728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    සුබ නැකතින් මධුසමයට ගියොත් සුපින්වත් දරුවන්


    විවාහ දිවියක සැබෑ අරමුණ වන්නේ වාසනාවන්ත පින්වත් දරුවන් බිහි කිරීමයි. එය මව්පිය දෙපළගේම අවංක ප්‍රාර්ථනාවයි. එහෙත් වාසනාවන්ත දරුවන් ලැබීමට හැම මවක්ම හැම පියෙක්ම වාසනාවන්ත නොවේ. එසේ වීමට බොහෝ හේතු සාධක ද ති‍බේ.

    පූර්ව ආත්මවලදී ඇතිකරගත් බැඳීම් සහ තම තමන් කර ගන්නා වූ කුසලාකුසල ශක්තීන් මෙන්ම ප්‍රාර්ථනා ද මීට බලපාන බව බුදු වදනය.
    පින්වත් දරුවන් බිහිවන ග්‍රහ පිහිටීම් ඇතිව උපත ලබන්නේ පින් පුරවා ගත් වාසනාවන්ත මවුපියන්ය. ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් මෙය මනාව අවබෝධ කරගත හැක.

    මව සහ පියා ජන්ම පත්‍රයේ සඳහන් කරුණුවලට අනුරූපව තමන්ට ලැබෙන දරුවන්ගේ ස්වභාවය පැවසීමේ හැකියාව දක්ෂ ජ්‍යොතිෂවේදීන් සතුය.
    ජ්‍යොතිෂයට අනුව ජන්ම පත්‍රයක දරුවන් පිළිබඳ පෙන්නුම් කරන්නේ පස්වන රාශියෙනි. පස්වැන්නෙන් තම බොහෝ දේ පෙන්නුම් කරයි. ජන්මියාගේ ප්‍රාථමික අධ්‍යාපනය, ප්‍රේමය කලාත්‍රයාගෙන් තමාට හිමිවන ධනය ආදිය පිළිබඳ විමසීමට ද පස්වැන්නේ ග්‍රහ තත්ත්වය පිරික්සිය යුතුය.

    පස්වන රාශියේ තැන්පත් ග්‍රහයන්ගේ තත්ත්වය සහ ලැබෙන ග්‍රහදෘෂ්ටි අනුව දරුවා ගැහැණුද, පිරිමිද යන්න පැවසිය හැකි අතර දරුවන්ගේ ගති ස්වභාවය පිළිබඳ දැනගැනීමේ හැකියාව ද ඇත.
    එහිදී ලැබෙන දරුවා ගැහුණු ද පිරිමිද යන්න විග්‍රහ කිරීමට එහි තැන්පත් ග්‍රහයන් ස්ත්‍රී ද පුරුෂ ද යන්න විමසා බැලිය යුතුය.

    සඳු, සිකුරු පස්වැන්නේ තැන්පත්වීම තුළින් දියණියන් ලැබෙන බවත්, රවි, ගුරු එහි තැන්පත්වීමෙන් පිරිමි දරුවන් ලැබෙන බවත් ජ්‍යොතිෂ මතයකි.
    ශනි, කුජ පස්වැන්නේ යහපත් ලෙස තැන්පත්වීමෙන් ද පිරිමි දරුවන් ලැබීමේ වාසනාව පවතී. අයහපත් ලෙස සිටින විට කාන්තාවන්ට ගබ්සා ඇතිවිය හැක. පුරුෂ කේන්දරයක එසේ ඇත්නම් වැඩිමහල් පිරිමි දරුවාට අපල ගෙන දෙන බව ජ්‍යොතිෂයේ පෙන්වා දී තිබේ.

    යමෙකුගේ කේන්දරයක රවි - ගුරු යෝග කාරක ග්‍රහයන් වී පස්වැන්නේ බලවත්ව (උච්ච, ස්වකේෂ්ත්‍ර බලයෙන් යුතුව) තැන්පත්වී සිටී නම් ඉතා වාසනාවන්ත තේජාන්විත පිරිමි දරුවන් උපත ලබන බව පැවසේ.
    සඳු සිකුරු බලවත්ව තැන්පත්වීමෙන් ඉතා රූමත් වාසනාවන්ත දියණියක හිමි වන බව හෙළි වී තිබේ.
    මේ සියලු දේ සිදුවන්නේ කර්මය අනුව බව අප සිත තබා ගත යුතුය. ජන්ම පත්‍රයක ග්‍රහයන් තැන්පත් වන්නේ අප පෙර කරන ලද කුසල් අකුසල් අනුවමය. සියලු සැප සම්පත් ලබා දරු සම්පත අහිමි අයගේ පෙර භවය පරීක්ෂා කළ හැකි නම් එය මනාව වැටහෙනු ඇත.

    - ධම්මිකා වෙලේගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සුබ නැකතින් මධුසමයට ගියොත් සුපින්වත් දරුවන් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top