728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    පියාට නොසලකන පුතාට රිදවන්න පරලොව ගිය මව ලේලිව ලෙඩ කරයි

    'සඳකැන් සඳුන් මඳ
    නල‍ මේ හැම සිසිලසටත්
    උතුම් සිසිලසයකි
    ගතෙහි තම දරුවන් වැකෙනවා'
    (‍ලෝකෝපකාරය-11)

    චන්ද්‍රකාන්තිය,සඳුන් කල්කය හා මඳ සුළඟ ආදී දේ ශරීරයෙහි ගෑවෙන කල දැනෙන සිසිලස සුවයටත් වඩා සුවදායක සිසිලසක් තමන් ගේ දරුවන් ඇඟෙහි ගෑවෙන කල දෙමව්පියන්ට දැනෙයි.

    අමා රසයට වැඩි රසයක්
    නොමැත සුරන් බුදිනා
    ඊටත් වැඩි රසෙකි
    තමා දරුවන් හැනූ සුබොජුන්
    (‍ලෝකෝපකාරය-9)

    දෙවියන් ආහාරයට ගන්නා අමෘතයට වඩා තවත් රසයක් නැත.එහෙත් තමන් ගේ දරුවන් ඇනුවා වූ ආහාරය දෙමව්පියන්ට අමෘත රසයටත් වඩා රසවත්ය.
    ශානිකා පදිංචි බත්තරමුල්ලේය. හතලිස් හැව­ිරිදි ඇය දෙදරු මවකි. රූමත්ය. ඇය ශාරීරිකව දැඩි වේදනාවකින් පෙළෙයි. කෑම අරුචිය තවත් රෝගයකි.සිහිනෙන් බිය වී කෑගසාගෙන අවදිවෙයි.ශරීරය පුරා පලු දමා කසන්නට ගනී.එසේ කසන තැන්වල කුඩා බිබිලි හට ‍ගෙන පැසවා සැරව ගලයි
    මේ සුරූපී කාන්තාව ගේ සම පුරා සැරව ගැලීම නිසා ගෙල පටන් පාදාන්තය දක්වා වසාගත් ඇඳුමකින් සැරසී ඇතුල් ‍කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවාය.ඇගේ සැමියා සනත්ය. ඔහු අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩ විතාන මහතා සමඟ බිරිඳ එළඹ ඇති අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කෙළේය.

    ..මහත්මයා දැන් අවුරුද්දක විතර කාලයක සිට ශානිකා මේ දුක විඳිනවා.වෛද්‍ය ප්‍රතිකාර කළා,තොවිල් පවිල් කළා.මේ එකකින් වත් වැඩක් වුණේ නෑ. අපට බරපතල හූනියමක් කරලා තියෙන්නේ අපේ දියුණුවට ඉරිසියා කරන කෙනෙක්.අන්තිමට සෙත්මිණ පත්‍රයේ ඔබතුමා ගැන පළවෙන නොපෙනෙන ලෝකය ලිපිය දැකලා මේ හොයා ගෙන ආවේ.'යි කීය.

    ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ශානිකා වෙව්ලන්නට වූවාය. ඉන් එහා දෙයක් මතු වී නොආ නිසා දිනවිසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.
    බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ ශානිකා ප්‍රලය වී භූතාත්මය කතාකරන්නට විය.ගවේෂකවරයා ප්‍රශ්න කෙළේය.
    ..කවුදමේ ශරීරයට රිංගාගෙන ඉන්නේ
    මම ජයන්ති
    කවුද ජයන්ති කියන්නේ
    මේකිගෙ නැන්දම්මා.මේ සනත්ගෙ අම්මා යි සනත්ට අත දිගු කොට පෙන්වා භූතාත්මය කීවාය.
    ..ඇයි ලේලිට කරදර කරන්නේ?

