728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    ගල්කිස්සේ මුදිතා සිහිනෙන් බියකළ රහස් කතන්දරේ


    කෙනෙක් ගෙයක් හදන්නේ එහි නිදුක් නිරෝගිව සුවපත්ව ජීවත්වීමේ අදහසිනි. දීර්ඝ කාලයක් ජීවත්වීමේ අදහසිනි.හෙට අනිද්දා මරණයට පත් වේ යැයි නොසිතා ජීවත් වීමේ අශාවෙනි.පවුලේ අයත් සමඟ මේ ඉඩම සහ ගෙය යස ඉසුරින් පුරවාගෙන ජීවත් වීමේ අශාවෙනි.

    තමන් උපන් වේලාවට නැකතට හඳහනට අනුව මුල්ගල් තබා ගොඩ නගා ගත් නිවස මගේය.... මගේය කියන සිතිවිල්ල චිත්ත සන්තානයේ පැළපදියම් කැර ගනිමින් තමන් වයස් ගත වන වට දුබලවන විට මා මළොත් මගේ දරුවෝ මේ මගේ නිවස ආරක්ෂාකැර ගෙන පවත්වා ගෙන යනු ඇතැයි සිතති.මගේ ගෙය යන සිදුවිල්ල අත් නොහරිති .සේ මාහැදූ මගේ ගෙය මගේ යන තන්හාව බලවත් වීඋපාදාන වූ චිත්ත සන්තානයෙන්ම මිය යයි.

    ඉඩමට ගේ දොරට ඒ ගෙයි ඇති බඩු මුට්ටුවලට දරුවන්ට හිතේ පැවැති ඇල්ම අත් නොහැරම තිබීමේ හේතුවෙන් ඒ නිවසේම ප්‍රේතයෙක්ව උපදී.
    එසේ ගෙය පිළිබඳ තණ්හාව උපාදානය වූ සිත පෙර සේම ක්‍රියාත්මක වේ. මේ ගෙය මගේය. මගේ දරුවෝ මගේ ගෙයි ජීවත් වෙති.යි සිතා ගෙන සිටිති.මෙසේ සිතා ගෙන සිටින කෙනෙක් මගේ මේ ගෙය වෙනත් කෙනෙකු අයිතිකැර ගනිතියි කිසිසේත්ම නොසිතති. මෙසේ සිටින විට මේ ගෙය කිසියම් හේතුවක් නිසා දරුවන් විසින් වෙනත් කෙනෙකුට විකුණනු ලැබුවොත් ඔහුට හෝ ඇයට කුමක් සිතේවිද?

    ඔහුගේ චිත්ත සන්තානය කොයිතරම් පීඩාවට පත්වේවිද?
    ඔහු ජීවත්ව සිටියානම් රණ්ඩු සරුවල් කරනු ඇත.වළක්වන්නට නොහැකි නම් හඬා වැලපෙනු ඇත.සමහර විට සිය ජීවිතය පවා හානිකැර ගනු ඇත. ඒ සියල්ල සිදුවන්නේ මනසට ඇති වන පීඩනය නිසාය. අත්හැරීමට ඇති නොකැමැත්ත නිසාය. දැඩිව සිතින් අල්ලා ගෙන සිටින නිසාය. භෞතික ශරීරයකින් රණ්ඩු සරුවල් කරගන්නට ගහ බැණ ගන්නට හඬා වැලපෙන්නට නොහැකි වුවද ඒ සියලු ක්‍රියාකාරකම් ඊටත් වඩා බලවත්ව සිත තුළ ක්‍රියාත්මක වේ. ඔහු ගේ ප්‍රේතාත්මයට කළ හැකි යම් ක්‍රියාකාරකමක් වේ නම් එය උපරිමයෙන් ම සිදුකරනු ඇත.

    එසේ ක්‍රියාකාරකම් කරන ප්‍රේතයෙකු, මළ යක්ෂයකු හෙවත් ඒ ගෙයි නියම අයිතිකරුවා එළවා දමන්නට ඉවත් කරන්නට , බැඳ මුහුදේ දමන්නට ඔහුගේ දරුවන්ට හෝ ඇඳුරෙකුට සාධාරණ අයිතියක් ති‍බේද? නැත. එසේ කළහොත් එය මහත් වූ බරපතල වූ පාපයකි. ඒ නිසා ගෙවල් ඉඩම් විකුණන්නෝ ද මිලදී ගන්නෝ ද ඒ කටයුතු නුවණින් ම කළ යුතුය. සාධාරණව කළ යුතුය.

