්ධ දේවල්මයි. අන්තිමේ අංශබාග රෝගය වැළඳිලා මළා. පියදාස මාමලා කෙරෙහි මෝඩකම (මෝහය) නිසා ‍ෙවෙරයක් (ද්වේෂයක්) ඇති කැරගෙන මැරුණු නිසා ප්‍රේතයෙක් වෙලා උපන්නා. ඉතාම දුර්වල ප්‍රේතයෙක් . මැරිලත් දුර්වලයි. ඒකයි පළිගන්න අවසර ඉල්ලන්නේ. දැන් ඔබ චමින්ද නොවෙයි. චමින්ද මළා. ඔබ ප්‍රේතයෙක්. අම්මලා අක්කලා එක්ක බෝධි පූජාවට ගියා නේද? එතැනදී තමන්ට මොනවද ‍දැනුණේ? බුදු පිළිම වහන්සේ දකින කොට, බෝධීන් වහන්සේ දකින කොට මල් පහන් පූජා කරන විට බුදු ගුණ අනන්තයි. ඒ බුදු ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා. “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” කියන කොට ඔබට මොනවද දැනුණේ?”
    “මට පුදුම සනහයක්, සතුටක් හිතට දැනුණා. එතැන හරිම සනීප දායක බවක් දැනුණා.”

    “ එහෙම නම් වෛරයෙන් දැවී දැවී ඉන්නේ නැතුව අන්න ඒ බෝ මළුවට වෙලා ඉන්න. ගමේ අය ඇවිත් ‍බෝධි පූජා තියන කොට ඒවාටත් අත හිත දෙන්න. ඔය ප්‍රේතාත්මයෙන් මිදී ඉහළට යන්න හිතන්න. අනුරාධපුරේ ශ්‍රී මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑ රඳුන් වඳින්න යන්න අධිෂ්ඨාන කරන්න. මම අක්කට කියලා සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන අනුරාධපුරයට යන්න සලස්වන්නම්”

    ගවේෂකවරයාගේ උපදෙස් අනුව සුමනාගේ දියණියත්, බෑණාත් මාසයකින් පමණ ඉතාම සද්ධාවෙන් සාංඝික දානයක් පිරිනමා චමින්දගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කොට නැවත පැමිණියහ.
    එදින ද සුමනා දිෂ්ටි ගන්වා, ප්‍රේතාත්මය පලතුරු වට්ටියකට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය. දේවාලවල සාස්තර කියන්නේ ඥාති ප්‍රේතයන් ගේ උදව්වෙන්. ඔවුහු රෝගීන්ගේ සැකයක් අල්ලා ගෙන බොරු කියති. ඒ බොරුවලින් තමන් තුළ පැවති සැකය තහවුරු කැරගෙන අසල්වාසීන් සමඟ ‍ෙවෙර ඇති කැර ‍ෙගන සසර ගමන දික් කැර ගනිති. කබලෙන් ලිපට වැටෙති. මේවා කාටත් හොඳ පාඩම්ය.

    මතුගම

    මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බොරු සාස්තර අහලා මැරිලත් පළි ගන්න ඇවිත් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top