දෙදහස් පහලොවේ පෙබරවාරි මස පළවෙනිදා රාත්‍රී එකොළහයි හතට පමණ කුම්භ රාශි මණ්ඩලයේ දී පැවැති යුද්ධයෙන් ශුක්‍ර ග්‍රහයා පරාජයට පත්කර දැමීමට නැප්චූන් ග්‍රහයා සමත් වූයේය.මේ මොහොතේදී එකී කුම්භ රාශියේ අඟහරු ග්‍රහයාද සැරි සැරීම මත පාපී ග්‍රහ යුවළකගේ මර්දනයට වනිතා නිවේදක සිකුරු ලක්විය.
මේ මොහොතේදී නැඟෙනහිර ක්ෂිතිජයේ තුලා ලග්නය උදාවී තිබිණි.එවිට ලග්නාධිපතියාද වන්නේ සිකුරු ග්‍රහයායි. මේ අනුව සැප, සතුට,ප්‍රීතිය,සුඛෝපභෝගීත්වය වෙනුවෙන් විවිධ අභියෝග මනුෂ්‍යයාට එල්ලවනු ඇත.
තවදුරටත් සළකා බැලීමේදී තත්කාල ලග්නයේ පස්වැන්න යුද්ධ භූමිය බවට පත්වීම මත ප්‍රාථමික අධ්‍යාපනයද හෙල්ලුම් කන තත්ත්වයක් පවතී.ළමා පූජකවරියන්ටත් ප්‍රබල අභියෝග එල්ලවිය හැකි බැවින් අවදානම්කාරී තත්ත්වයන් කෙරෙහි අවධානයෙන් සිට සිදුවිය හැකි පීඩාවන් අවම කරගත යුතුයි.
ඒ වගේම සිනමා නළු නිළියන්ට ,ගායක ,ගායිකාවන්ට නර්ථන,ශිල්පීන්ට අභූත චෝදනා එල්ලවීම් ද ,නීති කරදර කීර්තිනාමයට හානි ,ශාරීරක පීඩා ඇතිවීමේ ග්‍රහ පීඩා පවතී. ගමන් බිමන් හා සමාජ ක්‍රියාකාරකම් වලදී කල්පනාකාරී විය යුතුය.ග්‍රහ යුද්ධ තත්කාලය ලග්න කුණ්ඩලියේ යුද්ධ භූමිය පස්වැන්න වී නැප්චූන් යුද ජය ලැබීම නිසා මහා පරිමාණ අන්දමේ සූදු තිප්පලක් පිළිබඳ ප්‍රචාරය වීමටත් එය නීතියේ දැලට කොටු වීමටත් පසුබිම සැලසේ.අතීතයේ නෙයිනගෙ සූදුව නමින් ප්‍රචලිත වූ සූදු තිප්පලක් නීතියේ රැහැනට හසුකර දුන් කාලවකවානුවේදී පැවැති ග්‍රහචාරයක් මෙවර ක්‍රියාකරන බැවින් ප්‍රබල සූදු තිප්පලක් ශුද්ධ කෙරෙයි.
නීති විරෝධී සූදු මධ්‍යස්ථාන සම්බන්ධ ක්‍රියාත්මක වන කාම අපරාධ රැල්ලක් ද නීතියේ උකුසු ඇසට ලක්වනු ඇත.
ශුක්‍ර - නැප්චූන් යුද භූමියෙන් දෙවැන්නේහෙවත් ලග්න කුණ්ඩලියේ හය වැන්නේ යුරේනස් තැන්පත්වීම නිසා මනුෂ්‍යයින්ගේ අත් පා බිඳීයාම් අවදනමක් පවති.වාහන,යන්ත්‍ර සූත්‍ර ආදිය භාවිතයේ දී පරිස්සම් වන්න.
