දරුවාට වඩාත් ආදරය කරන නිතර දරුවා සමඟ ගැවසෙන දරුවාද ලැදියාවක් දක්වන වැඩිහිටියකු මේ ඉඳුල් කටගෑම කළ යුතුය
මෙලොව උපදින සෑම ළදරුවෙකුටම මුහුණ දීමට සිදුවන මංගල අවස්ථා කිහිපයකි.රන්කිරි කට ගෑම,ඉඳුල් කට ගෑම,කන් විදීම,හිස කෙස් කැපීම,අකුරු කියවීම,යන අවස්ථා මෙයින් ප්‍රධානය.මේ අවස්ථාවලට ළඟම ඥාතීන් ට ආරාධනා කරයි.
මේ අවස්ථා සියල්ල දරුවාට වැදගත් වන නමුත් ඉඳුල් කට ගෑම හෙවත් 'භත්ත පරිභෝග මංගල්‍යය' ප්‍රධාන වේ.එසේ වන්නේ උපදින සෑම ජන්මියෙකුම ගන්නා ආහාර මත සිය ජීවිතය රඳා පවතින බැවිනි.
ඉඳුල් කට ගෑම යනුවෙන් සිදු කරන්නේ ලුණු,මිරිස්,දෙහි ඇඹුල් හා කුළුබඩු මිශ්‍රකර පිසින ව්‍යංජන සමඟ බත් පිඩක් දරුවාට කැවීමයි.එය දරුවා ගන්නා මංගල ආහාර වේලයි. උපන් දා සිට මාස හයක් පසු වන තෙක් දරුවා දියර ආහාරයෙන් යැපේ.මාස හය පසුවන විට දරුවා දන ගාන වයසට පැමිණේ.එවිට දරුවා අතට හසුවන සියලු දේ කටේ දමා ගනී.මුලින් ම කටට දමා ගන්නා දේ අශුභ වුවහොත් එය දරුවාට සුබ නොවනු ඇති බවට මතයක් පවතී.මේ නිසා දරුවාට මාස හය පසු වන විටම සුබ වේලාවක් බලා උත්සව ශ්‍රීයෙන් ඉඳුල් කට ගායි.මෙදිනට බත් හා කිරිබත් දෙවර්ගයම පිළියෙල කරයි.
ළදරුවෙකුගේ ඉඳුල් කට ගෑමේ කාලසීමාව ස්ත්‍රී,පුරුෂ භාවය අනුව වෙනස් වෙයි.ගෑනු දරුවෙක් නම් මාස 7,9 හෝ 11 යන වයසේදීද පිරිමි දරුවෙක් නම් මාස 6,8,10,හෝ 12 යන වයසේදී ද ඉඳුල් කටගායි.
මේ සඳහා දරුවාගේ වේලපත්කඩයේ හැටියට සුබ දිනයක් වේලාවක් ජ්‍යොතිෂවේදියෙකු ලවා සාදවා ගත යුතුයි.ඉඳුල්කට ගෑමට සුබ නැකැත් 15ක්,නැකැත්27කින් යුත් නැකැත් පංතියේ සඳහන්ය. ඒවා නම් පුෂ,අනුර,උත්‍රපුටුප,පුනාවස,සා,සියාවස, මුවසිරස,සිත,දෙනට,හත.රෙහෙන,උත්‍රසල්,උත්‍රපල්,රේවතී හා අස්විද යනනැකැත්ය.
ඉඳුල්කට ගෑමට සුබ නැකැත් 15ක් ජ්‍යොතිෂයේ නිර්දේශකර තිබුණද ඒවා අතරින් දරුවාගේ උපන් නැකැතට එනම් ජන්ම නැකතට ගැලපෙන සුබ නැකැතක් විය යුතුය.අනිවාර්යයෙන්ම එම නැකැත දරුවාගේ ජන්ම නැකැතට සම්පත්, මෛත්‍රී,පරම මෛත්‍රී හෝ සාධක නැකැතක් විය යුතුය.ඉඳුල්කට ගෑම සඳහා ගන්නා නැකැත එම දරුවාගේ උපන් නැකැතට සුබ නැකැතක් වුවද එම නැකැත අයත් දිනය පුර පසළොස්වක හෝ අමාවක දිනයක් නොවිය යුතුය. එමෙන්ම දරුවා උපන් ලග්නයෙන් අට වන රාශියද අත්හැර,දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්යෙන් පසුවන දිනයක් තෝරා ගත යුතුය.
මීට අමතරව නැකැත ගන්නා දිනයේ තත්කාල කේන්ද්‍රය සාදා ගත යුතුය. තත්කාල කේන්ද්‍රයේ වෘෂභ ,සිංහ,කුම්භ යන ලග්න උදාවීම ඉඳුල්කට ගෑම සඳහා ඉතා සුබ වේ.යම් හෙයකින් මේෂ,වෘෂ්චික හෝ මීන යන ලග්නවලින් එකක් උදා වුවහොත් එම නැකැත් නොදිය යුතුය. නැකැත් බලවත් වීමට එදින තිථියද ඉතා වැදගත් වේ. එනිසා පුර පක්ෂයේ තිථි පමණක් මේ සඳහා භාවිතා කරයි.
