728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    ආවේග මැඩගෙන ඉවසීමෙන් සිටිය යුතු කාලයක්


    පිරුවට ඇඳල වඩිනව 'රවි' කුම්භයට
    විපතට වැටුණු දන උසි ගැන් වෙන්නෙ කුමට
    තිබුණට ගිලිල කාලයෙ වැලි තලාවට
    මුහුණට දැමුණු වෙස් ගැලවෙයි කලාවට

    මේ මස 13 දා උදේ 8.26ට පමණ සෙනසුරුගේ මූල ත්‍රිකෝණ රාශියේ දී ග්‍රහ ලොව රජුවන සූර්ය දිව්‍ය රාජයා සතුරු බල ලබන්නේය.
    එවිට විශ්වයේ නැඟෙනහිර ක්ෂිතිජයේ මීන රාශිය උදා වී පවතින්නේය.එහි අධිපතියා වක්‍ර ගමනින් තත්කාල ලග්න කුණ්ඩලියේ පස්වැන්න ආක්‍රමණය කරමින් සිටිනු ලබන්නේය.

    ඒ වගේම රාහුගේ සප්තම දෘෂ්ටියට ගොදුරු වූ යුරේනස් ග්‍රහයා ලග්නයේ ක්‍රියාත්මක වන්නේය. මේ නිසා ජනතා මනස කුපිත කෙරෙන්නේය.කලබල කරන්නේය. මිනිසා දරදඬු කෙරෙන්නේය.ජනතාව බොහොම ඉවසිලිවන්ත ලෙස කටයුතු කළයුතු කාලයක් උදා වූ බව සිහිතබා ගත යුතුය.

    ප්‍රවෘජ්‍යාකාරක ගුරු ග්‍රහයා ද වක්‍ර වී පුත්‍රස්ථානයේ ‍ගෝචරය වන නිසා පැවදි උතුමන් කුපිත කෙරෙන්නේය. සියලු ජන කොටස් වෙතට බණ භාවනාදී වැඩමුළු දියත්කිරීමට යම් කිසි වගකිව යුතු අංශයන් විසින් කටයුතු කරන්නේ නම් මැනවි.ආගමිකඅධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නොයෙක් වාද විවාද ගොඩනැගී අවලාද නගා ගැනීම් ද ඒවා විප්ලවකාරී තත්ත්වයන් දක්වා උත්සන්න විය හැකි බැවින් ද පලාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සියල්ලන්ම වගබලා ගතහොත් සිදුවිය හැකි අනර්ථකාරී තත්ත්වයන් අවම කරගත හැක.

    පූජ්‍ය පක්ෂයද සම්බන්ධකරගෙන ජනතා උසිගැන්වීම් සිදුකිරීමට කුම්භ රවියේදී මෙකී ග්‍රහ ගෝචර ක්‍රියා කිරීම මත බලගතු නීති වේදින්ද මැදිහත් විය හැක .පමණ ඉක්මවා කෙරෙන මැදිහත්වීම් උත්සන්න වී අනර්ථයන් සිදුකර ගැනීමට බුද්ධිමතුන් විසින්ම කටයුතු කෙරෙන සමයක් උදාවේ.සෑම සියලු දෙනාටම දුරදිග සිතා බලා කටයුතු නොකළහොත කිසිවෙකුට හව්හරණක් නොලැබේ.

    තමා ද අනතුරුදායක තත්ත්වක් උදාකරගනු ඇත.මේ නිසා සෑම තරාතිරමකම අය දුරදිග සිතාබලා ක්‍රියා කිරීමට බුද්ධිමත් විය යුතුය.
    තත්කාල කේන්ද්‍රයේ දොළොස්වැන්නේ රවි-කුජ-ශුක්‍ර ත්‍රිත්වය ඒකරාශී වීම ලෝකායතන ජ්‍යොතිෂය අනුව යහපත් තත්ත්වයක් නොවේ.මේ පිහිටීම නිසා අග්නිය බලවත් වන්නේය.මෙකී රවි විසින් සෙනසුරුට දෘෂ්ටි හෙළීම ද සුබදායක නැත.ජලයේ දී පවා ගින්නෙන් විපත් විය හැකි බැවින් ජල යාත්‍රා පවා ගින්නෙන් පරිස්සම් කරගැනීම සුදුසුය.

