විශ්වාසය වාසනාව හඳුනා ගැනීම මෙන්ම යහපත 'විවාහයේ අරුත' බව අපි දනිමු.
දන්නා හඳුනන හෝ නොදන්නා දෙපාර්ශවයක් අතර ඥාති සබඳතාවයක් ඇති කරමින් කුලකුමරෙකු සහ කුල කුමරියක ශාරීරිකව සහ මානසිකව එක් කොට තම වරිග පරම්පරාව වර්ධනය කරමින් නොනැසී පවත්වාගෙන යාමට වැඩිහිටියන් විසින් දරනු ලබන උත්සාහය යෝජනාවක් මගින් සිදුකිරීම විවාහයේ අරමුණ වේ.
සියලුම විවාහකයින්ගේ අරමුණ වන්නේ වාසනාවන්ත පින්වත් දරුවන් ලැබ සතුට සමාදානය පිරි කැදැල්ලක් ගොඩනගා ගැනීමයි.
විවාහය සඳහා දෙදෙනකු එකට එකතු කිරීම සම්බන්ධයෙන් කරනු ලබන සියලුම මංගල කටයුතු ශුභ නැකැත් අනුවම සිදුකිරීම පුරාණයේ පටන් සිංහල සංස්කෘතියේ පැවැත එන චාරිත්රයකි.
මේ සියලු නැකැත් අතර විවාහයේ ප්‍රබලම නැකත රාත්‍රී නැකත බව දන්නා පිරිස අල්පය. රාත්‍රී නැකතේ වටිනාකම පිළිබඳ මීට පෙර ලිපියකින් අපි කරුණු දැක්වීමු.
මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව පිළිගත යුතු සත්‍යයකි . ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක් ඇති මවුපියන් තම දුවා දරුවන්ගේ විවාහය සඳහා නැකත් සෑදීමේ කටයුතු වලදී රාත්‍රී නැකතද දෛවඥයා ලවා සාදවා ගනී.
එහෙත් වැඩිදෙනෙක් මේ පිළිබඳ උනන්දුවක් නොදක්වන්නේ අපේ සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය තුළ ලිංගිකත්වය පිළිබඳ වැඩිහිටියන් දරුවන් සමඟ හෝ දරුවන් වැඩිහිටියන් සමඟ සාකච්ඡා කිරීමට මැලිකමක් දැක්වීමයි.
බටහිර පන්නයට ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන් වුවද ලිංගික කටයුතු සම්බන්ධයෙන් දරුවන් සමඟ කතාකිරීමට පවා ලජ්ජාවක් දක්වයි.
අතීතයේ පටන්ම නැකැත් පත්‍රයෙන් රාත්‍රී නැකැත ගිලිහී යාමට අපේ සංස්කෘතිය බලපා ඇති බව පෙනේ. සේවා දායකයාගෙන් ඉල්ලුමක් නැති නිසා දෛවඥයා ගෙන් ද මෙය ගිලිහී ගොස් ඇත.
ඒ පිළිබඳ අවබෝධයක් ඇත්තවුන් පමණක් හොර රහසේම හෝ එම නැකැත සාදවා ගනී.සමහර මවුපියන් එය තම දරුවන් අතට පත්කරන්නේ වැඩිහිටියෙකුගේ හෝ යහළුවෙකුගේ මාර්ගයෙනි.
ඒ තරමටම අදත් අපේ වැඩිහිටියන් සහ දරුවන් අතර ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම ලජ්ජා සහගත කරුණක් වී තිබේ.මේ හේතුව නිසාම අත්‍යාවශ්‍යම කටයුත්තක් අපෙන් ගිලිහී ගොස් ඇති බව පෙනේ.
විවාහ මංගල කටයුතු සඳහා නැකැත් දින තෝරා ගැනීමේ දී එදින දහවල නැකත මෙන්ම රාත්‍රී උදාවන නැකත ද දෙදෙනාටම සුබ විය යුතුය. නිදසුනක් ලෙස එදින දහවල සුවණ නැකත යෙදී තිබුණේ යැයි සිතමු. රාත්‍රී කාලයේ දෙනට නැකත උදාවන්නේ නම් එයද දෙදෙනාටම ශුභ විය යුතුය. දහවල ශුභ වුවද නැකැත් දින තෝරා ගැනීමේ දී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙය ඉතා භාරධූර කටයුත්තක් නිසා නොවේ.එම දිනය තෝරා ගැනීම දෛවඥයයාටම බාරදිය යුතුය.