    ගල්කිස්සේ පදිංචි මුදිතා හතලිස් අට හැවරිදි විවාහක කාන්තාවකි .දෙදරු මවකි. ඇය හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදිවෙයි.නිවස පුරා කෙනෙකුට උහුලන්න‍ට නොහැකි දුර්ගන්ධයකි.පවුලේ සාමාජිකයන් අතර නොරිස්සුම් මහා ගැටුම් අඬ දබර බහුලය. මේ තත්ත්වයෙන් මිදෙන්නට ඇඳුරන් ගෙනවා තොවිල් ගණනාවක් සිදු කළද සති දෙක තුනක් ගතවන විට පෙර පැවැති තත්ත්වයටම යළිත් පත්වේ. අවසානයේ මුදිතා සිය සැමියා වසන්ත සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියාය.
    අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩ විතාන මහතා සමඟ තත්ත්වය පැහැදිලි කළාය.
    මහත්මයා ,කරන්න තියන හැම දෙයක්ම කරලා බැරිම තැන සෙත්මිණ පත්‍රයේ පළවන නොපෙනෙන ලෝකය විශේෂාංගය බලලා ඔබතුමා හොයාගෙන ආවෙ යි පවසා ප්‍රතිකාර පැතුවාය.
    ගවේෂකවරයා ඔවුන්ගේ පදිංචි ස්ථානය ගැන තොරතුරු විමසීය.

    මහත්මයා අපි පදිංචිව ඉන්නේ සල්ලිවලට ගත්ත පරණ ගෙදරක. අවුරුදු හතරකට කලින් ගත්තේ ,එතැන පදිංචිියට ඇවිත් අලුත්වැඩියා කළා.නවීකරණය කළා. ඇත්තටම කියනවා නම් මෙතැනට ආවාට පස්සෙ අපට දියුණුවක් නෑ. ‍ටික ටික කරදර ඇතිවෙන්න පටන් ගත්තා. ශාන්තිකර්ම ආරක්ෂාවල් දැම්මත් විශේෂ වෙනසක් වුණේ නෘ. මුදිතා අසනීප වෙන්න ගත්තා"යි වසන්ත පැහැදිලි කළේය.
    ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකරන විට මුදිතා අප්‍රාණිකව සිහිසුන්ව වැටුණාය. ඇයත් භූතාත්මයත් දෙදෙනාම දුර්වලව සිටින බව වටහා ගත් ගවේෂකවරයා ග‍මේ පන්ස‍ලේ දින විසි එකක් බෝධි පූ‍ජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

    බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ මුදිතා ප්‍රලය වූවා ය. ගවේෂක වරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය. කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?
    මම ඩල්සි
    කවුද මේ ඩල්සි කියන්නේ?
    මේ ගෙදර අයිතිකාරි මම කියූ භූතාත්මය අඬන්නට වූවාය.

    ඇයි මේ ‍අඬන්නෙයි ගවේෂකවරයා ඇසීය.
    අනේ කෝ මගේ වික්ටර් ? වික්ටර් .....වික්ටර් ... යැයි නමක් කියා කෙනෙකු අමතන්නට විය. කවුද ඔය වික්ටර් කියන්නෙ
    මගේ මහත්තයා
    එයා මොනවාද කළේ?
    පෙටාවල ෂොප් එකක් කළා
    (පිටකොටුවේ සාපුවක්)
    ඩල්සි මළේ කවද්ද,
    මතක නෑ
    කොහෙදි ද මැරුණේ
    මහලු මඬමක
    වික්ටර් මැරුණෙ කවදාද?
    මට මතක නෑ ,හැබැයි මට කලින් ඒකනෙ මට මහලු මඩමකට යන්න සිදු වුණේ. අපි දෙන්නගෙ ෆොටෝ එක ඇති මුන්ගෙ ළඟ. ඒකෙ මමයි වික්ටරුයි ලස්සනට ඉන්නවායි භූතාත්මය කීවාය.
    එවැනි පින්තූරයක් තිබුණාදැයි ගවේශකවරයා වසන්තගෙන් ඇසීය.
    ඔව් මහත්තයා, මේ ගේ අපි ගත්තාට පස්සේ බිත්ති කබඩ් එකක ඒ වගේ මඟුල් ෆො‍ටෝ එකක් තිබුණා. ඒක 1951 ගත්ත පින්තූරයක් බවත් පින්තූරයේ සඳහන් වෙලා තිබුණා.
    ඔව් ඔව් ඒ පින්තූරය වික්ටර්ගෙයි මගෙන් වෙඩින් ෆොටෝ එක .ඒක මුන් දැන් පැත්තකට දාලායි කී භූතාත්මය කඳුළු සලන්නට විය.
    ඩල්සිට ළමයි නැද්දයි ගවේෂකවරයා ඇසීය.

    හිටියා හිටියා දෙන්නෙක් හිටියා. ඒදෙන්නා පිටරට පදිංචි වෙලා බොහොම ජයට ජීවත් වෙනවා
    ඩල්සි බලන්න ආවෙ නැද්ද?
    ආවා .....ආවා....තාත්තාගෙ මරණෙට නම් ඒ දෙන්නට එන්න බැරි වුණා.පස්සෙ ඇවිත් මාව මහළු නිවාසෙකට දාලා මගේ ගේ විකුණලා සල්ලි ‍ටිකත් අරගෙන ගියා.අනේ මහත්තයා කොයි තරම් වටිනා ගෙයක්ද?
    වික්ටරුයි මමයි කොයි තරම් ආශාවෙන්ද මේ ගේ ගොඩ නැගුවේ.මගේ ගේ දරුවො විකුණලා ගියා.ඒ වුණා‍ට මගේ ගේ .මම මැරිලා වික්ටර් හොයාගන්න ගියා .වික්ටර් හොයාගන්න බැරි වුණා.මම මගේ ගෙදරට ආවා.හැබැයි තවමත් වික්ටර් හොයන්න යනවා. ඉතින් මේ මුදිතාට කරදර කරන්නේ මොකද?හිරිහැර කරන්නෙ මොකද?අසනීප කරන්නෙ මොකද?

