728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    සෙනසුරු ඒරාෂ්ටකයට වඩා බිහිසුණු කණ්ඨක ශනි

    බලන්න ඔබටත් මේ දෝෂය තිබේද?

    ජ්‍යොතිෂ පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකු වුව ද සෙනසුරු ගැන දනී. ඒ තරමටම සෙනසුරුට මිනිසුන් බිය වේ. සෙනසුරාදා දිනවල පන්සල්, දේවාල, කෝවිල්වල සෙනසුරු අපලයට ශාන්ති කර්ම කරන යාදින්නන්ගෙන් පිරී ඉතිරී පවතී.

    පසුගිය නොවැම්බර් 02 වන දා සෙනසුරු තුලා රාශියේ සිට වෘශ්චික රාශියට සංක්‍රමණය වී සිය ආරෝහණ ගමන ආරම්භ කළේය. ඉදිරියට තවත් වසර දෙක හමාරක පමණ කාලයක් ආරෝහණ මෙන්ම අවරෝහණ ගමනේද යෙදෙමින් සෙනසුරා අඟහරු‍ගේ වාස භවනයේ ගත කරයි.
    මේ අනුව ලග්න කිහිපයකටම සෙනසුරු ඒරාෂ්ඨක අපලය උදා වේ. ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්නේ නම් සෙනසුරුගෙන් අපල උදාවන ජන්මීන්ට එයින් මිදීම අපහසු කාර්යයක් නොවේ.

    සෙනසුරු ගැන කතා කරද්දී කණ්ඨක ශනි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වටී. කණ්ඨක යනු පාදයේ ඇනෙන්නාවූ යකඩ කටුවකි. කකුලෙහි කටුවක් ඇනුන විට ඇවිදීමට බාධාවක් මෙන්ම විශාල වේදනාවකි.
    එසේ නම් කණ්ඨක ශනි අපලය යෙදෙන අවස්ථාවේ ජන්මියාගේ ලෞකික දියුණුවට බාධා ගෙනදේවි. මෙහිදී පළමු තර්ජනය එල්ල වන්නේ ආදායම් මාර්ගයටයි. යම් කෙනෙකුගේ එදිනෙදා ජීවිත‍යේ බොහෝ දේ තීරණය වන්නේ රැකියාව සම්බන්ධවය. ඕනෑම කෙනෙක් රැකියාවට බාධා පැමිණෙන විට කායික මානසික පීඩාවට ලක් වේ.

    කණ්ඨක ශනි යෙදෙන අවස්ථා විමසා බලමු. කේන්ද්‍රයක ලග්නයේ, අටවැන්නේ හෝ දහවැන්නේ (6- 8 – 10) සෙනසුරු ගමන් කරන කාලයේ කණ්ඨක ශනි අපලය යෙදේ.
    ජ්‍යොතිෂ‍යේ පෙන්වා දෙන ආකාරයට සෙනසුරු ග්‍රහයාට තමා සිටින රාශියෙන් 3-7 සහ 10 වැන්න පෙනෙයි. එසේ නම් ශනි ලග්නයේ ගමන් කරන කාලයේ දී 3 – 7 – 10 පීඩාවට පත් වේ.
    මෙය හේතුකොට ගෙන ජන්මියාගේ වික්‍රමය අඩුවෙයි. සහෝදරකාරකාරදීන් සමඟ ආරවුල් මතභේද ඇති වේ. විවාහ ජීවිතයේ ද ගැටලු මතුවේ.

    විශේෂ‍යෙන්ම රැකියා සම්බන්ධව තමා විසින් වැඩකටයුතු අවුල්කර ගැනීම හේතුවෙන් අධික ලෙස වැරදීම් සහ අඩුපාඩු ඇතිවීම් අලස ගති මෙන්ම සමාජයෙන් කොන් වී සිටීමත් මේ කාලවකවානුව තුළදී ඇතිවිය හැකිය.
    මේ තත්ත්වය තුළ ජන්මියා අභ්‍යන්තර වශයෙන් පීඩාවට පත්වන අතර ලෞකික ජීවිතය පිළිබඳ කලකිරීමට පත් වේ. මේ හේතුව නිසා ජන්මියා සමාජ‍ෙයන් ඈත් වී මුළු ගැන් වී සිටීමට ‍ෙපළඹේ.
    සෙනසුරු චන්ද්‍ර ලග්නයෙන් ඉහත සඳහන් කරන ලද ස්ථානවල ගමන් කරන විට ද කණ්ඨක ශනිගේ අපල බල පැවැත්වෙයි.

    ලග්නයෙන් අට වැන්නේ සෙනසුරු ගමන් කරන අයට ද ශනිගේ තුන්වන දෘෂ්ටියෙන් දහවැන්න පීඩා වේ. එය ද රැකියාවට බාධා ඇතිවීම‍ට හේතුවකි. දෙවැන්නට සහ පස්වැන්නට පීඩා ඇතවීම ද අශුභ දායකය. එනම් දෙවැන්න කෙනෙකුගේ මාරක ස්ථානයකි. මේ කාලයේ දී මාරක තත්ත්වයේ ලෙඩ රෝග ඇති වී අධික වියදම් දැරීමට සිදුවේ. පස්වැන්න පීඩාවීමෙන් දරුවන්ට අපල ගෙනදිය හැකි අතර දරුවෝ අකීකරු විය හැකිය.
    කණ්ඨක ශනි යෙදෙන තවත් අවස්ථාවක් වන්නේ කේන්ද්‍රයක ලග්නයේ, දෙවැන්නේ හෝ 12 වැන්නේ ශනි ගමන්කිරීමයි.

