728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    ඔබේ උපන් දිනය හරියටම හරිද?

    මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපන් අයට වි‍ශේෂයි
    උප්පැන්න සහතිකේට වඩා කේන්දරය නිවැරදියි

    ඕනෑම ‍ෙකනෙකුට තමන්ගේ උපන් දිනය අමතක නොවේ. “සුබ උපන් දිනයක් වේවා!” යැයි අන් අය ආසිරි පතනවිට අපි සොම්නසට පත් වෙමු. ඕනෑම බලවත් සතුරෙකුගේ එදිරිවාදීකම් ඉතා සොඳුරු ලෙස මැඬ පැවැත්වීමට ද උපන් දිනය යොදා ගත හැකිය. ඔබට රිදවන ප්‍රතිවාදියාගේ උපන් දිනය සොයා ගන්න. එදින උදේ රැයින්ම “සුබ උපන්දිනයක් වේවා....” යි ඔහුට/ ඇයට ප්‍රසන්න විලාසයෙන් ආසිරි පතන්න. ඔහුගේ හදවතේ ‍ෛ‍වරයෙන් බුර බුර නැ‍ඟෙන ගිනි ජාලාව එතැන් සිට නිවී සැනහී යන්නේය. ගුරු - සිකුරු - බුධ සහ සඳු යන ග්‍රහයින්ගේ හෝරාවක් තෝරාගෙන (විෂ පංචමය අතහැර ) එලෙස සුබ පැතුවොත් ප්‍රතිඵල වඩාත් සාර්ථක වේ. ඒ අමතර කරුණ සඳහන් ක‍ළේ, කෙනෙකුගේ උපන් දිනය කෙතරම් බලවත් හැඟීමක් ඇති කරන්නේ ද යන බව පෙන්වා දීමටය.

    නමුත් ඔබ සමරන උපන් දිනය හරියටම හරිද? බොහෝ විට මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපත ලබන වැඩි දෙනෙකු තම උපන් දිනය ලෙස සමරන්නේ වැරදි දවසක් බව ඔබ දන්නවාද? මේ අවුලට ඔබ මැදි වී තිබෙන්නේ විශ්වයේ සැබෑ කාල චක්‍රයක් අප භාවිතා කරන දින දර්ශනයක් අතර පවතින නොගැළපීම නිසාය. එය කෙසේදැයි සරලව තේරුම් ගන්න.

    සාමාන්‍ය ඔරලෝසු , දින දර්ශනය සහ සියලු පරිගණක මෘදුකාංග සකසා තිබෙන්නේ රාත්‍රී 12.00න් පසුව අලුත් දවසක් උදා වන්නේය යන පදනම මතය. මෙය මිනිසා විසින්ම පහසුව තකා සකස් කර ගනු ලැබූ සම්මතයකි. එහෙත් විශ්ව කාල චක්‍රය අනුව රාත්‍රී 12.00න් පසුව දවසක් අවසන් වන්නේ ද නැත. අලුත් දවසක් උදා වන්නේ ද නැත ඒ කාරණය ‍ හොඳින් මතක තබා ගන්න.

    දවසක් ආරම්භ වන්නේ ඉර උදාවත් සමඟය. පසු දා ඉර උදාව සිදුවන තුරුම එම දවස පවතී. නිදසුනකට 2015 ජනවාරි 01දා නව වසර උදා වූ දවස ගනිමු. 2014 දෙසැම්බර් 31 දා රාත්‍රී 12.00ට මුළු ලෝකයම මල්වෙඩි සංදර්ශන පවත්වා 2015 ලැබූ බව කියමින් එකිනෙකාට සුබ පැතුවෝය. නමුත් 2015 ජනවාරි 01 දා උදා වූයේ ඊට පැය 06 කුත් විනාඩි 22කට පසුවය. 2014 දෙසැම්බර් 31 දා රාත්‍රී 12.05 ට දරුවකු උපන්නේ යැයි සිතුවොත් බොහෝ ‍දෙනා සිතන්නේ එම බිළිඳා 2015 ජනවාරි පළමුවැනිදා උපන් බවයි. එහෙත් ඇත්තම කතාව නම් ඒ දරුවා ඉපදී තිබෙන්නේ 2014 දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රී 12.05 ටය. 2015 ජනවාරි 01 දා උදාවන්නේ එදින පෙරවරු 06.22ට යෙදෙන ඉර උදාවත් සමඟය. එවිට 2014 .12.31දා පෙරවරු 06.22 සිට 2015 ජනවාරි 01 දා පෙරවරු 06.21 දක්වා යම් කෙනෙක් උපත ලබන්නේ නම් ඒ සියලු දෙනාගේම උපන් දිනය ලෙස ගත යුත්තේ 2015.12.31 ලෙසය. ඉර උදාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට විනාඩි ගණනක වෙනසක් සහිතව සිදුවන බව සැලකිය යුතුය.

    අත්දැකීම් සහිත ජ්‍යොතිෂවේදියකු නම් එම අවුල මතු නොවන ලෙස කේන්දරය පිළියෙල කර දෙනු ඇත. මේ කතාව බලන්න‍.