ගැලවී ගිය අත් පා සවි කිරීමේ විශේෂඥභාවය ලැබූ කණ්ඩායම් ජනතාව දැනුවත් කරන්නේ නම් මාධ්‍යයද මේ යුතුකමට දායක වන්නේ නම් යම් තරමකට මේ තත්ත්වය අවම කර ගැනීමේ හැකියාව පවතී.
යුරේනස් තැන්පත් වූ හය වැන්න මීනයයි.එය බල රාශියකි.නාවික කටයුතු කෙරෙහි මෙයින් බලපෑම් වේ. මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියා වැඩිවිය හැකි කාලයකි.
මුහුදේ පමණක් නොව ගුවනේ ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමුකළ යුතු වන්නේය.යානා කොල්ලකරුවන් ද හිස ඔසවන කාලයකි.
ශුක්‍ර නැප්චූන් යුද භූමිය තත්කාල ලග්න කුණ්ඩලියේ දෙවැන්නේ තැන්පත් සෙනසුරුගෙන් චතුරශ්‍ර ස්ථානයේ පිහිටා ඇත.එකී සෙනසුරු සතුරු රාශියේ වීම සුබ නොවේ.ජාතිවාදී මෙන්ම අන්තවාදී කොටස්වල නැගිටීමක් පිළිබඳ වාර්තා වෙයි.හිංසාකාරී බලවේග නිසා සාමකාමී ජනතාවගේ දෛනික කටයුතු අවුල්වීවෙයි.ජනතාව අවදියෙන් සිටිමින් ජනතා පවුරක් සාදාගත යුතුය.
සෞම්‍ය සිකුරු සිකුරු පරාජය වී පාපී නැප්චූන් ජයගැනීම නිසා ජන්මීන්ට විවිධාකාර ප්‍රථිපල අත්විඳීමට සිදුවනු ඇත.යහපත් වර්ධනය කර අයහපත මඟහැර ගැනීමට ඔබේ ලග්නය අනුව ලබාදෙන මේ උපදෙස් කෙරේ අවධානය යොමුකරන්න.
මේෂ - කාන්තාවකගේ උගුලට හසුවේ
ඔබේ ලග්නාධිපතියාත් දෙවැන්නාධිපතියාත් එකොළොස්වැන්නේ සැරිසරන මොහොතකදී දෙවැන්නාධිපතියා නැප්චූන් සමඟ යුද්ධයකට පැටලුනේය.එකී දෙවැන්නාධිපති සිකුරු හතේ අධිපතියාද වෙයි.ඔබට විවාහයට කෙනෙකු ඉදිරිපත් වේ.නමුත් ඒ අය පිළිබඳ වැඩිහිටියන් මිතුරන් ලවා හොඳින් සොයා නොබැලුවොත් ඔබටපසුතැවිල්ලක් විය හැකි සිදුවීමක් උද්ගතවිය හැක. ඔබ කුමන ලිංගිකයෙකු වුවත් කාන්තාවකගේ උගුලට සිත ඇදී යනු ඇත.අන් අයගෙන් ජ්‍යොතිෂ උපදෙස් ලබා ගැනීමට නොව තමා ජ්‍යොතිෂ ඥානය පහළකර ගැනීමට උනන්දු වෙයි.ඔබට මුණ ගැසෙන අයකුගෙන් දියර වර්ගයක් හා සම්බන්ධ විශේෂ ලාභ ප්‍රයෝජන මෙන්ම අභිවෘද්ධියක් ලැබෙනු ඇත.ගෝචර ගුරු හංස යෝගයෙන් ලාභ ලැබිය හැක.නමුත් රැවටීලිවලින් මිදෙන්න වගබලා ගන්න.