    මේ අවස්ථාවේ දී ද ඉහත සඳහන් කළ ආකාරයටම ජන්මියාට බොහෝ දුක් කරදර කම්ක‍ෙටාළු මෙන්ම තමා සතු තැන්පත් ධනයක් ඇත්නම් නිකරුනේ එය වියදම් වී දුකට පත්විය හැකිය.
    ජ්‍යොතිෂය පෙන්වා දෙන ආකාරයට යම් කේන්ද්‍රයක සෙනුසරු 4 වැන්නේ ගමන් කරන කාලයේ දී අර්ථ කණ්ඨක ශනි අපලය බල පැවැත්වෙයි. මෙහි ප්‍රතිපල එතරම් අභුහ නොවේ.
    බොහෝ බුද්ධිමත් ජන්මීන් සෙනුසරු අපල බල පැවැත්වෙන කාලයේ දී ඇති වන්නා වූ දුක් කරදර කම්‍කටොළු බාධා මඟින් ජීවිතයේ යථාවබෝධය මැනවින් අවබෝධ කර ගනී. ඕනැම කෙනෙකුට ලෝකෝත්තර සුවය ලබා ගැනීමට සෙනසුරුගෙන් ලැබෙනුයේ මහා මෙහෙයකි.

    කරදර කම්කටොළු වැඩිවන විට මිනිසා දහමෙන් සැනසීම සොයයි. දහම් ම‍ඟේ යනවිට ඔහුට සත්‍ය අවබෝධ වේ. එවැන්නෝ සසරේහි පාරමී පුරාගෙන එන වාසනාවන්තයෝය. එහෙත් මිනිස් දිවියෙහි වටිනාකම නොදන්නෝ ජීවිතයෙන් පලායති. එවැනි අයට ජීවිතය ජය ගන්නා ආකාරය පහදා දී ඔවුන්ගේ දිවි සුරැකීමට ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ලැබෙනුයේ ඉමහත් පිටු වහලකි. කල්වේලා ඇතිව අපල හඳුනාගෙන ඊට පිළියම් යොදන්නේ නම් අකාලයේ වැනසී යන ජීවිත ආරක්ෂා කර, සැනසීම උදාකර ගැනීමේ හැකියාව සහ ක්‍රමවේද ඉසිවරු විසින් පෙන්වා දී තිබේ.

    එම නිසා සෙනසුරු අපලයට බියවිය යුතු නොවේ. එය මිනිස් දිවියට වෙස්වලාගත් ආශිර්වාදයකි. සෙනසුරු අපල කාලය යනුවෙන් හඳුන්වා දී තිබෙන්නේ යම් ජන්මියෙක් පූර්ව ආත්මවලදී සිදුකරන ලද අකුසල කර්මයන්ට විපාක දීමේ කාලය ලෙසයි. එසේ නම් සෙනසුරුට අපල කිරීමේ හැකියාව ඇත්තේ ජන්මියාගේ පූර්ව කුසල ශක්තිය හීන වී ඇත්නම් පමණි.

    එම නිසා සෙනසුරු ඒරාෂ්ටක පවතින කාලයේ දී ජීවිතයට කුසල් පුරවා ගත යුතුය. කුසල ශක්තිය වැඩිවන විට අකුසලයට හිස එසවිය නොහැකිය. එසේ නම් සෙනසුරු පරාජය කළ හැක්කේ පින් පිරීමෙන්ම පමණි. සෙනසුරු අපලය පවතින කාලවකවානුවේදී පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම අඩුතරමින් පන්සිල්වත් ආරක්ෂා කරන්නේ නම් ධර්මය විසින් ඔහු ආරක්ෂා කරයි.
    පංචශීලය රකිමින් දිනපතා තෙරුවන් නමැද විනාඩි දහයක්වත් මෛත්‍රී භාවනාව වැඩීමට පුරුදු වන්නේනම් අපල දුරුවීමට එය ප්‍රබල ප්‍රතිකර්මයකි.

    තෘෂ්ණාවෙන් තොරව දන්දීමෙන් ආයු - වර්ණ - සැප- බල- ප්‍රඥා ලැබෙන බව බුද්ධ දේශනාවයි. එසේ නම් සිල්වත් ගුණවත් උතුමන්ට දන්දීම සෙනසුරු අපලයට මහඟු පිළිසරණකි.
    නියමාකාරයෙන් තෙරුවන් පෙරටු කොට බෝධි පූජා පැවැත්වීමත්, පිරිත් සජ්ජායනයත් ආබාධිත අසරණ අයට මෙන්ම වැඩිහිටියන්ට ඇප උපස්ථාන කිරීමත් ශනි අපලයට කළ හැකි වටිනා ප්‍රතිකර්මයයි. මේ ආකාරයට පින්දහම්වල නියැළෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කරන්නන්ට අපල කිරීමේ බලය සෙනසුරුට අහිමි වේ.

    එසේ නම් අපි කණ්ඨක ශනිට බිය විය යුතුද?


    - ධම්මිකා වෙලේගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෙනසුරු ඒරාෂ්ටකයට වඩා බිහිසුණු කණ්ඨක ශනි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top