සෑම මිනිසකේම තමන්ගේ මව්පියන්ට ආදරය කරයි. ඊටත් වඩා දරුවන්ට ආදරය කරයි. මව්පියන්ට ආදරය කළා සැලකුවා මදි යැයි සිතෙන්නේ එවුන් මළදාටය. අනේ! මීට වඩා සැලකුවා නම් සාත්තු කළා නම් හොඳ යැයි සිතෙන විට ඔවුන් මොලොව නැත. එහෙත් වර්තමානයේ මව්පියන් ලවා තමන්ගේ දරුවන්ට ද සාත්තු කරවති. පෙර පාසල් යවති. මළාට පසු ලෝක චාරිත්‍රයට දන් පින් කරති. ඒවාද තට්ටු මාරුවට . තෑගි බෝග බෙදා ගන්නා මඟුල් ගෙවල් සේය. මස්, මාළු, පපඩම්, වටලප්පන් , අරක්කු නැත්නම් තත්ත්වයට මදිකමකි. විශේෂයෙන්ම ඉහළින් සිතා සිටින පවුල්වල මව්පියන්ට සලකන්නේ කම්කරුවෝය. දූ දරුවන් ගුවනින් පැමිණෙන්නේ මල් ශාලාවේ බිල ගෙවන්නටය. ඒ තැනට සමාජ රටාව වෙනස් වී ඇත.
පනාගොඩ සුගලා තිස් අට හැවිරිදි එක් දරු මවකි. ඇය එංගලන්තයේ සිට සිය ස්වාමි පුරුෂයා සමඟ ලංකාවට පැමිණ මාස දහයකට වඩා ගත වූයේ නැත. රාත්‍රියට ඇගේ නිවස වටේ කවුදෝ ඇවිදින අඩි සද්දයක් ඇසෙන්නට විය. එසේම නිවස තුළ තද දුඟදක් හමයි. ඒ වෙලාවට සුගලාගේ මුළු ශරීරයම සීතල වී යයි. ඇය නොහැඬුවත් ඇගේ දෑස්වලින් කදුළු ගලා යන්නට වෙයි. මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලැබුව ද සුවයක් හෝ වෙනසක් සිදුවූයේ නැත. මනෝ උපදේශනයෙන් ද පලක් නොවීය. එහෙත් බෝධි පූජා පවත්වන දිනවලට අඩුවක් දැනෙයි.
මේ අතර ‘සෙත්මිණ’ පුවපත්පතේ “නොපෙනෙන ලෝකය” විශේෂාංගය කියවන ඥාතියකු උපදෙස් අනුව සුගලා තම සැමියා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් කරදර කීවාය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුගලා ඉකිබිඳ අඬන්නට වූවාය. ඇඬිල්ල නතර නොවන විට, දෘෂ්ටිය ඉවත් කොට, ඇයට ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි නියම කළේය.
බෝධ පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද ඇය පුල්‍ය වී අන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.
“අදත් අඬන්නට පටන් ගත්තාද? ඒක හරියන වැඩක් නෙමෙයි. කරුණාකර කතා කරන්න. අහන දේට උත්තර දෙන්න. කවුද මේ අඬන්නේ?”
“ මම මල්ලිකා . මේ දුවගෙ අම්මා “
“ඇයි අඬන්නේ?”
“මම මේ කෙල්ලව හදා ගත්තේ කොයි තරම් අමාරුවෙන් ද? මෙයා පුංචි කාලෙම තාත්තා අපි දෙන්නාව දාලා යන්න ගියා. මම ගුරුවරියක්. මගේ රස්සාවෙන් මම යන්තම් දුව හදා වඩා ගත්තා. විශ්ව විද්‍යාලයට යවලා ඉගැන්නුවා. වයස අවුරුදු විසි හතර වෙනකොට දුවට අලුත් ගේකුත් හදා දුන්නා. කාර් එකකුත් අරගෙන දුන්නා. ඊට පස්සේ විවාහයකුත් කර දුන්නා. කසාද බැඳලා රස්සාවට යනවා කියලා ජෝඩුවම එංගලන්තයට ගියා. අනේ මහත්තයා මම අසරණ වුණා. තනි වුණා. දුව කසාද බඳින වෙලාවෙ මගේ ගේ බැණගේ නමට දෑ වැද්දට ලියලා දුන්නා. දුවයි බෑනයි රට ගිය හැටියේ බෑනගෙ අම්මයි තාත්තයි මගේ ගෙදර පදිංචියට ආවා.
