728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    අව කැපෙන වචන ඇස්වහ කටවහ හුනියම්වලටත් වඩා භයානකයි


    මෙලොව ජීවත්වන සියලුම මනුෂ්‍ය සමූහයා‍ගේ සිත තුළ බලපවත්වන හැඟීම් මාලාව දෙයාකාරය. මෙය හොඳ හෝ නරක වශයෙන් විග්‍රහ කළ හැකි ය. හොඳයැයි සලකන සිතිවිලි විශ්වය පුරා පෝෂණය වෙමින් පැතිර යනු ඇත. ඒවා සියලු සත්ත්වයාට යහපත ගෙනේ. නරක සිතිවිලි සියලු සත්ත්වයාට හානි කර අන්දමින් විශ්වයට එකතු වේ. එයින් ලෝ තලය කවදා හෝ ක්‍රමයෙන් විනාශයට පැමිණෙනු ඇත. දැනට එය සිදුවෙමින් පවතී. මා මෙහි මාතෘකාවට ගෙන ඇති කොටස් මේ ලෝකය විනාශයට පත්වීමට මනුෂ්‍යයාගෙන් විශ්වයට එකතුවන නරක සිතිවිලි සමූහයයි.

    යම් කෙනෙකු සුබදායක කාර්යයන් කරමින් සිටින අවස්ථාවක තවත් අයෙකු ඊට පෝෂණය නොවන හානිකර වචනයක් පැවසුවේද? එය එම සුබ කර්තව්‍යය අඩපණ වීමට හේතු වේ. “අව කැපෙන වචන” වශයෙන් අපි එය හඳුන්වමු. “ඕක හරියන වැඩක්ද?” “ඕක දින කීපයකින් ඉවරයි!” , “තමුසෙගෙ ඔය ගමන හරියන්නෙ නැහැ” ,“ඔය ගමන හොඳින් ගිහින් ආවොත් පුදුමයි” “තමුසෙ වැඩි කලක් ජීවත් වන්නෙ නැහැ”, “ඔය රැකියාවත් ඉවරයි!” මේ ආදී වශයෙන් නරක චේතනාවෙන් පවසන වචන මනුෂ්‍යා විනාශවීමට හේතු වී ඇත. ලෝකය ක්‍රමයෙන් විනාශ මුඛයට පත් වන්නේ ද මනුෂ්‍යා තුළ පවතින මෙවැනි නරක වදන් මාලාවක් විශ්වයට එකතුවීමෙනි.

    යම් අයෙකු ඉතා අසහනකාරි ජීවිතයක් ගත කරන විට පවසන්නා වූ වචන විෂ සහිත නොවූවත් සංවේගාත්මක තත්ත්වයට පත්වීමට අව කැපෙන ස්වභාවයකට යොමු වේ. “මම හෙට වැඩට එන්නේ නැහැ” , “එන්න ලැබේද දන්නෙ නැහැ”, “අදින් පස්සෙ මම එන්නෙ නැහැ”, “කාලෙ අවසානයි වගෙ” මේ ආදී තමාටම කියා ගන්නා වදන් මාලාවන් තමන්ටම විනාශයට හේතු‍ වේ.
    මේවා කොයි කවුරුත් දැන ගත්තොත් හොඳයි.

    කටවහ විෂ බෝම්බයක් තරම් දරුණුය. මනුෂ්‍යයා තුළ ඇති වන ඊර්ෂයා සහගත සිතිවිලි පදනම් කරගෙන පිටකරන ක්ෂණික වචන වස විෂ තරම් දරුණු වේ. අද සමාජයේ බොහෝ අය අතර මෙය පවතී. ආගමික හැදියාවක් නැති අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන පුද්ගලයින් තුළ මේ තත්ත්වය බොහෝ ලෙස ඇත. “තමුසෙට නම් දැන් ජයයි නේද?”, “මේ ගසේ පලදාව නම් හොඳට තියෙනවා නේද?, “වාහනේ නම් මරු”, “ඒ කෑම පුදුම රසක්නෙ තියෙන්නෙ”, “අර යකාගෙ කඩේ නම් දැන් හොඳට දියුණුයි නේද?”, මෙන්න මේවා තමා කටවහ කියන්නෙ. මෙවැනි වදන් ඉතා විෂ සහිතයි.මෙයින් ව්‍යාපාරයක්, වටිනාවස්තුවක්, පලදාවක් විනාශ කළ හැකි වේ. මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ අවශ්‍ය නැත. මේවා තමයි කොඩිවිණ. විට නොකන රැවුල නැති, ඇස් ලොකු අංග ලක්ෂණ ඇති පුද්ගලයින්ගේ මෙය ඉතා අධික ලෙස පවතී.මෙවැනි අයගෙන් ප්‍රවේශම්වන්න. ඇසුරු කරන්නටවත් එපා!.ඇසුරු ක‍ළොත් විනාශය පසුපස බව දැන ගන්න.

