728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    නිවෙසක් තනන්නට සම්පත් පිරි ඉඩමක්

    කෝටි ගණනක් වැය කළත් ඉඩම දෝෂ නම් වගතුවක් නෑ

    අප පදිංචි නිවෙස සිරි විමනක් විය යුතුය.නැතිනම් ජීවිත කාලය පුරාම දුක් කරදර බාධක මැද කටුක වූ දිවියක් හිමි වනු ඇත. මේ නිසා බොහෝ දෙනෙක් තමන් දන්නා ජ්‍යොතිෂ හෝ වෙනත් නිවාස ගොඩනැගිමේ විශේෂඥයින්ගේ උපදෙස් මත නිවෙස නිසි අයුරින් සාදා පදිංචි වෙති.නමුත් කරදර වලින් අඩුවක් නොවන අවස්ථා අප දැක ඇත්තෙමු.
    ගෘහය නිසි අයුරින් ගොඩනැගීම පමණක් අපේ පදිංචියට සුදුසු නොවන බව මෙහිදී පැහැදිලිව හඳුනා ගතයුතු වන්නේය.

    නිවෙස තනන ඉඩම පදිංචියට සුදුසු දැයි පළමුවෙන් හඳුනාගත යුතුය. සමහරෙකු උරුම‍යෙන් ලැබෙන ඉඩමේ තම සිහින නිවෙස තනති. තවත් අය ඉඩමක් මිලදී ගෙන තම සිහිනය සැබෑකර ගනිති.
    මේ කුමන අයුරින් වුවද තමාට හිමි ඉඩම පදිංචියට සුදුසු ලෙස සකසා ගෙන නිවෙසක් තැනීමට පියවර ගැනීමෙන් සාමය සතු‍ට සම්පත ළඟාකරගත හැක්කේය.
    තම ඉඩම ගෘහය තැනීමට සුදුසුද? නොඑසේ නම් සුදුසු ලෙස සකස් කරග‍න්නේ කෙසේද?යන්න පිළිබඳ ‍අපි ඉගෙන ගනිමු.

    මේ සෙත්මිණ පාඨකයන් උදෙසා පිදෙන තිළිණයකි.
    නිවසක් ඉදිකිරීමට පෙර භූමියේ ශුභ අශුභ පාද පිළිබඳ අප දැනුවත් වී භූමියේ ශුභ පාද අසුවන සේ නිවස ඉදිකර ගත හැක.

    සාමාන්‍යයෙන් භූමියක පාද බෙදීමේදී
    *බ්‍රහ්ම පාදය
    *දේව පාදය
    *මනුෂ්‍ය පාදය
    *ප්‍රේත පාදය වශයෙන් බෙදා දැක්විය හැක.

    ඉඩමක පාද බෙදන ක්‍රමවේදය එකම වුවද ඉඩමේ හැඩය අනුව එය සිදු කරන ආකාරය තරමක් වෙනස් වේ.

    එලෙස හැඩය අනුව ඉඩම් වර්ග සතරෙකි. ඒ මෙසේය.
    1 චතුරස්‍ර ඉඩම (සම/විෂම)
    2 ත්‍රිකෝණාකාර ඉඩම
    3 වෘත්තාකාර ඉඩම
    4 අක්‍රමවත් ඉඩම

    * චතුරස්‍ර ඉඩමක පාද බෙදීම.

    චතුරස්‍ර ඉඩම් සම චතුරස්‍ර හා විෂම චතුරස්‍ර ලෙස දෙවර්ගයකි.නමුත් පාද බෙදීම එකම ලෙස සිදුකරයි. ඉඩමේ දිග පළල සමාන කොටස් හතකට බෙදා වෙන්කර ගන්න. ඉන්පසු කූඤ්ඤ ගසා එම කූඤ්ඤ යා වන සේ ලණු ඇද ඒ ඒ පාදවලට අයත් වන ප්‍රදේශ හඳුනා ගන්න.එලෙස හඳුනාගැනීමේ පහසුව සඳහා එම ලණු ගසා වෙන් කළ කොටස් 1 සිට 49 දක්වා අංක යොදන්න.