වෘෂභ - පාප මිත්‍ර සේවනය අවදානම්
ශුක්‍ර නැප්චූන් ග්‍රහ යුද්ධය ඔබට පුදුමාකාර වෙනසක් ගෙන දෙනු ඇත.මවුපියන් තැබූ නම වෙනුවට වෙනත් නමක් පට බැඳෙනු ඇත.එය ඔබේ අභිවෘද්ධියට හේතු වේ.ඔබ කෙබඳු උසස් මට්ටමක සේවයක යෙදී සිටියත් කාර්ය භාරයක් නොමැති තත්ත්වයකට ඇද දමනු ඇත. නමුත් නීත්‍යානුකූලත්ව හිමිකමක් ලබා ගැනීමට ඔබ උපක්‍රමශීලී නොවුනොත් අනාගතයේදී යටිකූට්ටු ව්‍යාපාරයක් ඔබ පහත හෙළීමට ක්‍රියාත්මක වනු ඇත.
සේවයේ යම් ප්‍රාගුණ්‍ය බවක් ලබා තිබුණත් එය අත්හැර වෙනත් දෙයක් කිරීමට සිදුවනු ඇත. ගෑස් ,ඉන්ධන ,වෙඩි බෙහෙත් හලක් පවත්වාගෙන යයි නම් ආදායම් සරු වෙයි. ණයද යම් ප්‍රමාණයක් ගෙවා ගැනීමට ඔබට හැකි වනු ඇත. සිත් වේදනාවක් ගෙන දෙන යම්කිසි සිදුවීමකට ඉඩ ඇති බැවින් පාප මිත්‍ර සේවනයෙන් මිදීමට වගබලා ගන්න.
මිථුන - නම රැක ගන්න
ඔබේ ලග්නාධිපතියාත් තුන්වැන්නාධිපතියාත් අටවැන්නේ ගෝචර වෙයි.යෝගකාරක සිකුරු පුණ්‍යස්ථානයේදී පාපී නැප්චූන් පරාජය වීම කෙරෙහි ඔබ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුය.ඔබ ලඟ සිටින ඔබව වර්ණනා කරන කෙනෙක් කනපිට ගැසේ.මෙයින් ඔබගේ දියුණුවට අකුල් හෙළිමක් සිදුවනු ඇත.
ලඟම හිතවතකුගෙන් දොෂාරෝපණයක් එල්ල විය හැක.කාටත් හොරා ගමන් බිමන් යන්නට සිතෙයි.එයින් ප්‍රයෝජන ලැබිය හැක.ඔබ චර පුරුෂ සේවාවක නිරත වන්නේ නම් මහා පරිමාණ දූෂණ වංචා ආදියක හෝඩුවාවක් ලබාගත හැක.මාධ්‍යවේදීන් පවා පුදුමවිය හැක.නීති කරදරයකට හෝ කීර්තිනාමය ට හානි වන සිදුවිමක් නිසා චිත්ත පීඩාවකට ලක්විය හැක.
කටක - අනඟ රැගුම් එපා
ඔබට අමාත්‍ය යෝගය මවමින් සිවු වැන්නාධිපතියා සහ පස්වැන්නාධිපතියා අට වැන්නේ තැන්පත්ව සිටී.ශාස්ත්‍රීය මෙන්ම ලිපි ලේඛන කටයුතුවලින් විශේෂ ප්‍රතිලාභ ලැබෙනු ඇත.අත්හදා බැලීම් කිරීමට යාම නිසා විශේෂයෙන් බෙහෙත් පිළිබඳ එසේ කිරීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වනු ඇත.විරුද්ධ ලිංගිකයන්ගෙන් අයථා සම්බන්ධතා වලට ආරාධනා ලැබේ.රේස් සූදුවකින් ජයක් ලැබුවද නීති විරෝධී සූදු පිටියකදී නීතියේ රැහැනට හසුවිය හැකි බැවින් එවැනි ස්ථාන වල ගැවසෙන්න එපා. උෂ්ණ රෝගයක් සෑදිය හැකි බැවින් මස් ආහාරයෙන් වලකින්න.ලේ හිඟයක් හෝ ලේ විෂවීමකට ඉඩ ඇත.