    ඇස් වහ
    මනුෂ්‍යයා විනාශ කරන ඊළඟ විෂ කිරණය “ඇස් වහ” නම් වේ. මේ සියලු වසට වඩ‍ා දරුණු වේ. සමහර මනුෂ්‍යයින් තුළ පවතින ‍ඊර්ෂ්‍යාව, කුහකත්වය ආදී අසුබ සිතිවිලි මධ්‍යයේ පෝෂණයෙන් සාරවත් භාවයෙන් පරිපූර්ණ වගාවක් හෝ හැඩයෙන් යුක්ත ගෙයක්, ලක්ෂණ වාහනයක් දුටුවිට මිනිසාගේ වචනයෙන් හෝ සිතිවිලි සමඟ විශ්වයට එකතුවන විෂ කිරණ සමූහය එය විනාශ කිරීමට හේතුවේ. විශේෂයෙන් මෙහිදී වාහනයක් නම් යම් කිසි ආපදාවක් සිදුවීම, සාරවත් වගාවක් නම් කළු පැහැති පනුවන් බෝවීම, ගෙඩි කුණුවීම සමඟ පැලීයාම, ඇතුළත පනුවන් සිටීම ඇස් වහ දෝෂයෙන් සිදුවන්නකි.

    අළුතෙන් ඉක්මණින් වැඩ අවසන් වෙමින් පවතින නිවසකට ඇස් වහ දෝෂය තදින් බලපවත්වනු ඇත. මේවාට ප්‍රතිකර්ම වශයෙන් බොහෝ දෙනා පඹයකුගේ රූපයක් සාදා එල්ලීම, පුහුල් ගෙඩි එල්ලීම වටේ ආවරණයක් සෑදීම ආදිය කරයි. ගැමියා සනීපවත් එළදෙනෙකුගෙන් කිරි දොවන අවස්ථාව කිසි අයකුට නොපෙනී කරන්නේ ඇස් වහ දෝෂයේ තරම නපුරු විෂගතිය දන්නා හෙයිනි. කිරිබුරුල්ල පුපුරා යාම, තුවාල සෑදීම ආදී අවස්ථා මා දැක ඇත්තෙමි.

    යම් අයෙකුගේ අතක කකුලක පවතින තුවාලයක් සමහර පුද්ගලයන් දුටු විට එය වැඩි වී ඕජස ගැලීමට තරම් විෂ සහිත ඇස් වහ දෝෂය පවතින පුද්ගලයා සමාජයට පිලිකුලක් බවට පත්ව ඇත. මෙවැනි පුද්ගලයින් ස්ත්‍රීන් හෝ පුරුෂයින් යම් නිවසකට පැමිණෙන විට සමහර මේ ගැන දන්නෝ දොර වසති. හැංගෙති. ඒ තරම්ම නපුරු විෂ අය වෙති.

    “හෝ වහ” යමෙකුගේ දියුණුව වටිනා දෙයක් දුටු විට හෝ සාර්ථක වගාවක් දුටු විට හෝ සිතට ඇතිවන ඊර්ෂ්‍යාව දරාගත නොහැකිව තමන්ට එවැන්නක් නැති නිසා තොල්දෙක මුමුණමින් එන වදන් මාලාව හෝ වහ වේ. “යකෝ මූටමනෙ හරියන්නෙ” , “මූටමනෙ ලැබෙන්නෙ”, “ඌ නම් විභාගෙ පාස්” , “අපේ එකා පේල්”, මෙවැනි වදන් සිත තුළට කා වැදීමත් සමඟ ඇතිවන බලවේගය කාටවත් නොතේ‍ෙරන ලෙස මැතිරීම ඉතා බලගතු හූනියම් මන්ත්‍රයක් හා සමානය.

    මෙවැනි පිළිකුල් සහගත බලපෑම් ඇති වීමට හේතු වන ග්‍රහ බලපෑම අව චන්ද්‍රයා සමඟ කුජ රාහු ආදී ග්‍රහයින් නීච රාශියක සිටිමින් හෝ සංයෝගව ලග්නයට දෘෂ්ඨි හෙලීමෙන් එවැනි ස්ත්‍රීගේ හෝ පුරුෂයාගේ ඉහත කී විෂ බලපෑම් හටගනී. එවැනි අයගේ දියුණුව නැත. ඉතා අපහසුතාවයක් මධ්‍යයේ අන් අයට ඊර්ෂ්‍යා කරමින් ජීවත්වන්නෝ වෙති. මොනවා කරන්න ද මේ සංසාරයේ හැටි ඔහොමයි.


    ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අව කැපෙන වචන ඇස්වහ කටවහ හුනියම්වලටත් වඩා භයානකයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top