තෘෂ්ණාව-ලෝභය-මේ මනුස්ස ලෝකයේ ස්වභාවයයි.ඒ මනුෂ්‍ය ලෝකයද කාමාවචර ලෝකයක් බැවිනි.මේ ලෝකයට බිහි වූ බිලිඳාගේ පටන් සියලු මනුෂ්‍යයාම දුකට අකමැතිය.සැපයට කැමතිය.උණුසුම සොයයි.කුසගිනි සෑදුණුකල හඬයි.
මෙසේ ආරම්භ වන මිනිස් ජීවිතය නිතරම උත්සාහ කරන්නේ පංචේන්ද්‍රියයන් පිනවීමටය.ඊලඟට සිත පිනවයි.'තණ්හා පච්චයා උපාදානං'තණ්හාව හේතුකොට ගෙන උපාදානය හෙවත් දැඩිව අල්ලා ගැනීම සිදුවේ.
උපාදාන පච්චයා භවෝ. උපාදානය හේතු කොට ගෙන භවය හට ගනී.සසර ගමනෙහි යෙදේ.කෙනෙක් තවත් කෙනෙකුට හෝ දේපළකට ආශාකරයි. එතැනින් නොනැවතී එය තමන් සතුකැර ගැනීමට කටයුතු කරාවි. මෙසේ උපාදාන කොට ගෙන සිටියදී මරණයට පත් වුවහොත් ඊළඟ උපත සිදුවන්නේ ද තමන් උපාදනය කොට ගෙන සිටි පුද්ගලයා හෝ වස්තු දේපළ ඇසුරු කොට ගෙන දුගතිගාමීව ය. එසේ සිදුවන්නේ ලෝභය හා මෝහය යන අකුසල මූලයන් හේතුවීම නිසාය.තරහක් අමනාපයක් වෛරයක් උපාදාන වී නම් ද්වේශය හා මෝහය මූලික වී පළිගැනීමේ විනාශ කිරීමේ අදහසින් එහිම උපදී.අවිජ්ජා පච්චයා සංඛාරා' ඉහත සඳහන් කාරණා නොදන්නාකම මෝහයයි.අවිද්‍යාවයි. නොදැනීමයි.අවිද්‍යාව හේතුකොට ගෙන සංස්කාර (පින්-පව්)රැස් කරයි.මැරි මැරී උපදී.
පොලොන්නරු දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික පවුලක සාමාජිකාවකි ශ්‍රියානි. ඇය හැට හැවිරිදිය. ඇගේ නිවසේ පවතින මහා දුරුගන්ධය, හීනෙන් බිය වී කෑ ගසා ඇවිදීම , ශරීර වේදනා ආදී දුක් ගැහැටවලින් මිදෙන්නට ශ්‍රියානි තොවිල් පවිල් කළාය. ඒවායෙන් දෙසතියකට,මාසයකට වඩා සහනයක් නොවීය.පෙර පැවති තත්ත්වයටත් වඩා දරුණු තත්ත්වයකට පත් වූවාය. ශාරීරික වේදනාවට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් සනීපයන් වුයේම නැත.
'සෙත්මිණ' පුවත්පතේ 'නොපෙනෙ ලෝකය විශේෂාංගය කියවන ඥාතියකුගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රියානි ඥාති දියණියක් හා ඥාති පුතෙකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියාය. අධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩ විතාණ මහතා මුණ ගැසී සිය දුක් ගැනවිල්ල දිග හැරියාය.
ගවේෂකවරයා ශ්‍රියානි වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඇය ගැහෙන්නටත්, පැද්දෙන්නටත් වූවාය.ඉන් එහා දෙයක් එදින සිදු නොවූයෙන් ගමේ පන්සලට ගොස් බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි ශ්‍රියානිට උපදෙස් දුන්නේය .නිවසේ උදේ සවස භාවිතා කරන්නට පිරිත් සූත්‍ර කීපයක් ද නියම කෙරිණි.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේය. ඇය දිෂ්ටි ගැන් වී හඬන්නට ඉඩ දුන් ගවේෂකවරයා ඇයට ආවිශ්ටව සිටි භූතාත්මට සමඟ කතා කෙළේය.
'කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ'යි ගවේෂකවරයා ඇසීය.
මේ සුමනදාස
කවුද සුමනදාස කියන්නේ
මෙයාගෙ මහත්තයා ශ්‍රියානි මගෙ නෝනා.මම ශ්‍රියානිට ආදරෙයි.
බොරු කියන්න එපා. ආදරේ නම් නෝනාව බය කරනවද? ලෙඩ දුක් දෙනවාද?
අනේ මහත්තයා, මම නෝනට කරදර කරන්නේ නෑ
නමුත් දැන් ඔය ඉන්නෙ සුමනදාස නෙවෙයි. සුමනදාස මැරිලා දැන් ඉන්නෙ වෙන කෙනෙක්.කරුණාකර ඉවත්වෙලා යන්න.
'එහෙම යන්න බෑ මහත්තයා මට කඩයක් තියනවා.හෝටලයක් තියනවා.වී මෝල් දෙකක් තියනවා.ලොරියක් තියෙනවා.මම කොහොමද මේවා දාලා යන්නෙ. මම බොහොම අවංකව ව්‍යාපාර කළේ. අර පරෙස්සමෙන් නාස්ති නොකර රුපියලෙන් රුපියල එකතුකරලා ඔය තත්ත්වය ගොඩනගාගත්තේ. මම මෙගේ නෝනාට වගේම කඩේටයි ලොරියටයි වී මෝලටයි ආදරෙයි .මේ මොනවත් දාලා යන්න මට බැහැ.
'දැන් තමුන් ඔය වෙෙළඳ ව්‍යාපාරවලටත් යනවාද?
ඔව් රෑට යනවා. සමහරදාට මම හෝටලයට ගියාම ගෝලයෙක් මාව දැකලා කෑගහනවා.ගඳයි ගඳයි පෙරේත ගඳයි කියා කෑගහනවා.
තමුන් දේපළවලට බැඳුණු තණ්හාවෙන් මැරුණු නිසා දැන් ප්‍රේතයෙක් වෙලා. ඒක තමයි මම කිව්වේ දැන් සුමනදාස නොවෙයි කියලා.
ඉතින් මහත්තයා මම හොඳට දියුණු වුණානෙ.
ඔව් සමහරු උත්සාහයෙන් දියුණු වෙනවා. පෙර වාසනාවයි උත්සාහයයි දෙකම එකතු වුණාම හොඳට දියුණු වෙනවා.සමහරුන්ට උත්සාහයෙන් මහන්සියෙන් විතරක් දියුණුවෙන්න බෑ. නාට්ටාමිලා කොතරම් මහන්සි වෙනවද?
කෝ ඒ අය දියුණු වෙනවාද? හැමදාම උදේ පටන් රෑ වෙනකම් බඩු උස්සමින් දුක් විඳිනවා. ඒ අය පෙර අකුසල් ගෙවනවා. පෙර කුසල කර්ම විපාක ගෙවන සමහරු සැප සම්පත් විඳිනවා මිසක් මතු භවයක් ඇතැයි හිතන්නෙ නෑ. එහෙම හිතන්න මෝහය අවිද්‍යාව ඉඩ දෙන්නෙ නෑ.අකුසල විපාක ගෙවන අයටත් මේ තමන් විඳින්නේ පෙර කළ අකුසල විපාක බව හිතන්නේ නෑ.පිනට දහමට යොමු වෙන්න හිත දෙන්නේ නෑ.දෙගොල්ලොම මරණයෙන් මතු දුගතිගාමී වෙනවා.
කන්දක් නැග්ගම පල්ලමක් තියෙනවා.පල්ලමක් බැස්සාම කන්දක් තියෙනවා. දැන් ඔබේ වාසනාව ඉවරයි.ඒක වැඩි දියුණු කළේ නෑ. දැන් දුක් විඳින්න සිද්ධ වෙලා. දැන් ඔබ ළඟට එන කොට නෝනාත් ගඳයි ගඳයි කියනවා.