    මම උපාලිව බලන්න ආවා ගෙදර.මුන් උපාලිට කන්න බොන්න දෙන්නෙ නෑ. එයා මළ මුත්‍ර ගොඩේ දුක් විඳිනවා. එයා දුක් විඳිනවා බලන්න බැරි නිසා මම මුන්ගෙන් පළිගන්නවා. උපාලි මගේ මහත්තයා. මේ සනත්ගෙ තාත්තා. මගේ මහත්තයා හොඳ ව්‍යාපාරිකයෙක්. අපි මේ ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන දරුවන්ට ඉගැන්නුවා. දුව එංගලන්තයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය‍ කෙනෙක්.දුවට හොඳට ඉගැන්නුවා.දේපළ දුන්නෙ නෑ.දේපළ ඔක්කොම දුන්නෙ සනත්ට.මහත්තයා ට දැන් වයසයි.මුන් හරියට කෑම බීම ටිකවත් දෙන්නෙ නෑ.අනේ මහත්තයා උපාලි තනියම කල්පනා කර කර දුක් විඳිනවා.ඒ කාමරයට හොස්ස පොවන්න බෑ.මළ මුත්‍රා ගඳ. මුන් කිසිම සාත්තු සප්පායමක් කරන්නේ නෑ. මේකිගේ හිතේ මේ දේපළ ඒකිගෙ දෑවැද්දට ගෙනාපු ඒවා කියලා ඒවා කොහෙද?මම මේකිගෙන් පළිගන්නවා'යි භූතාත්මය කීවාය.
    .‍‍..ඔය පළිගැනීමේ චේතනාව හොඳ නෑ නේද?

    මහත්තයා මගේ උපාලි පටන් ගත්ත බිස්නස්වලින් මාසෙකට ලක්ෂ පහළොවක් විතර ආදායමක් ලැබෙනවා.එහෙම තියෙද්දිත් මුන් තාත්ත‍ට ‍නොසලකන කොට මුන්ගෙන් පළි නොගෙන මොනවා කරන්නද?
    මේ භූතාත්මය කියන කතාව ඇත්තද?යි ගවේෂකවරයා සනත්ගෙන ප්‍රශ්න කෙළේය.
    මට බිස්නස්වල වැඩ තියනවා මට ඕවා‍ට වෙලාවක් නෑ.මම විතරක් මොකද,තව එක්කෙනෙක් ඉන්නේ'යි සනත් කීවේය.
    ඒ කවුද?
    නංගි
    නංගි කොහෙද ඉන්නේ?
    එංගලන්තයේ
    නංගිට තාත්ත‍ගෙ දේපළ දුන්නාද?
    නෑ එයාට ඉගැන්නුවා

    ඉතින් එංගලන්තයේ ඉන්න නංගිට ලංකාවෙ ඉන්න තාත්තාට සලකන්න බැහැනෙ.
    තමුන්ට පුළුවන්නේ ඒකට ගෙදර ඉන්න තාත්තාට සාත්තු සප්පායම් කරන්න. දැන් මේ අසනීපයෙන් ශානිකාගෙ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා භූත දෝෂය වළක්වන්න නම් තාත්තාට සාත්තු සප්පායම් කරන්න ඕනෑ.හෙට උදේ ඉඳලා උදේට පැයක් තාත්තා වෙනුවෙන් වෙන් කරන්න. තාත්තාව උණු වතුරෙන් නාවලා ශුද්ධ පවිත්‍ර කරන්න. කෑම ටිකක් කවන්න.තවත් දවස් හතක් බෝධි පුජා පවත්වලා තාත්තාට සාත්තු කරපු පින දෙවියන්ට අනුමෝදන් කරලා අම්මාටත් අනුමෝදන් කරලා එන්නැයි උපදෙස් දුන්නේය.
    බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ ශානිකාත් සනතුන් සමඟ ගවේෂකවරයා සාකච්ඡා කෙළේය.
    ..තාත්තාව නාවලා ශුද්ධ පවිත්‍ර කළාද?සනත් ගෙන් ඇසීය.

