728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    ජනපති වඩාගත් දරුවෙක් ආපසු හැරුනේ නැත්තේ ඇයි?


    මේ අනාවැකිය පිළිබඳ සියලු වගකීම් මම පෞද්ගලිකව භාර ගනිමි. එසේ කියන්නේ මා පවසන දේ නොවැරදීම ඉටුවන හෙයිනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සතුව ඇති බලවත් ජන ආකර්ශණය එතුමාගේ උත්පත්ති ග්‍රහචාරයෙන්ම දායාද වූ විශ්ව ශක්තියකි.

    පුත්‍රකාරක ගුරු ජනාධිපතිතුමන්ගේ කේන්ද්‍රයේ දිග් බලව ලග්නයේ සිටින අතර ග්‍රහ දෘෂ්ටිය ද අනුව දරුවන් උගතුන් පූජ්‍ය පක්ෂය මෙතුමාට ආකර්ශනය වන බවට හොඳම සාක්ෂිය නම් කිසිම දිනයක, කිසිම උත්සවයකදී එතුමා දරුවකු වඩාගන්නා විට ඒ දරුවා තම මවගේ ඇ‍ඟේ එල්ලී විරෝධතාවයක් පානවා වෙනුවට ජනාධිපතිතුමාගේ අතේ හරි බරි ගැහී තම මවට අතවනමින් සතුට පළකිරීමයි.
    දරුවන් පමණක් නොව දෙවියන්ද, පූජ්‍ය පක්ෂය ද එතුමාට ආකර්ශනය වන්නේ පෙර කරන ලද පින එනම් අසදිස මහා දානය ඇතුළු පින්කම්වල බලය නිසයි. නැවත වතාවක් එල්.ටී.ටීයට රට යාමට නොදී බෞද්ධයාත්, ජාතියත් බේරා ගැනීමට හැකිවන්නේ එතුමාට පමණි.

    බොහෝ දෛවඥයන් මෛත්‍රීපාල මහතා‍ගේ කේන්ද්‍රය වරදවා සකස්කර ඇති අතර, පුවත්පත් කීපයකම එම වැරදි කේන්ද්‍ර සහිත ලිපි පළවී තිබෙනු දුටුවෙමි.
    2014/12/10 වන දින ස්වාධීන රූපවාහිනී සේවයේ “ඇතුලාන්තය” වැඩසටහනේ දී මා ප්‍රකාශ කළ පරිදි මෛත්‍රීපාල පුස්කොළ කේන්ද්‍රය ඇත්තේ මා ළඟම පමණකි. එතුමා එය මට දුන්නේ පුද්ගලික කටයුත්තක් සඳහාය. ඒ නිසා එහි විස්තරය හා වේලාව ගැන මා එළිකරන්නේ නැත. මෛත්‍රීපාල අතර නිවැරැදි නැකත උත්‍රපල නැකතේ 3වන පාදය බවත් ප්‍රකාශ කරමි.

    මහින්ද මහතාගේ කේන්ද්‍රය අනුව එතුමා දැනට ගත කරන්නේ ගුරු මහ දශාවේ බුධගේ අන්තරය දශාවය. උපතේ දී “කෝටියක්” දෝෂ භංග කරමින් දිග් බලයෙන් යුතුව ලග්නයේ සිටින ගුරු ග්‍රහයා ඔහුට බුද්ධිය, ජනබල, දෙවියන්ගේ ආකර්ශණය ලබා දී ඇති අතර, දහවැන්නේ සිටින රාහු ග්‍රහයා බුධ ජයග්‍රහණය සහිතව මිය යනතුරු රාජ්‍ය බලය හිමිකර දී ඇත.
    ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ බලවත්වම යෝගයක් වන්නේ “චන්ද්‍ර අධි යෝගයයි” ඕනෑම ගැටළුවකට දක්ෂ ලෙස මුහුණදීමේ චිත්ත ශක්තිය ඉන් ඔහුට ලැබී ඇත.

    මෛත්‍රීගේ කේන්ද්‍රය අනුව ඔහු දැනට ගත කරන‍්නේ සෙනසුරුගේ මහ දශාව රවි‍‍ගේ අතුරු දශාවයි. මෛත්‍රී දැනට ලග්න ඒරාෂ්ඨකය ගත කරයි. මහජනයා නියෝජනය කරන 7 අධිපති කුජ නීචවීම නිසා කුජගෙන් නියෝජනය වන කතරගම දෙවියන්ගේ ආකර්ශණය මෛත්‍රීට ලැබෙන්නේ නැත. පොදු මහජනතාව නියෝජනය කරන ශනි ග්‍රහයා මෛත්‍රීගේ බලවත්ම අශුභ ග්‍රහයා බවට පත්වන්නේ ශනි ඔහුගේ 22 වන දෙර්කාණධිපති වීම නිසාය. උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කිරීමෙන් යුධයෙන් ජයගත් රට නැවත එල්.ටී.ටියට දීමට ගිවිසුමක් අත්සන් කළ බව දැන් දැන් පොදු ජනයා අතර පැතිර යාම නිසා පොදු ජනයා මෛත්‍රීගෙන් ඈත්වීමට හේතු පෙනේ.
    මැතිවරණය සඳහා දෙදෙනා නාම යෝජනා භාරදුන් නැකැත් ද මෛත්‍රීට අපලදායක තත්ත්වයක් ඇතිකර තිබේ.