ආපු දවසෙ ඉඳලම බෑනගෙ අම්මා මට වෙනස්කම් කළා. මාව ගෙදරින් පන්නා ගන්නමයි හැදුවේ. කෑම ටිකවත් හරියට ලැබුණේ නෑ. බොහොමයක් දවස්වලට මම කඩෙන් පාන් ගෙනැත් කෑවේ. මේවා දුව ටෙලිෆෝන් කරන වෙලාවට මම කිව්වා. ඒත් දුව ඒවා ගණන් ගන්නේ නෑ. මට මගේම ගෙදර මිහිපිට අපායක් වුණා. දුවයි බෑණයි අවුරදු දොළහක් එංගලන්තෙ හිටියා. මම අනන්ත දුක් වින්දා. පැන්ෂන් එක විතරයි පිහිටට තිබුණෙ. ඒ අවුරුදු දොළහටම දෙසැරයයි දූලා ලංකාවට ආවේ. දෙවැනි වතාවෙ දූලා ලංකාවට එන කොට මම අසනීප වෙලා . හීනෙන් බය වෙලා හැමදාම කෑ ගහගෙන අවදි වෙනවා. මහ ගෑනි මට හූනියම් කරල ද දන්නෙත් නෑ. දුව ඇදුරෙක් ගෙන්නලා නූලක් දැම්මා. සති දෙකකින් ඒ දෙන්නා ආපහු යන්න ගියා. මගේ අසනීපය වැඩි වුණා. ඉස්පිරිතාලෙන් කිව්වා මට ලේ පිළිකාවක් කියලා. මා බලන්නවත් එන්න කෙනෙක් හිටියේ නෑ. සුමාන දෙකකින් මැරුණා. දුව ආවේ මගේ මරණයට.
“ඉතින් අම්මා දැන් දුවගෙ ඇඟට එන්නේ මොකද?”
“මහත්තයා දුව මට නොසැලකුවත් මම දුවට ආදරෙයි. එයා මොනවා කළත් මගේ දුවනෙ. මට අසනීප වුණේ බෑනාගෙ අමම්යි තාත්තයි වෙනස්කම් කරපු නිසයි. කවදා හරි මගේ දුවට ඔය ටිකමයි වෙන්නේ . ඔය මහගෑනි වෙනස්කම් කරාවි. මට දුක ඒකයි. කියා භූතාත්මය අඬන්නට වූවාය.
තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන් ගවේෂකවරයා එදින පැමිණෙන විට මව සහ පියා ද කැඳවාගෙන එන්නැයි සුගලාගේ සැමියාට කීවේය.
ඊළඟට පැමිණි දිනයේ සුගලාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය ද පැමිණියහ. එදින සුගලා දිෂ්ටි ගැන් වූ විට ආවේශ වූ භූතාත්මය නැන්ද්ම්මාටත් මාමණ්ඩියටත් බැන වදිමින් නැන්දම්මාට අතින් පහර කීපයක් ද ගැසුවාය.
“ මුන් තමයි මහත්තයා මගේ ජීවිතයේ නැති කළේ. මම මුන්ගෙන් පළිගන්නවා. “ යි කීවාය.
“දැන් ඇත්ත කියන්න. මේ ලෙඩාගෙ අම්මාට ඔය ගොල්ලෝ වෙනස්කම් කළාද කිව්වොත් ලෙඩාව බේරා ගන්නත් පුළුවන්. ඊළඟට ඔයගොලලොත් අසනීප කරාවි. ජීවිත අනතුරක් වෙන්න ඉඩ තියෙනවා”යි ගවේෂකවරයා කීවේය.
“එහෙම කොහොමද? අපි නිතරම පන්සල් යන අය යැයි” සුගලාගේ නැන්දම්මා අහංකාර ලෙස කීවාය.
“ ආ.... එහෙම නම් කමක් නෑ. මම ලෙඩා විතරක් බේරා දෙන්නම්” යැයි කී ගවේෂකවරයා සුගලාට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් යොදා තවත් දින දහ හතරකින් නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
සුගලා සුව අතය හැරෙන විට නැන්දම්මාත් මාමණ්ඩියත් ගහ බැණ ගන්නට වූහ. නැන්දම්මා හීනෙන් බය වී කෑ ගසන්නට වූ අතර කෑම අප්‍රියාවක් නිසා ආහාර ගත නොහැකිව රෝගි වූවාය.
දින තුනක් ගත වන සුගලාගේ මාමණ්ඩිය දුරකථනයෙන් නාගොඩ මහතා ඇමතුවේය. “අනේ මහත්තයා සමාවෙන්න. මගේ පවුලට අමාරුයි. ඇත්තම කියනවා නම් මේ ගෑනි සුගලා දුවගෙ අම්මාට බොහෝම වෙනස්කම් කළා. මම කියන දෙයක් මේ ගෑනි කවදාවත් කණකට ගත්තේ නෑ. ඒ ඉස්කෝලෙ හාමිනේ අසනීප වුණේ මේ ගෑනි හින්දම තමයි. අනේ මහත්තයා අපට දවස් දාහතර වෙකම් ඉන්න අමාරුයි.අපට ඊට කලින් එන්න දිනයක් දෙන්නැ”යිඉල්ලීමක් කළේය.