    අපි ඇයට නිලූකා යැයි කියමු. ඇගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය ලෙස සඳහන්ව තිබුණේ 1968, මැයි මස 16 ලෙසයි. එදින බ්‍රහස්පතින්ද‍ා දවසකි. එහෙත් ඇගේ කේන්ද‍ර‍යේ සඳහන්ව තිබුණේ 1968 මැයි මස 15 දා බදාදා අළුයම 02.55ට උපත ලබා ඇති බවයි. “ මේ දෙකෙන් මගේ හරි උපන් දිනය කුමක්දැයි” ඇය විමසා සිටියාය. කේන්දරයේ සඳහන් දිනය නිවැරදි බව අපි කීවෙමු.

    රෝහලක දරු උපත් ලියාපදිංචි කරන්නේ පිළිගත් සම්මතය වන රාත්‍රී 12.00න් පසුව අලුත් දිනයක් උදා වූ බව සලකමිනි. එහෙත් ජ්‍යොතිෂවේදී භාවිතයට ගැනෙන්නේ විශ්ව කාල චක්‍රයයි. ඉතාම නිවැරදි වන්නේ ද එයයි. මේ කියන නිලූකා මැයි 16 දා තම උපන් දිනය සැමරුවාට කමක් නැත. එහෙත් ඇය කිසියම් ජ්‍යොතිෂය කටයුත්තක් සඳහා තම උපන් දිනය යොදා ගන්නේ නම් එය නිසැකයෙන්ම මැයි 15 ලෙස ගත යුතුය. එසේ නොවුණ විට දිගින් දිගටම වැරදීම් ගණනාවක් හට ගනී.

    සෑම දිනකටම අධිපති ග්‍රහයෙක් සිටී. එනම් දිනාධිපතිය . ඉහත උප්පැන්නයේ හැටියට නම් ඇය ඉපදී තිබෙන්නේ බ්‍රහස්පතින්දාය. එවිට දිනාධිපති වන්නේ ගුරු ග්‍රහයාය. එහෙත් ඇත්තෙන්ම ඇය උපත ලබා තිබෙන්නේ බදාදාය. එහෙයින් දිනාධිපති වන්නේ බුධ ග්‍රහයාය. පොරොන්දම් පරීක්ෂාවේ දී මේ අවුල නිසා වැරදීම් හට ගනී. දෙවනුව ජ්‍යෝතිෂාංක විද්‍යාවේදීත් ඇයට ලැබෙන්නේ වැරදි අංක රටාවකි.

    උපත ලබා කාලයකට පසුව කේන්දරයක් සාදන්නට ගියහොත්, උපන් දිනය සම්බන්ධයෙන් ජ්‍යොතිෂවේදියා සැලකිළිමත් නොවුණහොත් වැරදි කේන්දරයක් ලැබෙන්නට ද බොහෝ විට ඉඩ තිබේ.ඒ නිසා ඔබ ඉපදී තිබෙන්නේ යම් දවසක රාත්‍රී 12න් පසුව නම් සහ පසුදා ඉර උදාවට පෙර නම් ‍‍ඔ‍බේ නිවරැදි උපන් දිනය වන්නේ රාත්‍රී 12 උදාවන විට පැවති දිනයමයි.

    මෙය තවත් නිදසුනකින් පැහැදිලි කර ගනිමු. ඔබ උපන්නේ යම් වසරක යම් මාසයක 10 වැනිදා බදාදා මධ්‍යම රාත්‍රී 12.45ට යැයි සිතමු. එවිට ඔබ ඉපදී තිබෙන්නේ 10 දා බදාදා බව තේරුම් ගත යුතුය. උප්පැන්න සහතිකයේ ලියැවෙන්නේ 11 දා බ්‍රහස්පතින්දා ලෙස විය හැක. එහෙත් ජ්‍යොතිෂ කටයුතු සඳහා ගත යුත්තේ 10 දා බදාදා උපන් දිනය ලෙසිනි.

    මෙදිනම පාන්දර 04.20ට ඔබ උපන්නේ යැයි සිතමු. එවිට ද ඔබට අයත් වන්නේ පෙර උපන් දිනයමයි. නිදසුන පරිදි 11 දා දවස ආරම්භ වන්නේ පෙරවරු 06.11ට යෙදෙන ඉර උදාවෙන් නම් ඊට පෙර උපදින සියලු දෙනාටම අයත් වන්නේ 10 දා බදාදා උපන් දිනය බව වටහා ගන්න. මෙහිදී ඔබ මතක තබා ගත යුතු නීති දෙකක් තිබේ.

    1 මධ්‍යම රාත්‍රී 12.00න් පසුව දවසක් හමාර වන්නේ හෝ අලුත් දවසක් ආරම්භ වන්නේ හෝ නැත.
    2 ජ්‍යොතිෂය අනුව දවසක් යනු එදින ඉර උදා වී සිට පසුදා ඉර උදාව දක්වා පවතින සම්පූර්ණ ‍කාලය වේ. දවසක් පටන් ගන්නේ ද අවසන් වන්නේ ද ඉර උදාව පදනම් කර ගනිමිනි.
    මධ්‍යම රාත්‍රී 12.00න් පසුව උපන් ඔබ යම් හෙයකින් මෙතෙක් වැරදි දිනයක උපන් දිනය සැමරුවේ නම් දැන්වත් එය නිවැරැදි කර ගන්න.


    කේ.සී.ජේ. රත්නායක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ උපන් දිනය හරියටම හරිද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top