    මට වෙලාවක් නෑ.කුළියට ගෑනියෙක් දැම්මා,නර්ස් කෙනෙකුත් යොදන්නයි බලාපොරොත්තුව'යි ඔහු කීවේය.
    'දැන් ඔබේ ළමයි දෙන්නා කොහේද ඉන්නේ?
    ඒ දෙන්නා පිටරට ඉගෙන ගන්නවා
    ඒවට වියදම් කරන්නෙ මොන සල්ලිද?
    අපේ බිස්නස්වල සල්ලි
    දැන් ඔය දෙන්නත් වයසට ගියාම ඒ ළමයි දෙන්නත් නොසලකා හැරියොත් මොකද වෙන්නේ
    මොනවා එහෙම කොහොමද? අපි හදලා වඩලා උගන්නලා එහෙම කරන්න දෙන්න පුළුවන්දැ'යි සනත් ගේ බිරිය ශානිකා කෝපයෙන් මෙන් කීවාය.
    ..අන්න හරි අවශ්‍ය දෙය මතු වුණා. අන්න ඒ ටිකම නේද? දැන් තාත්තාටත් වෙලා තියෙන්නේ'යි ගවේෂකවරයා අසන විට සනත් ශානිකා දෙදෙනා බිම බලා ගත්හ.
    ..නර්ස්ලා දහයක් දැම්මත් වැඩක් නෑ.තමන්ගෙ දරුවෙක් අතින් වතුර උගුරක් බොන්න දෙන එක තරම් වටින්නෙ නෑ.කවදා හරි තමුන්ගෙ දරුවො දෙන්නත් ඔය විදිහටම සලකාවි. මහත්තයා මෙතැන රෝගීන් සුවපත් කරනවා විතරක් නොවෙයි අපේ පියවි ඇසට නොපෙනෙන දුකට පත් භූතාත්මවලටත් සාධාරණය ඉෂ්ට කරන තැනක් .විශ්ව ප්‍රාණීන්ටම මෛත්‍රී කරුණාවෙන් කටයුතු කරන තැනක්,තමන් ගේ නෝනාගේ ශරීරයම පැසවලා ඒ විෂබීජවලින් ජීවිතය නැතිවෙලා යන්නත් පුළුවන්.

    කරුණාකර උදෙන් නැගිටලා පැය දෙකක් තාත්තා සමඟ ගත කරන්න. තාත්තාව පිරිසිදු කරන්න. කවන්න.පොවන්න. මේ වැඩ නෝනාට පවරන්න එපා.එයත් හිතලා කරනවා නම් කරපුවාවෙ.තමන්ගේ අත් දෙකෙන්ම තාත්තාට සාත්තු සප්පායම් කරලා සති දෙකකට පස්සේ නැවතත් එන්නැයි උපදෙස් දුන්නේය.
    සනත් ඒ අවවාදය පිළිගෙන උදෙන් අවදි වී පියාට සාත්තු සප්පායම් කරන්න පටන් ගත්තේය.සතියක් ගත වන විට බිරිඳගේ ශරීරයේ හට‍ගෙන තිබුණු සැරව බිබිලි වේළී ගිය බව ගවේශකවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

    සති දෙක අවසන් වන විට ශානිකාගේ අසනීපය සම්පූර්ණයෙන් සුව වී තිබිණි. හීනෙන් බිය වී අවදිවීම ද නතර වී තිබිණි.මහලු පියාගේ තත්ත්වයද යහපත් අතට හැරී තිබුණි.
    සති දෙක අවසානයේ ඔවුහු නැවත පැමිණියහ. ගවේෂකවරයා එදින ද ශානිකා දිෂ්ටි ගැන්වූයේය. භූතාත්මය ම කතාව පටන් ගත්තාය.

    ..පින්සිද්ධ වේවා.පින් සිද්ධ වේවා.මහත්මයා.දැන් උපාලිට හොඳයි.මේ දරුවො දෙන්නා හොඳට සාත්තු සප්පායම් කරනවා.දැන් මටත් හරි සතුටුයි.මහත්මයාට පින් සිද්ධ වෙනවා .මම මීට පස්සේ මේ ළමයාට කරදර කරන්නේ නෑ. මම යනවා.මම යනවා පුතේ.මම යනවා දුවේ.තාත්තාව හොඳින් බලාගන්නැයි භූතාත්මය ඉවත්ව ගියාය.

    ..ඔය ගියාට ආයෙත් එන්න බැරි නැහැ.ඒ නිසා නොකඩවා තාත්තාට සාත්තු සප්පායම් කරන්නැයි ගවේෂකවරයා අවවාද කෙළේය.
    බොහෝ දෙනෙකුට දුක් දෙන හූනියම් අනුන් කරන ඒවා නොව තමන්ම කරගන්නා ඒවාය.


    මතුගම මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පියාට නොසලකන පුතාට රිදවන්න පරලොව ගිය මව ලේලිව ලෙඩ කරයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top