    ජනතා ගතින් රුධිරය වෑස්සෙන අනතුරු සුලබ විය හැක. රුධිරය අවශ්‍ය මනුෂ්‍ය ප්‍රමාණය ඉහළ යන බැවින් රුධිරය ගබඩාකර තබා ගනිමින් ක්ෂණික අවශ්‍යතා සපුරා ලීමට හැකිවන පරිදි ජංගම සේවා පවත්වාගෙන යමින් කටයුතු නොකළොත් ජීවිත හානි බොහෝ විය හැක.
    රවි-කුජ-නැප්චූන් ශුක්‍ර යන ග්‍රහ බලවේගයට තමාගේ ගැලවිල්ලට වෙනත් පාවා දීමක් කිරීමට කටයුතු කිරීම රාහුගේ ක්‍රියාවලියකි.ජීවන ගමනේ දී කාලයා විසින් යම් යම් පුද්ගලයන්ට යම් යම් ස්ථානවල පහස ලබා ගැනීමට පසුබිම් සාදා දෙනු ලබන්නේය.

    සයනය,පැදුර,පැදුරෙන් බිමට කියා බල බලා නොසිට ස්ථානයට අනුව අනුගත වී ජීවන ගමනේ අදාල සැතපුම් කණුව පසුකර යාම ජීවිත ගමනේ දියුණුව වෙයි.
    අවදානම්කාරී කාලසීමාවේ දී තමා විසින් කළයුත්ත කුමක්ද ‍නොකළ යුත්ත කුමක්ද යන්න පිළිබඳ තෝරා බේරාගෙන කටයුතු කිරීම සඳහා ඔබේ ලග්නය හරහා ගෙන එන උපදෙස් අනුගමනය කර බලන්න.

    මේෂ
    රවිගේ ආගමනය කාම ත්‍රි‍කෝණයේ එකොළොස්වැන්න වීම ඔබට ඉතාමත්ම යහපත්වනවා ඇත.ඉතා උසස් තත්ත්වයේ මිත්‍රයින් රාශියක් අලුතෙන් හඳුනා ගැනීමටලැබීමෙන් ඔබේ අදායම් මාර්ග යහපත් ලෙස වර්ධනය වෙයි.
    රාජ්‍ය අංශ නිලධාරීන්ගෙන් යම් කිසි සහනයක් ඔබ බලාපොරොත්තු වන්නේ නම් එය ලබා ගැනීමට සුදුසුම කාලයයි.
    ආදායම කොටස් වශයෙන් ලැබෙමින් ති‍බුණේ නම් එකවරම ලැබෙන කාලයකි.මෙසේ ලැබෙන වාසි බුද්ධිමත්ව කටයුතු කළොත් ආයෝජනයට යොදවා ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරගත හැක.
    ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන විට තුන් වැනි පාර්ශවයක උකුසු ඇසක් ඔබ වෙත එල්ල වී ඔබේ සම්පත් කොටසක් ඩැහැගන්නට උපක්‍රමයක් යොදනු ඇත.ඔබේ දියුණුව නොව අන් කෙනෙකුගේ දියුණුවට අතහිත දීමට පමණක් සිදුවිය හැක.ටිකක්වත් ආත්මාර්ථකාමී නොවුන‍හොත් ඔබ පරදී.

    වෘෂභ
    ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වන මාසයක් වනු ඇත.සිදුකරන කටයුතු වලට බොහෝ වෙනස් දේ කරන්නට සිදුවේ.ව්‍යාපාරික කටයුතු වල යොදෙන ඔබට වෙනත් ව්‍යාපාර වලට අත ගැසිය හැක.රැකියාවල පවා වෙනසක් වේ.
    යම් කිසි හේතුවක් නිසා සුප්‍රසිද්ධියකට පත්ත වූ ස්ථානයක සංචාරයක යෙදිමට පසුබිමක් සැකසේ .එයින් ප්‍රසිද්ධිය මෙන්ම යහපතක්ද වෙයි. අවිවාහක නම් සහකරු/සහකාරියද මුණගැසිය හැක.පිය පාර්ශවයෙන් සහයෝගය ලැබේ.
    රාත්‍රී කාලයේදී යන ගමන් බිමන් ද සීමා කරන්න.එය තරමක් අහිතරකය. කරන කියන දේ වල බොහෝ වැරදි අඩුපාඩු තිබිය හැක.කරන කටයුතු සඳහා පරීක්ෂක වරයෙකුගේ අධීක්ෂණය යටතේ කරන්නේ නම් වැරදි අවම කරගත හැක.

