බළල් ඇස් ඇත්තිය තම කුලය වනසන පාපයට බර තැනැත්තියකි
වම් ඇස වපරනම් නොතිත් ආශාවෙන් බරය
ඉතා රත්පැහැ ඇස් ඇත්නම් සැමියාට අකාලයේ මරණය ගෙන දෙයි
දිගටි හැඩයට දෙනෙත් වේ නම් පිනට දහමට නැගේ ගත සිත
කාන්තා නෙත්වලින් ඇගේ ජීවන තොරතුරු හඳුනාගත හැකි බව පුරාණ පඬිවරුන් පෙන්වා දී තිබේ.
මුතු කැටවන් කාන්තිමත්ව බබලන දිගු දෑස් ඇත්තියන්,නිල් මහනෙල් මල් පෙතිවන් කලාත්මක දෑස් මෙන්ම සා ,මුව සතුන්ගේ මෙන් අහිංසක නෙත් ඇත්තියන් අපි දැක ඇත්තෙමු.එවන් කතුන් බොහෝ විට කලාවට ලැදි කලා හදවත් කුල්මත් කරවන්නියන්ය.
රවුම් වටකුරු දෑස් හිමිවන්නේ උසස් කුලවත් කාන්තාවන්ටය. දිගටි හැඩැති නෙත් ඇත්තිය පිනට දහමට ලැදිය. පිඟුවන් පැහැ දෙනෙත් පිහිටි කත ධනය ඉපයීමට දක්ෂ කඩිසර තැනැත්තියකි. ඉතා රත්පැහැ ඇස් ඇත්නම් සැමියාට අකාලයේ මරණය ගෙන දෙන බව කියැවේ.
මී ගව දෙනුන්ගේ වැනි දෙනෙත් ඇති ළඳ කාගේත් සිත් ඇදගන්නා සුළුය. පිනැති ළඳුන්ය. විහඟ නෙත් සේ කුඩා නෙත් සඟල පිහිටි කත පවට බර නපුරු ගති ඇත්තියකි.
දෙනෙත් ඇතුලට එබී ගියා සේ ඇති තැනැත්තිය ද ගුණයෙන් පිරිහුණා වෙයි.
බළල් ඇස් ඇත්තිය තම කුලය වනසන පාපයට බර තැනැත්තියකි.වම් ඇස වපර නම් දරු සම්පත් අඩුය.බොහෝ විට දරුසම්පත් අහිමිව දුකට පත්වේ.පලල් ඇස් පිහිටියේ නම් බොහො දරුසම්පත් ඇත්තියෙකි.
කාන්තාවක නෙත් නටවමින් කතා කරයි නම් ඈ ඉතා උඩඟු තැනැත්තියක් බව සඳහන් වෙයි.
ගිලුණු නෙත් පිහිටියේ නම් අධික කම් සැප පතා සළෙලුන් කරා යයි. යම් කාන්තාවක් සතු නෙත් සඟල සුනඛ නෙත් මෙන් පිහිටියේ නම් එවැන්නියන් ඉතා කුරිරු අධර්මිෂ්ඨ ,සතුරුක්රියා කරන්නියන් බව භාවකුතුහලය පෙන්වා දී තිබේ.
සසර පෙර වාසනා ගුණයෙන් සපිරි සගහට ලැබෙන නෙත් යුග
කියා නිම කළ නොහැකි තරමටනුවන් යුගලින් කියයි වග තුග
පොරණ පඬිවරු ගතේ සලකුණු බලා හෙළිකළ වදන් පෙල ළඟ
නයන යුග දෙස බලා පලකළනොවරදින තතු පෙනේ ඇය ළඟ
සුසැදි සුකුමල දිගැසියක සතු අනගි මුතු කැට වගේ බබලන
නිලැති මහනෙල් මලක පෙති ලෙස කලා හදවත් ඔකඳ කරවන
සිඟිති සා මුව ලපටි නෙත් යුග වගේ උවමන් තබා ගෙන එන
ලොවැති අඟනන් සතුව ඇති නෙත්වලින් හෙළිවෙයි ඇගේයහ ගුණ
හොඳට රවුමට ඇතොත් නෙත් යුග උසස් කුලවත් කතක් වනු ඇත
දිගටි හැඩයට දෙනෙත් වේ නම් පිනට දහමට නැගේ ගත සිත
වැඩට කඩිසර ධනය උපයන දෙනෙත පිඟුවන් පැහැය ගනු ඇත
සැමිට මරණය දෙවන නෙත් යුග ඉතා රතුවන් පැහැය දෙනු ඇත
දෙනුන් මී ගව සතුන් විලසට දෙනෙත් ඇති යම් ළඳක් වේ නම්
දනන් නෙත සිත පොබය කරවන පිනැති ළඳකැයි කියා දේ නම්
පිනෙන් තොර වුණ නපුරු අඟනුන් විහඟ නෙත සේ කුඩා වේ නම්
ගුණෙන් පිරිහුණු ඉතිරියක සතු දෙනෙත ඇතුලට එබී යා නම්
බළල් ඇස් ඇති ළඳක සතු නෙත කාමයෙන් තම කුලය වනසයි
වමැස වපරැති ළඳක් වේ නම් කාම සම්පත් නිතර පසසයි
සියලු දරු සැප නොලැබ සෝ දුක් දෙවන දකුණැස වපර කරවයි
පළල් නෙත් යුග වලින් සපිරුණු ළඳට දරුඵල සපල කරදෙයි
නටන නෙත් යුග උඩඟු සිත් ඇති ඉතිරියකටමය සතු කරන්නේ
ගිලුන නෙත් යුග අධික කම් සැප පතා සලෙලුන්මය පතන්නේ
වපර නෙත් යුග මහත් ලොබ බැඳ ධනය පමණක්මය සොයන්නේ
සුනඛ නෙත් යුග කුරිරු අදමිටු සැතිරියකමය සතු කරන්නේ
භාවකුතුහලය ඇසුරෙනි.(ස්වාධීන කාව්‍ය නිර්මාණයකි.)
දන්ඕවිට බී.ආර්.දයානන්ද
0 comments:
Post a Comment