සිංහ - ඕපා දූප භයානකයි
ධර්මකර්මාධිපති යෝගය ක්‍රියාත්මක වෙද්දී ඔබේ ලග්නයේ කාලාත්‍ර ස්ථානයේදී ලග්න කුණ්ඩලියේ කර්මස්ථානාධිපතියා යුද පරාජය ලැබුවේය.කාම සම්පත්ති ස්ථානය ජය ගත්තේය.ආදර සම්බන්ධතා දෙකක් වුවද පවත්වාගන යා හැක.ඒ තරමටම විරුද්ධ ලිංගිකයන් ඔබට ආකර්ශනය වේ.
විරුද්ධ ලිංගිකයන්ට රහසිගත මංගල යෝජනා වුවද ඉදිරිපත් කිරීමට සිතේ.
ලැබෙන අවස්ථාව සීමා රහිතව ප්‍රයෝජනයට ගතහොත් විනාශයක් වෙයි.පෙබරවාරි 01 දා අමතක නොකරන්න.හෘද සාක්කියට එකඟ දේ පමණක් කරන්න.ගුප්ත දේට යොමුවෙයි. චාටුකතා වලට රැවටිය හැක.
චාටුකතා වලින් අන්අය මුලාකර ගැනීමටද ඔබ යොමුවනු ඇත.නොසිතූ නොපැතූ ලෙස ජීවිතයට පරාජයක් අත්කර ගන්නවාද ඇත.
කේලාම් ඕපදූප කටයුත්තක නිරතව අනර්ථයක් සිදුකර ගනී.අන්අය ගැන නොව තමා පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට වගබලා ගන්න.
කන්‍යා - ඇස් රතුවෙන විහිළු
ධනස්ථානාධිපතියා හය වැන්නේ යුද වදින විට අට වැන්නාධිපතියා එහි ලැගුම් ගෙන සිටී.
කාර්යාල ලිපිකරුවකු නම් ඇගයීමක් ලැබේ.නමුත් විශ්‍රාම යන වයසේ නම් දීර්ඝකර ගැනීමට දුෂ්කර වනු ඇත.ව්‍යාපාරික කටයුතුවලින් ලාභ ලබයි. කය වෙහෙසා වතුපිටිවල වැඩකිරීමට ද සිදුවනු ඇත.දුෂ්කරතා මඟ හැරෙනු ඇත.
නිවාස හිමියකු නොවේ නම් එවැනි හිමිකමක් ලැබෙනු ඇත.උසස් අය සමඟ මිත්‍රකම් පවත්වන්නටද අවස්ථාව සැලසෙනු ඇත.
කාලාත්‍රයා සමඟ හෝ හිතවතුන් සමඟ පමණ ඉක්මවා කරන විහිළු තහළු දියුණුවට බාධා කරයි.යම් සිදුවීමකට ඉඩ ඇති හෙයින් කල්පනාකාරී වන්න.රැයේ ගමන් බිමන් සීමා කළයුතු කාලයකි.
තුලා - හැඟීම් බර වේ
ලග්නාධිපතියා ලග්න කුණඩළියේ පස් වැන්නේ පරාජයට පත්වේ.නව අදහස් හිතට නැගෙනු ඇත.සිතෙන සිතෙන දේ අත්හදා බැලීමටද සිතේ.කැළඹිලි සහිත තත්ත්වයක් ඇතිවේ.මනෝ වෛද්‍ය වැනි විෂයක් ඉගෙනීමට අත්හදා බැලීමට අවස්ථාව සැලසෙනු ඇත.
කාමුක ස්වභාවයකට පත්විය හැක.අවිවාහක නම් කුමරි බඹසර පිළිබඳ මෙනෙහි කිරීම වැදගත් වේ.විවාහක අය වුවද අනියම් සබඳතා පැවැත්වීම පිළිකුල් කළ යුතුය.ඔබ මැදිවයේ නම් බාල වයස්කාර අය සමඟ හුදකලා ස්ථානවලදී හැඟීම් බර නොවන්න වගබලා ගන්න.හිතුමතේ විවාහයක්කර ගැනීමට සිතයි.
