728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    රවි මකරෙට ආවා ලග්න දොළොසකටම නව හැඟුම් පහළවේ නිමැවුම් එළි දකී


    එකට මොනවද දෙකට මොනවද ප්‍රහේලිකා ගැන කියන්නේ
    තකට දොං දොං කියල මකරෙට සුරි රාජ්‍ය වැඩම වන්නේ
    සිතට ගිනිකඳ ඇවිල සියදිවි එපා වෙන අය එලොව යන්නේ
    කුමට තනතුරු නැතිව දිවිම‍ගෙ ධනය පිරුනත් පෘථිවියන්නේ

    2015.01.14 වෙනිදා ප.ව. 07.27ට පමණ වන වේලාවේදී රවි ශනි හිමි මකරයට පිවිසෙයි.

    මේ මොහොතේ දී නැ‍ඟෙනහිර ක්ෂිතිජයේ සඳු හිමි කටක රාශිය උදා පවතී. එය මකරය වන්නේය. බැද්දේ පිපුණ මල් බැද්දේ පරවී යන න්‍යාය අවසන් වන්නේය. ඒ මල් නගරයේ ප්‍රදර්ශනය වීමේ වාසනාව උදා වන්නේය.

    ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මංගල යෝජනා උදාවන්නේය. නමුත් යහපත් යෝජනා ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක් ඔවුන් තුළ ඇති වේ. බොහෝ දෙනාට තනතුරු - තානාන්තර - තාන්න මාන්න ආදිය හිමිවීමට වරම් ලැබේ. නුදුරට යන රාහුගේ අසමතුලිත ක්‍රියාකාරීත්වය ලියලන නිසා තමාට ලැබෙන වැදගත් දේ ප්‍රතික්ෂේප කරන්නට ඔවුන්ට සිතිවිල්ලක්ද පහළ වන්නේය.

    ඕනෑම වෘත්තිකයෙකුගේ විශේෂ ප්‍රාගුණ්‍ය ඉහළ යන බැවින් ඔවුන්ගෙන් නව නිර්මාණ කලඑළි බසිනු ඇත. පවතින තත්ත්වය වෙනස් කිරීමේ මානසික ප්‍රබෝධයක් සියලු දෙනා තුළ ජනිතවනු ඇත. කොස්,දෙල්,පොල් ආදී රූස්ස ගස් අඩි දහයකට වඩා උස නොයන ලෙස වවන ක්‍රම ඔවුන් සොයාගනු ඇත.

    නව ගීතිකා ක්‍රමයක් සොයා ගනී. නමුත් එය වසර දහස් ගණනකට පෙර තිබූ ක්‍රමයක් බව පුරා විද්‍යාඥයෝ පවසති. ඔබගේ ලග්නය හරහා ද ගෙන එන තොරතුරු ඇසුරින් නව නිර්මාණයක් සිදුකිරීමට ඔබ විසින්ද ගත හැකි ක්‍රියා මාර්ග කෙරෙහි අවධානය යොමු කර බලන්න.

    මේෂ - පරෙස්සම් වන්න
    ඔබේ වාසනාව උදාවන්නේ ඔබේම ගේ දොර ,ගමේ රටේම ජීවත් වීමෙන් නොවේ. බැහැරට යා යුතුය. එවිට ඔබට හිතවතුන් බොහෝ ඇතිවේ. මේ හේතුවෙන් පාප මිතුරන්ද ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.ඔබට භූත විද්‍යාවෙන් මහත් ඵල ලැබිය හැක. මළගිය ඥාතියකු උදව් කිරීමට ලංවන කාලයකි. ඔබේ ආශ්‍රයට ජ්‍යොතිෂ වැනි ගුප්ත විද්‍යාධරයන් ද වෛද්‍යවරු සංගීතඥයින් ද එකතු වෙයි. ඔවුන්ගෙන් ලැබෙන ආභාෂයෙන් ඔබ නව නිර්මාණයක් ලොවට බිහි කරනු ඇත. ඔබේ බලාපොරොත්තු ඉෂ්ටවන්නේ දෙදහස් දාහතරේ අවසානය දක්වා තිබූ අදහස් උදහස් ක්‍රමවේදවලට සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආකල්පයන්,යටතේ ගොනු වූ ක්‍රමවේදයක් හරහායි. ඔබ කෙ‍රෙහි අන් අය තම අවධානය යොමු කරන කාලයකි. විරුද්ධ ලිංගිකයන්ගේ ලංවීම අධිකය. සීමාව ඉක්මවා ගියොත් ලොකු අමාරුවකට ද වැටෙනු ඇත. රැවටිලි වලට ද හසුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