    අනේ මහත්තයා මම කරදර කරන්නේ නෑ.මගේ ගෙදර‍ට වෙලා මම ඉන්නවා,මගේ පු‍ටුවල වාඩිවෙලා ඉන්නවා.හැබැයි මුන් මගේ ලඟින් යනවිට ගඳයි කියනවා.එතකොට නම් මට ටිකක් කේන්ති යනවා.මම රෑට මගේ ගෙයි ඇවිදිනවා.ඒ වෙලාවට මුන් බයේ කෑගහනවා.
    තමුන්ගේ දරුවෝ මේ ගේ වසන්තට විකුණලා .ඔබට එය අයිති නෑ.කරුණාකර මේ ගෙදරින් ඉවත්වෙලා යන්න.

    මගේ ගෙයින් මම කොහේ යන්නද?මගේ ගේ විකුණන්න දරුවන්ට පුළුවන්ද?මට යන්න කියන එක කොයි තරම් අසාධාරණ ද?හැබැයි මගේ වික්ටර් මුණ ගැහුණොත් නම් මම එයා එක්ක යනවා.
    වික්ටර් හොඳ කෙනෙක්ද?
    අපොයි ඔව් බොහොම සාධාරණයි.ධාර්මිකයි.

    එහෙනම් වික්ටර් දිව්‍ය ලෝකෙ ඇති
    මහත්තයා මට එයා ලඟට යන්න ‍ඕනෙ
    බැහැ... බැහැ.....ඔබට.. එයා ලඟට යන්න බැහැ.ඔබ ප්‍රේතියක් .වික්ටර් දෙවිකෙනෙක් .ප්‍රේතියන්ට දිව්‍ය ලෝකෙ යන්න බෑ.ඔබ ඔය ගේ ගැන තණ්හාවෙන් ප්‍රේතියක් වෙලා ඉපදිලා.
    අනේ ඉතින් මට වික්ටර් ව දකින්නවත් යන්න බැරිද?
    පුළුවන්,පළමුවෙන් ඔය ගෙය ගැන තියෙන ආශාව අතහරින්න.ඊලඟට සිද්ධස්ථානයකට ගිහින් එතැන සිද්ධ වෙන පින් දහම් පුද පූජාවලට අතහිත දීලා බණ අහලා පින් රැස්කර ගන්න ඕනෑ.එතකොට ඔය ඉන්න දුගතියෙන් මිදිලා ඉහළ තලයකට ගිහින් වික්ටර් මුණ ගැහෙන්න පුළුවන්.දිව්‍යාංගනාවක් වෙන්න පුළුවන්. මම මේ වසන්තටයි මුදිතාටයි කියලා දානයක් දෙන්නම්. ඒ දානයේ දී සිත සතුටු කරගන්න. තමුන්ව නොදන්න‍ දෙදෙනෙක් මට පින්දෙනවාය කියලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න. එතකොට දිව්‍යාංගනාවක් වෙලා ඔය දුගඳ හමන ආත්මය අතහැර දිව සළු දිව්‍යාභරණ ලැබේවි.එතකොට වික්ටර්ව මුණ ගැහෙන්න පුළුවන්. යැයි ගවේෂකවරයා කීවේය.‍ අනේ මහත්තයා මම සතුටුයි.මම සතුටුයි., අනුරාධපුරයට යන්න සතුටුයි.අනේ මාව ඉක්මනින් යවන්නැයි ප්‍රේතිය කීවාය.

    ගමේ පන්සලට හීල් දානයක් පූජාකර ඩල්සිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කැර නැවත එන්නැයි වසන්තටත් මුදිතාටත් නියම කෙළේය.
    දානය පිරිනමා නැවත පැමිණි දිනයේ මුදිතාට ආවිශ්ට වූ ඩල්සිගේ ප්‍රාණකාරිය සතුටින් හිනා වී කතා කරන්නට විය.

    මහත්තයා ,මට හරිම සතුටුයි. මගේ දරුවොත් නොකළ පින්කමක් මේ දරුවෝ දෙන්නා කළා. මගේ දරුවො මගේ මරණයටවත් ආවෙ නෑ. මාව වැළලුවේ කුළී කාරයෝ. මහලු මඩමෙන්. මේ දරුවෝ දෙන්නා මගේ නම කියලා පැන් වඩලා පින් දුන්නා.මට දැන් අනුරාධපුරයට යන්න ඕනෑයි කීවාය.
    සුදු නෙළුම් මල් වට්ටියකට භූතාත්මය සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.
    අත් හැරීම අනාත්මය හෙවත් චිත්ත සන්තානය සැහැල්ලු කරයි.

    මතුගම මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගල්කිස්සේ මුදිතා සිහිනෙන් බියකළ රහස් කතන්දරේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top