වෘශ්චික - තමා ගැනම හිතන්න
ඔබේ ලග්න කුණ්ඩළියේ චිත්ත ස්ථානය පාදක කර ගෙන නැප්චූන් ශුක්‍ර යුද්ධය පැවතියේය.පූජකවරයෙක් නම් තම සිද්ධස්ථානය දියුණුකර ගැනීමට තිබූ බාධා ඉවත් වේ.ධානපතීන්ගේ උදව් උපකාර ලැබේ.
ගිහියෙක් නම් ආගමානුකූලව ජීවත් වෙයි.යම් යම් අයගෙන් උපකාර ලබයි.විවිධ ඊර්ෂ්‍යාකාරයින් ඇතිවිය හැක.ඔබ හුදකලා විය හැක.ඔබේ කටයුතු පිළිබඳ සමහරු වැරදි මත ඉදිරිපත් කරනු ඇත.පරාර්ථකාමීව අනුන්ට සේවයක් කරන්නට ගොස් ඔබ අමාරුවෙ වැටෙනවා ඇත.ආත්මාර්ථකාමී වී ඔබේ කටයුතු බලාගන්න.
ධනු - බලය සවිය වේ
ධර්මකර්මාධිපති යෝගය දෙවැන්නේ ක්‍රියාත්මක වෙද්දී වික්‍රමස්ථානයේ නැප්චූන් විජයග්‍රහණය ලබයි.එහිම කුජ ද තැන්පත්ව සිටීම දෛවෝපගත සිදුවීමකි.විශේෂයෙන් ඔබ උගත් දෑ අන්‍යයන්ට උගන්වන්න කැමතිය.කිසිදු හේතුවක් නිසාවත් යටත් නොවීමට තරම් එඩිතර හිතක් පහළවෙයි.ජනමාධ්‍යවේදියෙකු නම් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹේ.
වනාන්තරයක් පිහිටි සිද්ධස්ථානයක දිනක් දෙකක් හෝ ගත කිරීමට අවස්ථාවක් සැළසේ.
යම්කිසි භාවනාවක සම වැදීමට අවස්ථාව සැළසේ.ජල යාත්‍රාවක ගමන් බිමන් යාමටද අවස්ථාව සැලසෙනු ඇත.පරිස්සමෙන් එවන් ගමන් යන්න.ගමන් බිමන් අධිකවන කාලයකි.තමාගේම වාහන පාවිච්චිය ඉහළ යන ස්වභාවයක් ඇත.යම් ආකාරයක ප්‍රයෝගකාරී කටයුත්තක නියැලෙන්නටද සිතේ.එසේ කිරීමට ගියහොත් ඔබ මහත් ගැටළුවකට මුහුණ දෙනු ඇත.තම බලතල ප්‍රදර්ශනය කළ හැකි කාලයකි.ඒ නිසාම තම අයිතිවාසිකම් දිනා ගැනීමට ද අවස්ථාවක් උදා වෙයි.බලාපොරොත්තු ඉෂ්ටකර ගැනීමට අවහිර කරන සතුරන් මර්දනය කර ගැනීමටද පුළුවන. අනාගත අභිවෘද්ධිය තනිමතයට සකසා ගනී.
මකර - දියුණුවට අත හිත
ගෝචර අමාත්‍ය යෝගය ක්‍රියාත්මක වෙද්දී ඔබේ ලග්න කුණ්ඩලියේ දෙවැන්න යුද්ධ තෝතැන්න වූයේය.ගින්දරෙන් පරිස්සම් වෙන්න.කසළ ආදිය ගිනි තැබීමේ දී වනාන්තර ආදිය ගිනිගැනීම නිසා නීති කරදර විය හැක.කොස්,පොල් වැනි විශාල ගෙඩි ඇති ගස් යට හැසිරීමෙන් වලකින්න.වැඩබිම්වල රැකියා ආදිය කරන්නෙක්නම් අනතුරු විය හැකි ඉඩ වැඩිය.සුඛෝපභෝගී ආහාර පරිභෝජනය නුසුදුසුය.ධාන්‍ය, පලතුරු ආදියෙන් සෑහීමකට පත්වන්නේ නම් මැනවි.