    වෘෂභ - පදිංචියේ වෙනසක්
    ඔබේ දෛවය ක්‍රියාත්මක වන්නේ තුන් හිතකින්වත් නොසිතූ ආකාරයටය. අළුතින් පටබැඳෙන නාමයකින් ප්‍රසිද්ධ වෙයි. මෙතෙක් බිහි වී නොමැති න්‍යාය ධර්මයක් ඔබ ලොවට පහළ කරනු ඇත. පදිංචියේ සිදුවන වෙනස් කමක් ද සමඟ මෙය සිදුවනවා ඇත. පදිංචිය වෙනස් කරන්නට සිදු‍වන්නේ ඔබේ පවුලේම කෙනෙකු එල්ල කරන විරෝධයක් හේතුවෙනි. හැප්පි හැප්පී ඉන්න එපා. වෙන් වෙලා යන එක හොඳයි. දෙමව්පියන්ගෙන් ලැබුණ දේපල කියා බලාගෙන සිටියොත් ඔබ එතනමයි. ඒව පවුලේ අනෙක් අයට භුක්ති විඳින්න දී දමා ගහලා ගියොත් ඔබට විශාල දියුණුවක් ලැබෙනවා. හිතුවක්කාර විවාහයක් කර ගැනීමේ මානසිකත්වයක් ඇති වේ.ඔබ නව අධ්‍යාපනයක් ලබයි. කීර්ති නාමයට හානි විය හැකි බැවින් පරිස්සම් වන්න.

    මිථුන - සතුරන් පවා ගරු කරයි
    වැඩිහිටියන්, ගුරුවරුන්, ප්‍රවෘජ්‍යා උතුමන්ලා ආදීන්ගෙන් එල්ල වන්නේ දරාගත නොහැකි අන්දමේ විරෝධතාවයකි. ඔබගේ නොහික්මුණු ක්‍රියාකලාප තුළ පවතින එඩිතර හා අව්‍යාජ ස්වභාවය නිසා ඒ සියළු විරෝධතාකරුවන් විසින් තමන්ගේ යටි සිතින් ඔබට ගෞරවය මෙන්ම ආදරය දක්වනු ඇත. ඔබ අන් අයගේ අදහස් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීමත්, ප්‍රදර්ශනය කිරීමත් නිසා ඔබ කිසියම් පටලැවිල්ලක් නිර්මාණය කර ගනු ඇත. ඔබ කිසියම් නිර්මාණයක් එළි දක්වන්නේ ලිඛිත දෙයක් වශයෙනි. ඒ නිසා හිතට එන අදහස නිසදැසක් ලෙස වුව ද සටහන් කර ගැනීමට නිතර පෑනක්, කොළයක් ළඟ තබා ගන්න. සිතට නැගුන දේ මොහොතකින් අමතක වී යන ස්වභාවයක් තිබේ. හුදෙකලා ජීවිතයට ප්‍රිය කරයි. අන් අය හෙළා දමන්නට කටයුතු කරන ගතියක් ඉඳහිට පවතී. වැඩිකල් නොගොස් එය එළිවීම නිසා ඔබ මහත් අපහසුතාවයකට ලක්වෙති.

    කටක - ගැඹුරු සිත් පහළ වේ
    අභිධර්මය වැනි ගැඹුරු දේ ප්‍රගුණ කිරීම කෙරෙහි ඔබ යොමු වෙනවා ඇත. කාලය ගෙවී යන්නේ පර්යේෂණ කිරීම කෙරෙහිය. එය සුබවාදීය. එහෙත් දුර්වලකමක් මතුවන්නේය. හොඳින් කල්පනා කර විපතින් බේරෙන්න බලන්න. මහත් වියදමක් දරා ඔබ විසින් හොඳින් සකසා තිබෙන නිවසේ කොටසක් කඩා බිඳ දමා වෙනත් නිර්මාණයක් කරන්නට සිතෙනු ඇත. වියදම පමණක් නොව නරක නාමයක් ද එයින් ලැබිය හැක. පවුලේ අයගේ ආශ්‍රයට වඩා පිට අයගේ ආශ්‍රය ‍ හොඳ බව සිතේ. මේ නිසා අවදානමක් මතු කර ගනී. කෙසේ වුව ද ගෙදර තියෙන හොඳට ක්‍රියාත්මක වන කිසිදු උපකරණයකට අත තියන්න එපා.