    මිථුන
    වක්‍ර ගමනක යෙදී සිටි ලග්නාධිපති වක්‍රයෙන් මිදුන ආසන්නයේ දීම වික්‍රමස්ථානාධිපතියා වශයෙන් රවි ග්‍රහයා භාග්‍යස්ථානයට සම්ප්‍රාප්ත වී වික්‍රමස්ථානයට තම බැල්ම හෙළයි.
    ඔබ කුමන විෂයයක් පිළිබඳ අවබෝධයක් තිබුණත් කුමන රැකියාවක නිරත වුවත් ආගම දහම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සැලසේ.
    එ‍සේ ලැබෙන අවස්ථාවෙන් වැඩි තෘෂ්ණාවක් නොමැති බව හැඟෙතත් ඒකාකාරී බවෙන් මිදීමට අවස්ථාවක් කරගන්න.

    ඔබේ දූ දරු මුණුපුරු පිණිපිරියන්ට මෙන්ම ගෝලයන්ට යහපත් කාල සීමාවකි.ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳ සතුටුවිය හැක.සහෝදරයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය ශ්‍රමය මෙන්ම ධනයද වැය කිරීමට සිදුවනු ඇත‍.
    ඔබට අගෞරවයක් වන අන්දමේ තීන්දුවක් ලැබෙනු ඇත.කල්පනාකාරී නොවුනහොත් ප්‍රබල නීති ගැටලුවකට මුහුණදෙයි.වැඩිහිටියන් ගුරුවරුන් ආදීන්ගෙන් යම් විරෝධයක් මතුවනු ඇත.තමන්ගේ තත්ත්වය පහළ වැටීමක් මෙන්ම මූල්‍ය ධනය පහත වැ‍ටේ.ගැටලු ඇතිකරයි.ඒ නිසා පමණ දැන වියදම් කිරීමත් කතා කිරීමත් මැනවි.

    කටක
    යම් යම් දේට විවිධ පුද්ගලයින් ඔබට බලකරනු ඇත.ඒ ඔබේ යහපතට නොවේ.වෙනත් අයගේයහපතට හා දියුණුවට මෙසේ බලකර අකමැති වුවොත් ඔබට කුමක්හෝ පාඩුවක් නැතිනම් රිදවීමක් හෝ කර අවශ්‍යතාවය ඉටුකර ගැනීමටපෙළඹෙනු ඇත.ඔබ රැකියාවක නිරත‍වේ නම් මේ තත්ත්වය වැඩි වෙයි.රාජකාරි මට්ටමින් මෙවැනිදේ කරගැනීමට පුද්ගලයින් උත්සාහ කරයි.ඔබ පරිස්සම් නොවුනොත් අමාරුවේ වැටේ.යමෙක් බහින් බස් වීමක දී පවා ලඟනොසිටින්න.ඒඅවස්ථාවෙන් හෝ ඔබෙන් පළිගන්නට ඉඩ ඇත.
    අධික රුධිර පීඩනය ,උෂ්ණාධික රෝග ,අර්ශස් වැනි රෝග මතුවිය හැක.සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතුය.යතුරු පැදි අනතුරු විය හැක.

    සිංහ
    ප්‍රසිද්ධ සතුරන් සමඟ මුහුණ දී සටන් කිරීමේ අභිප්‍රායයන් මතුවන්නේය.කිසිවිටක බියවී මුලු ගැන්වී සි‍ටින්නේ නැත.එඩිතර බවක් සටනට ප්‍රියතාවයක් ඇතිවේ.එයින් අනාගත දියුණුවට අවහිර විය හැකි බැවින් තීන්දු තීරණ නොගැනීමට වගබලා ගන්න.
    ඔබේ බලතල නිදහසේ පතුරුවාලීමට අවස්ථාව උදාවේ.කෙනෙකුට අසාධාරණයක් වුවත් ඔබේ ක්‍රියා කලාපය නතරකර දැමීමට කිසිසේත්ම සිතෙන්නේ නැත.මේ නිසා කිසියම් ශාපයකට ගොදුරුවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
    ශරීරයේ සෙම් ධාතුව කුපිත වී සෙම් රෝග ඇති වී ශාරීරික අපහසුතා මතුකරයි.උණුවතුර වාශ්ප දුම් අල්ලන්න.