තව ටික දවසක් යන කොට ඔබට හෝටලේ වැසිකිළි වළේ තමයි ඉන්න වෙන්නේ.සේවකයන්ගේ අසූචි කකා ඉන්න වේවි.
අනේ බෑ....බෑ....ඒක නම් කරන්න බෑ.අනේ මහත්තයා මම දැන් මොනවද කරන්න ඕනෑ මේකෙන් මිදෙන්න.
දැන් ඔබේ මනස දුර්වලයි. ඔබ මිනිස් භවයේ ඉන්දැද්දි සැප වින්දද? ඒත් නෑ තණ්හාවෙන් සම්පත් ගොඩනැගිලි ව්‍යාපාර දියුණු කළා. ඔබ එදා හිතුවේ ඒක තමයි සැපය කියලා. වාසනාව, පෙර පින ඉවර වුණදාට හරියට ගුවන් යානයක් වගෙයි. පෙට්‍රල් ඉවර වුණා ඉහළට යන්න බෑ. කඩා වැටෙනවා. දැන් ඔබට වෙලා තියෙන්නෙත් ඒකයි. වැසිකිළි වළට වැටුනම තේරේවි.
මහත්තයා මම මොනවාද කරන්න ඕනෑ.
දැන් කල්පනා කරන්න. ව්‍යාපාර ගැන හිතලා වැඩක් නෑ. ඒක දැන් ඔබේ නොවෙයි. ඔබට අයිති නෑ. ඒවා ගැන හිතලා වැඩක් නෑ. හිතෙන් අතහරින්න. ඊට පස්සෙ හිතට සතුට දෙන සිද්ධස්ථානයකට යන්න.පළමුවෙන් ගමේ පන්සලට යන්න. මම දැන් නෝනාට තවත් බෝධි පූජා 14ක් නියම කරනවා.එයා මල් පහන් පූජා කරන කොට ඔබත් ඒවාට අත හිත යොදා පූජාකරන්න.එයා පිරිත් කියන කොට ඔබත් බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන අහගෙන ඉන්න. එතකොට දැනෙන ශාන්ත සුවයට සිත බඳින්න. මම නෝනාට නියම කරනවා සාංඝික දානයක් පිරිනමා ඔබට පින් දෙන්න කියලා. ඒ පින් අනුමෝදන් වෙලා හුඟක් පුද පූජා කරන සිද්ධස්ථානයකට යන්න.
'මහත්තයා මම අනුරාධපුරයට යන්න කැමතියි.
සාංඝික දාන්යක් පිරිනමා මිය ගිය සැමියාට පින් අනුමෝදන් කොට පළතුරු වට්ටියක් ද රැගෙන නැවත එන්නැයි ගවේෂකවරයා ශ්‍රියානිට නියම කෙළේය.
සාංඝික දානයක් පිරිනමා ශ්‍රියානි නැවතත් පැමිණියාය.එදින ද ඇය ප්‍රලය වී කතා කරන්නට වූවාය.
'මහත්තයා මගේ නෝනා සාංඝික දානය බොහෝම හොඳට දුන්නා. එදා නායක හාමුදුරුවො මගේ ගුණ කියන කොට මට හරි සතුටක් දැනුණා. අට පිරිකර පූජා කරන කොට මගේ කිළිටි ඇඳුම් අතුරුදන් වෙලා ඇඟට අලුත් ඇඳුම් ලැබුණා. මට දැන් අනුරාධපුරයට යන්න ඕනෑ මහත්තයා'යි ප්‍රේතයා කීවේය.
භූතාත්මය පළතුරු වට්ටියට සම්බන්ධ කොට පැමිණ සිටි පිරිස සමඟ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.
මතුගම මහින්ද විජේතිලක
0 comments:
Post a Comment