    සිංහ - උරුම හිමිකම් ලැබේ
    මිය ගිය අයගෙන් ලැබුණු උරුම හිමිකම් හෝ වස්තුවක් නිසා කරදරයක් පීඩාවක්,නඩුහබයක් මතුවනු ඇත. වැඩි තෘෂ්ණාව කරදර මිස කිසිදු ලාභයක් ඇති නොවේ. කාලාත්‍රයාගෙන් හෝ ප්‍රවේණිගත උරුම හිමිකමකින් ලාභ ප්‍රයෝජන අත්වේ.ඒ සඳහා දැඩි අවධානයෙන් සිට ඵල ලබන්න. ජනවාරි 20 සි‍ට 24 දා දක්වා මේ කාලයේ දී තෑගි බෝග ආදිය ලැබීමේ භාග්‍යය ද පවතී. ස්වභාවික මල් හෝ කෘතිම මල් නිර්මාණයක් නව නිෂ්පාදනයක් ලෙස සමාජගත කිරීමට ඔබට හැකියාව පවතී. උත්සාහ කර බලන්න. මී මැස්සන්ට පැණි පිරෙන ‘බයි කලර්’ වර්ගයේ ශාඛයක් නව නිර්මාණයක් ලෙස සමාජගත කිරීමට ඔබට පුළුවන. ඒ විතරක් නොවේ. නව බිම්මල් විශේෂයක් බිහි කෙරෙන පරිසරයක් ද ග්‍රහ ශක්තිය විසින් මවයි. එහි මැවුම්කරුවා ලෙස ඔබට නමක් දිනාගත හැකිදැයි කියා උත්සාහ කර බලන්න.

    කන්‍යා - අතමිට සරුවේ
    අපූරු නිර්මාණ ශක්තියක් ඇති වේ.මනස ක්‍රියාත්මක වන්නේ වෙනත් අය‍ගේ නිර්මාණ ශක්තිය ක්‍රියාත්මක වන්නා වූ ආකාරයට නොවේ. ඔබේ සිත ඇදී යන්නේ ඉවත දමන්නා වූ කුණු ගොඩට විසි කරන්නා වූ විනාශ වී යන්නා වූ ‍දේ කෙරෙහිය. මේ මානසිකත්වය හඳුනා ගන්න. එසේ වීසි කරන දෑ ගොඩ ගන්නවා වාගේම ඒවායින් ඔබ නව නිෂ්පාදන පෙළක් ක්‍රමවත්ව නිර්මාණය කිරීමට පුළුවන් වනු ඇත. අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත. නමුත් බුද්ධිය මෙහෙයවා මුදලක් සොයනු ඇත. ගොඩනැඟිලි කඩා ඉවත් කර දැමීමේ කොන්ත්‍රාත්තු ඔබට ලබා ගැනීමේ පහසුව ඇත. පැරණි වාහන විකුණා දැමීමට බියක් නැතිව භාර ගන්න. අතමිට සරු වේ. ඔබ යටතේ සිටින සේවක‍යන් හෝ අනුගාමිකයන් කෙරෙහි පරිස්සම් වෙන්න. කිසිවකු නොසිතූ පරිදි පැදුරටත් නොකියා සොරකම් කර හෝ රහසෙම පැන යා හැක.

    තුලා - අලුත් වැඩකට සිත යොමුවේ
    යෙදී සිටින කාර්යයන්ට පරිබාහිරව දුෂ්කර කාර්යයන්වල නියැළීමට පසුබිමක් සැළසේ. ජීවිතයේ කිසිදාක අත්දුටුවේ නැති නව අත්දැකීම් සමුදායකට මුහුණ දීමට සිදුවේ. අපූ‍රු අදහස් උදහස් දක්වන පුදුමාකාර විරුද්ධ ලිංගිකයකු ඔබට ඇසුරට වැටේ. මෙකී ආගන්තුකයා විසින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරනු ඇත. ඔහු‍ගේ හෝ ඇය‍ගේ මඟ - පෙන්වීම යටතේ ඔබේ අනාගත අභිවෘද්ධිදායක තත්ත්වය ගොඩනගා ගනු ඇත. යෞවන වයසක පසුවන්නේ නම් ඔබට ලංවන විරුද්ධ ලිංගිකයා ඔබේ ඉරණම්කරුවා වන්නේය. ඒ නිසා ඔබට දූ කුමරියක් ලැබෙනු ඇත.‍ ඇය ඔබේ සෞභාග්‍යයේ දෙවඟනයි. ඇය ඔබේ සමස්ත ජීවිතයම පරිවර්ථනය කරනු ඇත. ඔබ මහල් නිවාස හිමිකරුවෙක් වන්නේ ඇය නිසාමයි. ඇය වෙනුවෙන් ඔබ නව විලාසිතා රැගත් ඇඳුම් පැළැඳුම් සොයනු ලබනවා ඇත. දැන් සිටම ඇඳුම් මෝස්තර ‍කෙරෙහි සිතක් ද පහළ වෙයි. මෝස්තර නිරූපණය කෙරෙහි අවධානය යොමු කර බලන්න.