“එහෙම දිනයක් දෙන්න බැහැ. එයා පන්සල් යනවැයි කීවනෙ. එයාට පන්සල් ගිහින් අර මැරුණු ඉස්කෝලෙ හාමිනේට පින් දෙන්න කියන්නැයි” ගවේෂකවරයා දුරකථනය විසන්ධි කළේය.
දින දහ හතර බෝධ පූජාවෙන් පසු සුගලා ඇතුළු සිව් දෙනා නැවත පැමිණියහ. මේ වනවිට සුගලා සුවපත්ව සිටියාය. එහෙත් ගෙව්ෂකවරයා යළිත් ඇගේ ශරීරයට භූතාත්මය කැඳවීය.”
“දැන් කොහොමද?”
“හොඳයි මහත්මයා බෝධි පූජාවලට ගියාම මගේ සිත සතුටු වුණා. දැන් සැහැල්ලුයි.
“ ඔව් ඔබතුමිය ගුරුවරියක්. යුතුකම් මැනවින් ඉටුකරපු අම්මා කෙනෙක්. තාත්තාත් නැතුව දුවව හදලා වඩලා උගන්නලා ඉහළට යවපු අම්මා කෙනෙක්. හැබැයි තමන්ට නොගැලපෙන පවුලකට බුද්ධියෙන් තොරව සම්බන්ධවීම තමයි නරකට හිටියේ. හොඳයි මීට පස්සේ දුවට කරදර හිරිහැර නොකර ඉන්න එච්චරයි ඕනෑ. “හොඳයි මහත්තයා මිට පස්සේ මම නිසා දුවට කරදරයක් වෙන්නෙ නැහැ” යි භූතාත්මය පොරොන්දු වූවාය.
“දුවට කරදර නොකළාට දැන් අපට කරදර කරනවානෙ. මගේ නෝනා අසනීප වුණානේ” යි සුගලාගේ මාමණ්ඩිය කීවේය.
“මගෙන් ප්‍රතිකාර ගන්න ආවෙ සුගලා. සුගලා දැන් සනීපයි. මගේ රාජකාරිය ඉවරයි. “ගවේෂකවරයා කීය.”
“අනේ මහත්තයා අපටත් පිහිට වෙන්න.”
“මම තමුන් වගේ අයට ප්‍රතිකාර කරන්නේ නෑ.”
කිසිම හැදියාවක් නැති දෙනන්නෙක් . අර ඉස්කෝලෙ හාමිනේගේ ගෙදරටම රිංගා ගෙන එයාට වද දුන්නා. වෙනස්කම් කළා. කොයි තරම් වැරදදි? අන්තිමේ ඒ නෝනා දුක් විඳලා මැරුණා. ඔබේ බිරිඳ මහා පණ්ඩිතයි. දුෂ්ටයි. එයා වෙනස්කම් කරන කොට ඒක වළක්වා ගන්න ඔබට බැරි වුණා. උත්සාහ කළෙත් නෑ. දැන් භූතාත්මය සුගලාගේ නැන්දම්මාගෙන් පළිගනීවි. ඔබෙනුත් පළි ගනීවි. පුතාවත් මරා දාන්න පුළුවන්. එතකොට අර අහිංසක පොඩි දරුවත් අනාතයි. කියන විට සුගලාගේ සැමියා ඉතාම ලැජ්ජාවෙන් බිම බලාගෙන සිටියේය.
“අනේ මහත්තයා අනුකම්පා කරලා සමාවෙලා අපට පිහිට වෙන්නැ “යි මාමණ්ඩිය නැවතත් කීවාය.
“ඕකට එකම ක්‍රමයක් තියෙනවා. කැමති නම් ඒක කළොත් සහායක් ලබා දෙන්න පුළුවන්. කැමති නම් දැන් මාමණ්ඩියි නැන්දම්මයි දෙන්නාම ලේලිගෙ කකුල් දෙක අල්ලලා වැඳගෙන” අම්මාට කරපු අසාධාරණකම්වලට අපට අනුකම්පා කර සමාව දෙන්නැයි හඬ නඟා කියලා සමාව ගත්තොත් සහනයක් ලබා දෙන්නම්” යැයි ගවේෂකරවයා කීවේය.
ඒ පරිද්දෙන්ම ඒ දෙදෙනා සුගලාගේ පාවැඳ සමාව ගත්හ.
සුගලා ලවා සතියකට පසු නිවසේ සාංඝික දානයක් පිරිනමා භූතාත්මයට පින් අනුමෝදන් කොට කැලණියට යැව්වේය. නැන්දම්මාටත්, මාමණ්ඩියටත් ඒ නිවසෙන් ඉවත්ව යන්නට ද කීවේය.
මතුගම
මහින්ද විජේතිලක
0 comments:
Post a Comment