    කන්‍යා
    උසස් අදහස් ඇති අය හමුවේ .ඉදිරි දියුණුවට මේ අයගෙන් උපදෙස් ලැබෙනු ඇත.අධ්‍යාපනය ලබන්නේ නම් සුදුසුම පරිසරයක් සැකසේ.සීරීම් ආදියෙන් අවධානමක් ඇති බැවින් දෛනික ජීවිතයේ දී පරිස්සම් වන්න.
    ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යයි නම් සේවකයන් අතර මුරණ්ඩුකාරයන් සිටිය හැක.ඔවුන් සමඟ බහින බස් නොවන්න.මුදල් අයකැමි මාරුකරන සිතිවිල්ලක් තිබේ නම් ක්‍රියාත්මක කිරීම සුදුසුය.
    සුරතල් සතුන් ඇතිකරනවානම් උන්ට නිදහසේ සිටීමට අවස්ථාව සලසා දෙන්න.විදේශිකයන්ට ඔබේ සේවය ලබා දීමෙන් අමතර ආදායමක් ලබාගත හැක.යාන වාහන හෝ වෙනත් දේපළක් තිබේ නම් ඊට අමතර පරිත්‍යාග ආදිය ලැබීමේ වාසනාවක් පවතී.

    තුලා
    මල්සර හීසර වලින් ඔබ නැහැවෙයි.විරුද්ධ ලිංගික ආකර්ෂණයෙන් ඔබ කුල්මත් වන්නේය.විවාහ වන වයසේ නම් මංගල යෝජනා වලින් ප්‍රයෝජන ගන්න.
    විශාල රැවටීමකට ලක් වී සිත්තැවුලක් ගෙන දෙනු ඇත.බලාපොරොත්තු වැඩියෙන් තබා නොගත්තොත් චිත්ත පීඩා අවම කරගත හැකි වෙයි.අනතුරු විය හැකි බැවින් අනාරක්ෂිත ගමන් බිමන්වලින් වැලකෙන්න.කඳු නැගීම දිය ඇළි තරණය,යාත්‍රාවල ගමන් ගැනීම අනතුරු දායකය.ඔට්ටු ඇල්ලීම ආදියෙන් ජය හිමිවනු ඇත.
    බලාපොරොත්තු නැති නීති ප්‍රශ්නයක් පැන නගී.සියලු කටයුතු විනිවිද භාවයෙන් කරන්න.සාත්තුසේවයේ නම් වෛද්‍ය උපදෙස් නොමැතිව එන්නත් බෙහෙත් ආදිය ලබාදීමෙන් වලකින්න.ඔබට යම් අසනීපයක් වැළඳී පවුලේ වෙනත් කෙනෙකුට ගෙනා බෙහෙ‍තක් බොන්න‍ට සිතුනත් එය කිරීමෙන් වලකින්න.

    වෘශ්චික
    අත්තිකාරම් මුදලක් නැතිව ඇනවුම් බාරගැනීමෙන් වලකින්න.ගනුදෙනු කරුවන් නිසා නීති ගැටලු ඇතිවිය හැක.ණය මුදලක් ගන්නේ නම් ඊට පෙර වියදම් කරන පිළිවෙළ පිළිබඳ ඇස්තමේන්තුවක් සකසා ගන්න.රහසක් හෙළිවිය හැක.පදිංචිය මාරුකිරීමට සිත් වේ.ගැටලු ඇති විය හැකි බැවින් විකුණා දමා ගියාටද වරදක් නැත.නව පදිංචි ප්‍රදේශ‍යේ දී පරණ මෝඩකම් නොකරන්නට වගබලා ගන්න.
    ජලයෙන් පරිස්සම් වන්න.හිතුවක්කාර නොවී ඉවසිලිවන්ත වන්න.නැතිනම් කීර්තිනාමයට හානි විය හැක.කරත්තයක් ,තිරික්කලයක්,රික්ෂෝවක්,ඩක්කුවක් වැනි පැරණි මෙවලමක් නිසා ඔබගේ දෛනික කටයුතුවලට බාධා ඇතිවන පසුබිමක් නිර්මාණය වේ.

    ධනු
    නෑ හිතවතුන් පිළිබඳ විශ්වාසය තබා කරන කටයුතු වලින් එතරම් ලාභයක් නැත.චිත්‍ර ශිල්පියකු හෝ අන්‍යයන් නිර්ධය ලෙස විවේචනය කරන මාධ්‍යවේදියකු නම් ආරක්ෂා වෙන්න.
    තමාගේ වික්‍රමය ප්‍රදර්ශනය කර ලාභ ප්‍රයෝජන ලැබිය හැක.තම දක්ෂතාවය මගින් අවධානය දිනාගත හැක.රජයේ රැකියාවක් කරන කෙනෙකු රාජ්‍ය නිලධාරීන්ගේ පැසසුම‍ට ලක්වේ.උදව් ලැබේ. බර අඩු යැයි කනස්සල්ලෙන් සිටියේ නම් බර වැඩිවනු ඇත.සෙම් පීඩාදී කරදර වලින් මිදේ.මේ නිසාම නිරවුල් මනසින් කටයුකු කිරීමට හැකිවේ.කිසියම් දේවතාවෙකුට පිහිටවන ලෙස ප්‍රාර්ථනාවක් කර ඇත්නම් දේවතා ආකර්ශනය ලැබෙන අවධියකි.සමහර දිනවල අළුයම ඔබ වටා නුහුරු සුගන්ධයක් පැතිර යනු ඇත.එය තහවුරුකර ගැනීමට සුචරිතවාදී ඇවතුම් පැවතුම් ඇතිකරගෙන අභිවෘද්ධිය සලසා ගන්න.