    නා‍මයෝජනා දිනයේ උදා වී පැවති “අද” නැකත මෛත්‍රීට ක්ෂම නැකතක් වූ අතර මහින්දට එය “සාධන” නැකතක් විය. මහින්ද මහතා නාමයෝජනා භාරදුන්නේ 2014/12/08 වන දින උදේ 10.48 ‍ටයි. එම වේලාව රාහුට අයත් “අද” නැකත උදා වී තිබූ අතර අව දියවක තිථිය අනුව අමෘත යෝගය පැවතුණි.
    අස්විද නැකතින් උපන් මහින්දට භේරුණ්ඩ පක්ෂියා උපතින් හිමිවන හෙයින් එම නැකත් වේලාවේ භේරුණ්ඩ පක්ෂියා රජ අවස්ථාවේ සිටියේය.
    තරගයකදී විශේෂයෙන්ම පක්ෂයා රජ වී සිටීම ගැන කැනැත්කරුවන් උනන්දුවක් දැක්විය යුතුය.
    අවාසනාවකට මෙන් නාමයෝජනා භාරදුන් උදේ 10.07 වෙලාව වනවිට මෛත්‍රීගේ “කාක” පක්ෂියා සිටියේ නිදි අවස්ථාවේදීය. පක්ෂියා රජ වී සිටි අයකු පැරදවීමට පක්ෂියා නිදි අවස්ථාවේ සිටි අයකුට හැකියාවක් ලැබෙන්නේම නැත.

    මෛත්‍රීගේ උත්පත්ති කේන්ද්‍රයේ දහවැන්නේ නීචව සිටින්නේ කුජ ග්‍රහයායි. කුජ ග්‍රහයා කතරගම දෙවියන්ට හා ලේ ධාතුවට හා වීර්යයට අධිපති ග්‍රහයාය. කුජ නීච වූ විට ධෛර්යය අඩුවනවා මෙන්ම කතරගම දෙවියන්ගේ ආකර්ශනය ලැබෙන්නේ ද නැත. කතරගම දෙවියන්ගේ ආකර්ශනය බලවත් ලෙස නැති අයෙකුට ලංකාවේ පාලනය ලැබෙන්නේ නැත. අනිත් අතට මෛත්‍රීපාල සටන මෙහෙය වන රනිල් දැන් ගතකරන්නේ බුධ මහ දශාවේ කේතු අන්තරයයි. ඔහු මීන ලග්නකරුවෙකි. රටට අහිතකර ගිවිසුම්වලට අප්‍රසිද්ධියේ රහසින් එළඹීමට ඔහු පෙළෙඹෙන්නේ කුමන්ත්‍රණකාරී කේතු ග්‍රහයාගේ බලපෑම නිසාය.
    1954/09/29 දින උදේ 09.56ට උපන් චන්ද්‍රිකාගේ කටක ලග්න කේන්ද්‍රයද සජිත්ගේ මිථුන ලග්න කේන්ද්‍රයක මේ දිනවල ඇත්තේ ආශ්‍රය කරන අය අමාරුවේ දමන ග්‍රහ තත්ත්වයකි.
    මේ රටේ අතීතයේ සිටි ඩඩ්ලි. ජේ.ආර්. සිරිමා, දහනායක මෙන්ම වර්තමාන ජනාධිපති මහින්දද කන්‍යා ලග්න හිමියන් ය.

    ගාමිණී දිසානායක, සරත් ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන තුලා ලග්න හිමියන්ය‍‍. තුලා ලග්න හිමියෙකුට ලංකාව පාලනය කිරීමට පින් නැති බව පවසන්නේ සරත් ‍ෆොන්සේකාටත්, ගාමිණී දිසානායකටත් සිදුවූ ‍දේ සිහිපත් කරමිනි.
    මේ අනාවැකිය කිසිම ලෙසකින් වැරදීමට ඉඩක් නැති අතර, මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළ‍හොත් මෙය ලියන මා රූපවාහිනී නාලිකාවක් තුළ දී ගිණිතබා ගන්නා බවට ද, මෙය කියවන හැම අයෙකුටම මෙයින් පොරොන්දුවක් දෙනු ලබන්නේ කිසි ලෙසකින් මගේ අනාවැකිය වැරදීමට ඉඩක් නැති නිසාය.

    තාරකා විශේෂඥ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

    මාපලගම විමලරත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජනපති වඩාගත් දරුවෙක් ආපසු හැරුනේ නැත්තේ ඇයි? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top