    වෘශ්චික - අලුත් සැලසුම්
    ඔබ සමඟ ඇසුරු කරන ‍බොහෝ දෙනෙකු ඔබගෙන් ඈත්වෙනු ඇත. කලබල වෙන්න එපා. ඔබ අනුමානයට මුදල් යොදවා කිසියම් කටයුත්තක් අරඹනවා ඇත. මේ නිසා තරමක් වගකීම් වැඩි වේ. පාඩු ලැබේදැයි කියා සිත දෙගිඩියාවකට පත් වේ. වැදගත් දේ පිළිබඳ සිත යොමු කිරීමෙන් වාසි සහගත තත්ත්වයක් ළඟා කර ගත හැක. ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ කටයුතුවලින් උපරිම ප්‍රයෝජන ගත හැකිය. ගේ දොර තැනීමේ ව්‍යාපාර, මුදල් හම්බ කිරී‍මේ ව්‍යාපාර කටයුත්තක් වෙයි. පුංචි ඉඩම් කැබැල්ලක් අරන් ගෙයන් හදන්න බලන්න. ලොකු මුදලකට විකුණා දැමීමට පුළුවන් වේවි. නව මාදිලියේ නිවාස සැළසුම් ඔබේ මනසේ ඇඳෙනු ඇත. විද්‍යාඥයො, ඉඩම් හිමියො ඔබ වටා රොද බැද ගනීවි. ඉදිරි අවුරුදු දෙක තුනම ඔබේ ජයග්‍රාහී කාලයයි.

    ධනු - වෙනසක් අත ලඟ
    ඔබේ ජීවිතය වෙනස්වීම් වලින් ගහනය. වරෙක තාපසයෙකු මෙන් ඔවුන් ‍වරෙක සියල්ල දමා ගසා ඉබාගාතේ යයි. මේ පරිවර්ථනය තමයි ඔබට ස්වර්ණමය යුගය ගෙනෙන්නේ. ඔබ තාපස ලීලාවට පත්වුණු බව පිළිගත් අන් අය ඔබ කෙළෙසන්න පෙළෙඹේවි. එවිට ඔබ ඊළඟ පරිවර්ථනය සඳහා ඉබාගාතේ යන්න හිතිලා ඉවරයි. ඔබ ඉබාගාතේ යන බව දැන ගත්තාම ඔබව කෙළෙසන්න පටන් ගන්නවා.
    එවිට ඔබ තාපසයකු වී හමාරයි. මේ කීවේ ඔබේ විරුද්ධවාදියාව ඔබට අල්ලගන්න බැරිවෙන එක ගැනයි. ඔබේ අභිවෘද්ධිය සැළසෙන්නේ ඔබේ උඩුකය වැසෙන ඇඳුමේ විලාසිතාව වෙනස්වීමත් සමඟයි. බෙල්ල වටේට පිහිටන කොළරය සහිත කමිසය හෝ බ්ලවුස් එකට මාරුවෙන්න කාලය ඇවිල්ලා. එම ඇඳුමේ පහළ අත් දෙක දැමීමට පුළුවන් අන්දමේ ඉදිරි ‍සාක්කු දෙකක් ද දැමීම අගෙයි. මෙය වෙස්වලා ගැනීමක් වෙයි. මේ වෙනස 2014 ඔබ පෙළූ ග්‍රහයාට නොපෙනෙන්නයි. නමුත් 2015 දී ඔබ පෙළෙන්නට ඔහු ඔ‍බේ පසුපස ඒවි. අනියම් ඇසුරකට පොළඹවා විනාශ කිරීමට පෙළඹුණ ද පසුව එය හෙළිවේවි.