පුර පක්ෂයේ තිථි 15 අතරින් පෑලවිය,දියවක,තියවක,විසේනිය,සතවක, දසවක,එකොළොස්වක හෝ තෙලෙස්වක තිථි සුබය.එදින තත්කාල කේන්ද්‍රයේ පැවැතීමද නැකතේ බලය වැඩිවන පිහිටීමකි.
ජ්‍යොතිෂයට අනුව සුබ නැකැත්,දිනයන් හා වේලාවන් තෝරාගත් පසු එම නැකැත් දිනට පෙර දින දරුවාද සමඟ මව හා පියා පන්සලට ගොස් මල්,පහන්,සුවඳ දුම් ආදිය දරුවාට ද අත ගස්වා සර්වඥ ධාතූන් නිදන්කර සෑදූ වෙහෙරකට පූජාකර බෝධින් වහනසේටද පැන් කළ හතක් පුජාකර මව පියා යන දෙදෙනාම සෙත්පතා දරුවාගේ හිස පිරිමැදිය යුතුයි.
ජ්‍යොතිෂවේදියා සාදා දුන් නැකත උදාවීමට පෙර ගෙබිම අතුගා කහ දියර ඉස පිරිසිදුකර අදාල සුබ දිශාවේ පැදුරක් එලා ඒ මත සුදු රෙද්දක් අතුරා ගන්න.ඇල් හාලේ කිරිබත්,කිරි හොදි,කැවුම්,කෙසෙල් ආදී ආහාර ද්‍රව්‍ය කෙසෙල් කොළ මත තබා,සුදු ඇතිරිල්ල උඩ තබන්න.පැදුරේ දෙපස පුන්කළස් දෙකක් තබා ඒ මත පොල්තෙල් පහන් දෙකක් දල්වන්න. ආහාර වර්ගවලට අමතරව පැදුර මත මුහුණ බලන කණ්ණාඩියක්,මුදල් නෝට්ටු හා කාසි කිහිපයක්,පොත්,පැන්සල් සෙල්ලම් බඩු ආදිය ද තබයි.
දරුවා පිරිසිදු කර අලුත් ඇඳුමක් අන්දවා ජ්‍යොතිෂවේදියා විසින් ලබා දුන් සුබ දිසාවට හරවා වාඩිකර සුබ මුහුර්ථය එළඹෙත්ම බත්කටක් කිරි හොදි සමඟ මිශ්‍රකර හෝ කිරිබත් කටක් කැවීම සිදු කරයි.
ඊට පසු පැදුර මත තිබෙන ද්‍රව්‍යවලින් දරුවා කැමති දෙයක් ගැනීමට ඉඩ හරියි.දරුවා මුල් වරට ගන්නා දේ අනුව දරුවාගේ අනාගතය කෙබඳු වේදැයි දළ වශයෙන් දෙමව්පියන්ට වැටහේ.
උදාහරණ ලෙස දරුවා පොතක් හෝ පැන්සලක් අතට ගත්තේ නම් එම දරුවා අනාගතයේ දී අධ්‍යාපනයෙන් බොහෝ ඵල නෙලාගන්නා බව පිළිගැනීමයි.
ඉඳුල්කට ගෑමේ චාරිත්‍රය සිදු කිරීමේ දී නූතන සමාජයේ ප්‍රභූ නිවෙස්වල තවත් ක්‍රමයක් භාවිත කරයි.එනම් නැකතට අදාල දිශාවේ පැදුරක් එලීම වෙනුවට මේසයක් තබා ඒ මත සුදු රෙද්දක් එලා පහනක් පත්තුකර කැවිලි තබා සුබ වේලාවට සුබ දිශාවට හරවා දරුවා පුටුවක තබා කවයි. මේ ක්‍රමය දෝෂ නැතත් සාම්ප්‍රදායික නැත.
නමුත් ඉදිරි පරම්පරාවට පැරණි සාම්ප්‍රදායික ක්‍රමය ඉදිරියට රැගෙන යාම වඩා වැදගත් බව මගේ හැඟීමයි.
දරුවාට වඩාත් ආදරය කරන නිතර දරුවා සමඟ ගැවසෙන දරුවාද ලැදියාවක් දක්වන වැඩිහිටියකු මේ ඉඳුල් කටගෑම කළ යුතුවෙයි.
පුතෙකුට නම් මව හෝ සහෝදරියක විසින් ද දියණියකට නම් පියා හෝ සහෝදරයකු අතින් ඉඳුල්කට ගෑම සුදුසු බව පැරණි ජ්‍යොතිෂ මතයයි.
කෙසේ වුවද ඉඳුල් කට ගෑම, අකුරු කියවීම දරුවාද හදවතින්ම ආදරය කරන අයකු අතින් සිදුවිය යුතු වන්නේය. හදවතින්ම ආශිර්වාද කරන අයෙක් අතින් සිදුවීමෙන් දරුවාට නිදුක් නිරෝගි සුවය මෙන්ම වාසනාවද ගෙන එනු ඇත.
ජ්‍යොතිෂවේදිනී
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
0 comments:
Post a Comment