    (1 රූපය)
    මෙහි අංක 1 සිට 24 දක්වා ඇති කොටස ප්‍රේත පාදයටද,අංක 25 සිට 40 දක්වා මනුෂ්‍ය පාදයටද 41 සිට 48 දක්වා දේව පාදයටද 49 වන කොටුව බ්‍රහ්ම පාදයටද අයත් වේ.

    ත්‍රිකෝණාකාර ඉඩමක පාද බෙදීම
    ත්‍රි‍කෝණාකර භූමියක බෙදීමේදී එහි මැදට යන විට කුඩා වන සේ සමාන පාද හතරකට මුලු ඉඩම බෙදා වෙන් කර ඇත.ඉඩමේ මැද සිට ත්‍රිකෝණයේ මුලු තුනට කූඤඤ ගසා ලණු ඇද එම එක් එක් ලණුවේ දිග හතරෙන් බෙදා ලකුණු කර ගනු ලැබේ . දැන් එම ලකුණු කරගත් ස්ථාන එකිනෙක යා කිරීමෙන් ත්‍රිකෝණකාර ඉඩමේ පාද බෙදා ගත හැක. එහෙත් නිවැරදි ව පාද බෙදුවද ත්‍රි‍කෝණාකාර ඉඩම් පදිංචියට සුදුසු නැත. නමුත් ඊට පිළියමක් ලෙස ඉඩමේ එක් ‍මුල්ලක පෙනෙන්නට හෝ නොපෙනෙන්නටද පොළවට යට හාරා අත්තිවාරමක් දමා ත්‍රිකෝණය වෙනස් කර ගතහැක.

    (2 රූප සටහන)
    *ත්‍රිකෝණාකාර ඉඩමක පාද බෙදීමේ දී 3 වන රූප සටහනට අනුව 1,2,3 කොටස් ප්‍රේත පාදය ද 4,5,6 මනුෂ්‍ය පාදයද 7,8,9 දේව පාදයද 10 බ්‍රහ්ම පාදය ද වේ.
    *වෘත්තාකාර ඉඩමක පාද බෙදීමේ දී 4 වන රූප සටහන අනුව ඉඩමේ මැදට පැමිණෙන විට කුඩා වන සේ සමාන කොටස් 4 කට බෙදා වෙන් කරනු ලැබේ.
    මෙහිදී පාද වෙන් කරණු ලබන්නේ ඉඩමේ මැද සිට පිටත මායිමට ලණුවක් ඇද කූඤ්ඤ ගසා එම ලණුවේ දිග හතරෙන් බෙදීමෙනි. වෘත්තාකාර මෙන්ම ඕවලාකාර හැඩැති ඉඩමකට වුවද පාද බෙදීම සඳහා භාවිතා කරන ක්‍රමය මෙයම වේ.

    *අක්‍රමවත් භූමියක පාද බෙදීම

    මෙහිදී මූලිකවම ඉඩමේ මධ්‍ය ලක්ෂය සොයා ගත යුතුය.(5 රූපය බලන්න)ලණු හතරක් අට දිශාවට වැටෙනසේ අදිනු ලැබේ. ඊට පසු එම ලණුවල දිග හතරෙන් බෙදා ලකුණු කර එම ලකුණු එකිනෙක යා කිරීමෙන් ඒඒ පාදවලට අයත්වන බිම් තීරු සොයා ගත හැක.
    මෙහිදී අංක 1 සිට8 දක්වා ‍කොටස් ප්‍රේත පාදයටත් අංක 9 සිට 16 දක්වා කොටස් මනුෂ්‍ය පාදයටත් අංක 17 සිට 24 දක්වා දේව පාදයටත් 25 බ්‍රහ්ම පාදයටත් අයත් වේ.

    අක්‍රමවත් ඉඩමක් ඉහත ලෙසම බෙදූ විට සියලුම කොටුවල එකතුව කොටු 25කි.තවද ඕනෑම ඉඩමක මාර්ගය පැත්ත ප්‍රේත පාදය අහෝසි වන බව සිතේ තබාගන්න.


    ජ්‍යොතිෂවේදී - මහේන්ද්‍ර පල්ලෙබැද්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නිවෙසක් තනන්නට සම්පත් පිරි ඉඩමක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top