728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේ දී පොරොන්දම් පමණක් බලා අමාරුවේ වැටෙන්න එපා

    හැමදේම පෙරොන්දමට අහු වෙන්නේ නෑ
    ප්‍රේමය තිබුණත් ධනය නැතිනම් ....?


    ‘පොරොන්දම් බලන බොහෝ අය ඔල්මොරොන්දම් වෙති. එහෙත් පොරොන්දම් නොබලා හොර රහසේ පැන ගොස් අති සාර්ථක ජිවිත ගෙවන අයත් වෙති. මොකක්ද මේ රහස. ’
    මෙවිවාහ ජීවිතය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේ දී පොරොන්දම් 20න් 20ම ගැලපුණත් ඉතා අසාර්ථක වූත් කරදර ප්‍රශ්න මැද ජීවත්වන්නාවූත් පවුල් ද සමහර පවුල් ජීවිත සීසීකඩ කැඩී අවුල්ව අන්ත අසරණ තත්ත්වයට පත් වූ අය අනන්තවත් අප අවට සමාජයෙහි දැක ගත හැකි වේ. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම, සතුට, තෘප්තිය මෙන්ම දියුණුව උදෙසා විවාහය වැදගත් වන්නේය.

    සමහරු පාසල් කාලයේ පටන් ප්‍රේමයෙන් වෙළීසිට දෙමාපිය ආශිර්වාදය සමඟ හෝ දෙමාපියන්ට හොරා හඳහන් ගැලපීමකින් තොරව විවාහ ජීවිතයට ඇතුල් වේ. ඒ අතරින් සමහරෙක් සාර්ථක පවුල් ජීවිත ගත කළ ද සමහර පවුල් රණ්ඩු සරුවල් වෙමින් හෝ ස්වාමියා අවුරුදු ගණනක් තමාට ආදරය කළ ද විවාහයෙන් පසු තමාව හැර දා වෙනත් අයකුගේ ආදරය සොයා යන අවස්ථා ද දැක ගත හැකි වේ.

    දෙමාපියන් තම දූ දරුවන් විවාහ වන වයසට පත් වූ පසු පුවත්පත් මඟින් හෝ මඟුල් කපුවන් මාර්ගයෙන් හෝ මංගල සේවා ආයතන මගින් හෝ තම දුවට හෝ පුතාට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයයි. වර්තමානයේ ද පරිගණක ඇසුරෙන් ද පොරොන්දම් පරීක්ෂාකරවා ගනී. පොරොන්දම් 20න් 11කට වැඩි ප්‍රමාණයක් ගැල‍පේ නම් විවාහයට ශුභ බව සමහරු පවසති. නමුත් ජන්ම පත්‍රවල යෙදී තිබෙන ග්‍රහ ගැලපීම නොබලා පොරොන්දම් පමණක් බලා විවාහයට යහපත් බව තීරණය කිරීම වරදක් බව ඔබ දන්නවාද?
    ස්ත්‍රී මෙන්ම පුරුෂ ජන්ම පත්‍රවල තම සහකරුට හෝ සහකාරියට මාරක ඇති කරවන වැන්දඹු දෝෂ පිළිබඳව මූලිකව අවධානය යොමු කළ යුතු වේ. සහකරු හෝ සහකාරියගේ චරිතය පරපුරුෂ - පරස්ත්‍රී ගාමියකු ද සහකරු සූදුවට, මත්පැනට යොමු වේ ද යන්න ජන්ම පත්‍රය ඇසුරින් හඳුනා ගැනීමෙන් පසු පොරාන්දම් ගලපා විවාහයට තෝරා ගත යුතු වේ.

    ස්ත්‍රී මෙන්ම පුරුෂ ජන්ම පත්‍රවල යෙදෙන පොරොන්දම්වලට නොපෙනෙන අශුභ ග්‍රහ යෙදුම්
    නීත්‍යානුකූල විවාහයට අමතරව වෙනත් සම්බන්ධකම් ප්‍රසිද්ධියේම හෝ රහසේ පවත්වාගෙන යාම. දරුවන් නැති වඳයෝග සහිත ස්ත්‍රී හඳහනක් හෝ දරු උත්පාදන ශක්තිය නොමැති පුරුෂ හදහනක් හෝ එක් වීමෙන් දරු සුරතල් බැලීමට අවකාශ නොලබා දික්කසාද වන තත්ත්වයට පත් වීමට ද දැකිට හැක.සහකරු හෝ සහකාරිය හෝ සදාකාලික රෝගියෙකු බවට පත්වීමට හදිසි රෝගාබාධයකින් ජීවිතයෙන් සමු ගැනීම ආදී කරුණු ද ජන්ම පත්‍රයෙන් හඳුනා ගත හැකිය. කිසිවක් පොරොන්දම් පමණක් පරීක්ෂාවෙන් තීරණය කළ නොහැකි වන්නේය.