මැසි මදුරු කරදර ඇති වෙයි.නිතර මුහුණේ ප්‍රියමනාපගතියක් ඇතිවන බැවින් යන යන තැන අය වශීවන බලය අධික වෙයි.
ඉල්ලීම් ඉදිරිපත් කර ලබා ගැනීමට හැකි වන කාලයක් බැවින් ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් කටයුතු සලසා ගැනීම මැනවි.ගෞරවය මෙන්ම විවාහ සැපයද නොඅඩුව ලැබෙනු ඇත.පළඳින විවිධ ආභරණ දරා සිටීමට අවස්ථාව සැලසී තෘප්තිමත් වනු ඇත.දියුණුව ලඟාකර ගැනීමට හැකි කාලයකි.
කුම්භ - ඉවසන්න
ලග්නාධිපතියා කර්මස්ථානගත වු ද ධර්මකර්මාධිපති යෝගය යෙදුනා වූද මොහොතක ලග්න ස්ථානය යුද්ධ භූමියක් වූයේය.උපරිම ලෙස නිදහස භුක්ති විඳීමට පෙළඹේ. නායකත්වයක් ලැබෙනු ඇත.ක්‍රමවත්ව එඩිතරව තම කටයුතු කිරීමෙන් පැසසුමට ලක්වෙයි.ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නම් අවසන් වී ඊට වඩා යහපත් සම්බන්ධයක් අරඹයි. තනතුරුවලට පත් වුවද වැඩි කලක් හොබවන්නට නොහැකි වේ.එය ගැටළුවක් කර නොගන්න.නරක නාමයක් ඒමට ඇති බැවින් සියළු කටයුතු විනිවිද භාවයෙන් යුතුව සිදුකොට ආරක්ෂාව සළසාගත යුතුය.
මීන - රහස් සබඳතා
ගුරු හංස යෝගය ගෝචර ශක්තිය ගෙන දෙන අවස්ථාවක ශුක්‍ර සහ නැප්චූන් යුද වැදී අටවැන්නාධිපතියා දොළොස්වැන්නේ දී පරාජයට පත්වේ.ඔබට පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වාගෙන යන්නේ නම් විශේෂ දියුණුවක් අත්පත් කරගත හැක.කුමන්ත්‍රණකාරී කටයුත්තකට හවුල් වෙනවා ඇත.එසේ නැතහොත් ගොදුරුවෙනවා ඇත.
නීති කරදරයකට ගොදුරුවීමේ ඉඩකඩ පවතී.වරදකට හසු නොවීමට වගබලාගත යුතුය.කෙනෙකුට කිව නොහැකි රහසි ගත දුකක් ඇතිවේ.රහස් ස්ථානයක පර්යේෂණ කටයුත්තක නියැලේ.රහස් ආදර සම්බන්ධතාවයක්ද ගොඩ නැගේ.ඉන් මහත් ව්‍යසනයක්ද මතුවෙනවා ඇත.
ප්‍රබල මානසික පීඩාවක් ගෙනදිය හැකි සිදුවීමක් මතුවෙනවාද ඇත. ආරෝග්‍යශාලාවක නතරවීමට සිදුවන අන්දමේ රෝගයක්හටගන්නා බැවින් කල්පනාකාරී විය යුතුය.යම් කිසි නිධානයක් ලැබීමේ භාග්‍යයක්ද පවතී.
නමුත් එකී ස්ථානයේ තමාට හිමි නැති නිධානයක්ද තිබිය හැක. එයටද ගිජු විය හැකි අතර අන්සතු දේවල් ලබා ගැනීමට යෑමෙන් වලකින්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති
ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
0 comments:
Post a Comment