    මකර - ඉගෙන ගත්තොත් දිනුම්
    ඔබට නෑනා කෙනෙකු හෝ මස්සිනා කෙනෙකු සිටී නම් ඔහු හෝ ඇය කෙරෙහි බොහොම කල්පනාවෙන් පසුවන්න. ඔහු ගෙදරින් පැනල ගිය විට නරක නාමෙ එන්නෙ ඔබටයි. ඔබ මධ්‍යස්ථ ජීවිතයක් ගත කළොත් බේරෙන්න පුළුවන්. හස්ත කර්මාන්ත බලවේගයක් ඔබට ආකර්ෂණය වෙනවා. මිත්තණි ය පාවිච්චි කර ගෙයි මුල්ලේ දමා තිබෙන රේන්ද කොට්ට මෙවලම් ටික හෝ අත්යන්ත්‍ර කට්ටල අරන් අළුත් නිර්මාණ කරන්න පුළුවන් ද බලන්න. ස්ත්‍රී පුරුෂ භේදයක් ඕන නැහැ.
    වූල් ගෙතීමේ කටු දෙකක් අරන් වූල් ගොතන්න. විදේශිකයො මවිත වන ගෙතුම් ටිකක් ඔබට කරන්න පුළුවන් වෙනවා. වෙනත් රාජකාරියක් කරමින් යෙදෙන්න පුළුවන්. ජ්‍යොතිෂය වැනි ගුප්ත විද්‍යාවන් ඉගෙනීමටත් ඔබට පුළුවන්. ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන් යන අදහසින් ඉගෙන ගත්තොත් ඔබ දිනුම්. ඔබේ දේපලත්, නෑයන්ට ඕන වෙනවා. දීල දාල නිස්කලංක වෙන්න. ඔබ රහස් කටයුත්තකට මැදිවෙනවා. ඒක නොකර අරින්න. නැතිනම් අරියාදුවකට මැදිවේවි.

    කුම්භ - උසස් වීම් ඒකාන්තයි
    උසස්වීම් ලැබීම ඒකාන්තයි. ආයතනයේ වෙනත් සුදුසුකම් ඇති අය සිටී නම් ඔවුන් විසි වී ඔබ ඒ තැනට එනවා. ඔබ කවුරුන්වත් විවේචනය කරන්න එපා. ඔවුන් එලවා දැමුවේ ඔබය කියා සැකයක් ආවොත් ඔබට පාඩු වේ. අයිනකට වෙලා ඉන්න. ප්‍රමුඛත්වය ලැබෙනවාමයි. සෝඩ බෝතලේ කැඩුව ව‍ගේ ලොකු දියුණුවක් -ධනයක් - දේපළක් ළඟදීම ලැබේ. නමුත් මේවා වක්කඩ කැඩුව වාගේ පලා යෑමේ තත්ත්වයකුත් පවතිනවා. හොඳින් කල්පනාවට ගන්න. අතට ලැ‍බෙන ඉඳිකටුව වුවත් ඉබි යතුරු දමල ආරක්ෂා කර ගන්න.පරිත්‍යාගත් ලැබෙනවා. දෙන දේ බාර ගන්න.විරහ වේදනා ලැබේ. නමුත් නව පෙමක් දළු ලා වැඩේ. අත්දැකීම් පිරි ජීවිතයක් තමයි සාර්ථක වෙන්නේ.

    මීන - අලුත් හිතවතුන්
    2015 මකර රවියේ දී ඔබේ ජීවිතයේ විශාල පරිවර්ථනයක් සිදුවෙනවා. ළඟම ඥාතියකු‍ගේ හදිසි අනතුරක් නිසා සාත්තු කිරීමට සිදු වේ. එ‍හිදී අලුත් හිතවතුන් රාශියක් ඔබට හමු වෙනු ඇත. ඔබ තරුණ නම් ‍ඔබේ ජීවිතයේ සන්ධිස්ථානයකි.නව වසරේ ඔ‍ෙබ් විවාහය සිදුවේ. තම ජන්ම පත්‍රයට ගැළපෙන කාලාත්‍රයා සොයා නොගතහොත් සංසාරගත සතුරෙක් කාලාත්‍රයා ලෙස මුණ ගැසිය හැක.
    ඔබ කුමක් හෝ ‍අලුත් යමක් සිදුකරනවා. නැතිනම් නව නිර්මාණයක් බිහි කරනවා. එසේත් නැතිනම් කිසිදා නොගිය තැනකට යනු ඇත. මේ අතරේ ඔබ ගැන පැහැදෙන අයෙක් ජීවිතය බෙදා හදා ගන්නට එකතු වේවි. විදේශිකයකු ද විය හැක. නමුත් පරිස්සමින්. උපන්දිනය හෝ ලබාගෙන අංක විද්‍යාව අනුව ‍හෝ ගළපා කටයුතු කරන්න. නැතිනම් ජංජාල ගොඩයි.

    අක්මීමණ තලගහ විශ්වකීර්ති
    ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රවි මකරෙට ආවා ලග්න දොළොසකටම නව හැඟුම් පහළවේ නිමැවුම් එළි දකී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top