එසේ නොවී තමාට සහභාගිවන්නට පහසු දින තමාම තෝරා ගෙන ජ්‍යොතිෂවේදියෙකු ලවා නැකැත් සාදවා ගෙන සිදුකරන විවාහ මංගල කටයුතු ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව අනුමත කළ නොහැක. ජ්‍යොතිෂවේදියා මෙවැන්නක් කරන්නේ නොකර බැරි කමට මිස කැමැත්තෙන් නොවේ.
ජ්‍යොතිෂයට අනුව යහපත් දරුවන් ලැබ වාසනාවන්ත යුග දිවියක් ගත කිරීම සඳහා ශුභඵල දෙන රාත්‍රී නැකත සකස්කර ගන්නා අයුරු විමසමු.
අදාල මංගල දිනයේ රාත්‍රී යෙදෙන සඳු, ගුරු, සිකුරු වැනි ශුභ හෝරාවක තත්කාල කේන්ද්‍රය බලවත් කර ගනිමින් නැකත සකස් කර ගත යුතුය.
තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 වැන්නේ තබා එකොළොස් වැන්නාධිපති 6-8-12 වැනි දුර්වල ස්ථානයක නොතබා ගුරු සහ සිකුරු ශුභ රාශීන්හි තැන්පත් වන අයුරින් නැකත සකස්කර ගත යුතුය. එමෙන්ම තත්කාල කේන්ද්‍රයේ 7 වැන්න සහ 8 වැන්නද පාප පීඩා නොවී පිරිසිදුව තිබිය යුතුය.
මෙසේ සකස්කර ගත් ශුභ මුහුර්ථයක දී මනාල යුවලක් ශාරීරිකව එක්වීමෙන් පින්වත් දරුවන් ලබා සාර්ථක යුග දිවියක් ගත කළ හැකි බව ජ්‍යොතිෂ ශාස්ත්‍රය පෙන්වා දෙයි. ඒ ආකාරයෙන් ශුභ මුහුර්ථ සාදා ගැනීමට අපහසුවන අවස්ථාවලදී ඒ ඒ ජන්මීන්ට අදාල පක්ෂියා රජකරන අවස්ථාව ශුභ මුහුර්ථ ලෙස සාදා දීමට ජ්‍යොතිෂවේදීන් කටයුතු කරයි. නොඑසේ නම් දිව්‍යමය සුබ මුහුර්ථයක් යෙදෙන අවස්ථාක් ලබා දෙයි.
එදින රාත්‍රී රාහු කාලය මඟහැර සඳු හෝරාව පවතින අවස්ථාවේ මුල් විනාඩි 24 අත්හැර ශාරීරිකව එක්විය හැක. තවද ගුරු හෝරාවේ ගුරු, සිකුරු හෝ සඳු පංචමය යෙදෙන අවස්ථාවත්, සිකුරු හෝරාවේ සිකුරුගේ සඳු පංචමය යෙදෙන අවස්ථාවත් යොදා ගැනීමෙන් අශුභ අවස්ථා වන්ගෙන් මිදිය හැක.
මෙය නැකතක් ලෙස වරදවා තේරුම් නොගත යුතු අතර එය ශුභ හෝරාවක් පමණක් වේ.
යහපත් දරුවන් ලැබ සාර්ථක යුග දිවියක් ගතකිරීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් ලැජ්ජාව පසෙක ලා මංගල නැකැත් සාදවා ගැනීමේ දී ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ලවා රාත්‍රී නැකත සාදවා ගැනීමට උනන්දුවිය යුතුය. සේවාදායකයාට කරුණු පහදා දී ඒ උතුම් කාර්යය නිසි අයුරින් කරදීම දෛවඥයාගේ ද වගකීමකි.
ධම්මිකා වෙලේගොඩ
0 comments:
Post a Comment