    මකර
    තදින් ආශාකරන දේ තදින් ආරක්ෂාකර ගන්න.තමාගේ නොසැලකිල්ල නිසා එය අස්ථාන කරගනී.එය ලැබෙන්නේද ඔබ දන්නා කියන කෙනෙකුටය.එය ඔබට නොදී සොරාගැනීමට සිතයි.
    සොරුන් පිළිබඳ සොයනවාට වඩා ආරක්ෂාකර ගැනීම සුදුසුය.පාදවල යම් අසාමාන්‍ය තත්ත්වයක් මතුව අපහසුතාවයට ලක්විය හැක.කලවා මෙන්ම බත් කෙන්ඩා ආදියේ නහර ගැට ගැසිය හැක.එසේ නොවීමට කල්තියා තෙල් බෙහෙත් කර ගන්න.
    ලෞකික සැප සම්පත් විඳීම සඳහා ඔබට බොහෝ වියදම් කරන්නට සිදුවනු ඇත.කාලාත්‍රයා කෙරෙහි සැකයක් ඇතිකර ගනී.ඔබ කිසියම් වශී ගුරුකමක් කිරීමට පෙළඹේ.ධනහානියකට මඟ පෑදෙනු ඇත.ඔබ දරා ඇත්තේ වැරදි අදහසකි.කාලාත්‍රයාගේ වරදක් නැත.

    කුම්භ‍
    සුබදායකය.සතුටු වියහැකි කාලයකි.හුදකලාවේ සිටින්නට සිතූ අදහස් වෙනස් වී කණඩායම් සමඟ ජීවත්වීමේ වැදගත්කම අවබෝධකර ගනී.
    අධික රුධිර ධාවනය නිසා රෝගී විය හැක.හෘද රෝග ඇතිකරයි යන්න බියක් ඇති වේ.නමුත් එවැනි අවධානමක් නැත.ඔබට චෝදනාවක් එල්ලවනු ඇත.එය නැවත සතුරා අතට කැරකීයයි .ඔබ කලබල ‍නොවන්න.උණ මතුවිය හැක. කල් තියා ප්‍රතිශක්තිකරණයක් ලබා ගන්න.සතුරු බලවේගයක් ඔබේ දියුණුවට ක්‍රියාත්මක වියහැකි බැවින් පදිංචිය ටික දිනකට වෙනස් කරනවා නම් හොඳයි.විශ්වාසය බිඳෙන අයුරින් මුදල් ගැටලුවක් මතු වෙයි.

    මීන
    ඔබේ සියලු පැතුම් මල්පල ගනී.නමුත් කරගෙන ආ කටයුතු වෙනස් කිරීමට මෙන්ම අඩපන වීමට හැක.ජීවිතයේ ඉහළම නැගී සිටීම සඳහා දැඩි උත්සාහයක් ගැනීමට සිදුවනු ඇත.
    යම් නරක නාමයකින් බේරීමට ගම රට අත් හැර යාමට සිදුවිය හැක.නිශ්ඵල විය පැහැදම් කරන අනර්ථකාරී ගමන් බිමන් යෙදේ.සැනසුමක් නැතිව කටයුතු කළත් පාඩු ගෙනදෙනවා ඇත.නිසි සැළසුමක් නැතිව විදෙස්ගත වීමෙන් විය පැහැදම් වෙයි.

    දරුවෙක් සම්බන්ධ ගැටළුවකින් පාඩු වේ.අලුත් වැඩියා කටයුත්තක් නිසා පාඩු වෙයි.නිරපරාදේ විශාල ධනස්කන්ධයක් වැය කරයි.යම් අපරාධයක් කිරීමට ඔබ පෙළඹෙන්නේය.රහසිතග වුවත් තවත් කෙනෙක් දැනුවත්ව එය කිරීම නිසා භයානක වෙයි.නීතියට හසුවන බැවින් අකටයුත්තක් නොකරන්න දැන් සිටම වගබලා ගන්න.

    අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී  සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ආවේග මැඩගෙන ඉවසීමෙන් සිටිය යුතු කාලයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top