    විවාහ ජීවිතයේ සැප සතුට අහිමි කරන්නා වූ ‍ බහුවිවාහ , පරදාර සේවනයට පෙඹෙන ග්‍රහ යෙදුම් මෙහි සඳහන් ග්‍රහයෙදුම් තිබෙන පමණින්ම පරදාර සේවනයට පෙළෙඹෙන්නේ නැත. ග්‍රහ යෙදුම්වලට එල්ලවන්නා වූ අනෙකුත් ග්‍රහ දෘෂ්ටි මඟින් එම අයහපත් ග්‍රහ යෙදුම්වල බලය හීන කරනු ඇත.

    පුද්ගලයකු මොලොවට උත්පත්තිය ලබන්නා වූ මොහොතේ දී උදාව පැවතියා වූ ලග්නය වෘෂභ, කටක, සිංහ හෝ තුලා වෙයි ද, සිකුරු ග්‍රහයා සත්වන භාවයේ අඟහරු සතරවැන්නේ හෝ දොළොස්වැන්නෙහි තැන්පත්ව සිටියේ ද එම යෝගය යෙදෙද්දී සිකුරුට ශුභ ග්‍රහ දෘෂ්ටියක් එල්ල නොවේද එම පුරුෂයා තම භාර්යාවට හොරා වෙනත් ස්ත්‍රීන් කරා යන්නෙකු වේ. ,මේෂයෙන්, මකරලග්නයෙන් වෘෂ්චිකයෙන් හෝ කුම්භ ලග්නයෙන් හෝ යම් කිසි ස්ත්‍රියක් උත්පත්තිය ලැබුවේද සිකුරු ලග්නගත වීද සිකුරුට ශුභ ග්‍රහ දෘෂ්ටියක් එල්ල නොවී පාපග්‍රහ දෘෂ්ටියක් එල්ල වේද එම ස්ත්‍රිය පර පුරුෂ සේවනයට පෙළෙඹෙන බව සෘෂි මතයයි.
    රවි ග්‍රහයා සිකුරු සමඟ යෝගව හෝ රාහු සිකුරු ග්‍රහයා සමඟ යෝගව තැන්පත්ව සිටිමින් ශුභ ග්‍රහ දෘෂ්ටියෙන් තොරව උත්පත්තිය ලැබුවේ නම් අනුරාගය බලවත් වූවෙකු වේ.

    තුලා හෝ වෘෂභ ලග්නයෙන් උත්පත්තිය ලබා පස්වැන්න අධිපිතියාත් සත්වැන්න අධිපතියාත් සමඟ යෝග වී ලග්නයේ තැන්පත්ව පාප දෘෂ්ටියට ලක්ව හෝ පාප ග්‍රහයින් සමඟ යෝගව (ශුභ ග්‍රහ දෘෂ්ටියෙන් තොර වී ද ) උත්පත්තිය ලබන්නා වූ පුරුෂයා පරදාර සේවනයට ලොල්ය.
    පස්වන භාවය අධිපති වන්නා වූ ග්‍රහයා සිකුරු සමඟ ද සත්වැන්න අධිපති ග්‍රහයා අඟහරු සමඟ යෝග වී නම් අනියම් සබඳතා පවත්වන පුරුෂයෙක් බව කියැවේ.

    සත්වැන්නෙහි සිකුරු - බුධ හා සෙනසුරු යෝග වී උත්පත්තිය ලබයි ද ශුභ ග්‍රහ දෘෂ්ටියකින් තොර වී ද එ‍සේ උත්පත්තිය ලබන්නා වූ පුද්ගලයා වෙනත් විවාහක කාන්තාවන් සමඟ අනියම් ඇසුරට පෙළෙඹෙනු ඇත.
    සත්වැන්න අධිපති ග්‍රහයා පාප රාශියක තැන්පත් වී සඳු ග්‍රහයා ද එහි තැන්පත් වී උතපත්තිය ලබන්නා වූ ස්ත්‍රිය තම කුලයට නිඟාදෙමින් පරපුරුෂයන් පතා යන්නියක් වේ.

    ඉහත සඳහන් කරන ලද්දේ තම පුරුෂයාට හෝ භාර්යාවට හොරා වෙනත් අය කරා අනියම් සම්බන්ධකමවලට පෙළඹෙන්නාවූ අයගේ ග්‍රහයෙදුම් කිහිපයක් පමණි. තව අනන්තවත් ග්‍රහයෙදුම් පවතී. ඒ සෑම ග්‍රහ යෙදුමක්ම එම ග්‍රහයෙදුම්වලට එල්ල වෙන්නා වූ අනෙකුත් ග්‍රහ යෙදුම්වලින් දෝෂ භංග වී යන අවස්ථා පවතී. පොරොන්දම් 20ට හසු නොවන ඉහත අනියම් යෝග උත්පත්ති ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් පමණක් බලාගත හැකි වේ. ඊළග කලාපයෙන් ද පොරොන්දම්වලට හසු නොවන විවාහ ජීවිත අසාර්ථක වන ග්‍රහ යෙදුම් කිහිපයක් විමසා බලමු.


    ප්‍රවීණජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේ දී පොරොන්දම් පමණක් බලා අමාරුවේ වැටෙන්න එපා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top