728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    හැදූ වැඩූ දෙමාපියන්ට නොසලකන පව්කාරයෝ

    වසලකම පෙන්වයි කේන්දරෙන්

    දරුවන්ගේ ආදර කරුණාව ලැබීමට ද දෙමාපියන්ට ‍යහපත් ග්‍රහචාරයක් තිබිය යුතුය. දෙමාපියන්ගේ ආදර කරුණාව සැමදා ලැබීමට දරුවන්ගේද යහපත් ග්‍රහචාරයක් තිබිය යුතුය.
    දෙමාපියන්ගේ කේන්ද්‍ර වල කේන්ද්‍ර ස්ථාන එනම් 1,4,7,10 හා පස් වැන්න බලවත් වීම විශේෂයෙන් සෞම්‍ය ග්‍රහයින්ගෙන් ගුරු සිකුරු පාප සංයෝග නොවු බුධ, පුර සඳු, ග්‍රහයින්ගෙන් ඉහත භාව පරිපුර්ණ වීනම් යහපත් දෙමාපින්ට හිතැති දරුවෙක් ලැබීමට වාසනාව උදාවේ.

    දරුවාගේ කේන්ද්‍රයේද .4,10,9 බලවත් වීමෙන් විශේෂයෙන් සිකුරු සිවු වැන්නේද . ගුරු නව වැන්නේද බුධ පාප පීඩිත නොවී දස වැන්නේද වුයේ නම් දෙමාපියන්ගේ ඉහත කී ග්‍රහ බලපෑම සමඟ සංසන්දනය කර බැලීමෙන් ඉතා යහපත් ගුණවත් දරුවෙක් ලැබේ.එවන් දරුවා අම්මා තාත්තා දෙදෙනාට දෙවියන් ට මෙන් සලකනු ඇත. ‍එසේ නොවුයේනම් දෙමා පියන්ට මහ මග, කඩපිල අම්බලම හිමිවේ. එසේත් නැත්නම් වෙනම බත් හැලි දෙක උයා පදිංචි ස්ථානයේම කුඩා කාමරයක හෝ වෙන යම් මඩුවක සිටීමට සිදුවේ.

    දෙමාපියන්ගේ කේන්ද්‍රයේ පස්වැන්නේ රාහු සමඟ කුජ සංයෝගවී සිටියේද දරුවාගේ කේන්ද්‍රයේ දසවැන්නේ රාහු කුජ යෙදුනේ නම් හෝ සයවැන්න අධිපතිය. පාපියෙක් වී දස වැන්නේ හෝ නව වැන්නේ යෙදුනේනම් අම්මාට තාත්තාට හිමි වන්නේ මහ මගයි. අම්බලමයි. නැතිනම් කඩ පිලයි. ස්ත්‍රී හෝ පුරුෂ වේවා දරුවාගේ ග්‍රහ බලපෑම එසේ වී නම් දෙමව්පියන්ට එය විඳීමට සිදුවේ.රාශි කේන්ද්‍රයේ දසවැන්න අධිපතියා සුබයෙක් වුවත් නවාංශක කේන්ද්‍රයේ දස වැන්නේ එම සුබ ග්‍රහයාට බලවත් කෲර පාප ග්‍රහ, සංයෝගයක් යෙදී නම් එම දරුවාගෙන් නොයෙකුත් දුක් ගැහැට විඳ මහපාරට ගෙනැවිත් බස්සාවි.

    මව හෝ පියාගේ කේන්ද්‍රයේ පස්වැන්න අධිපති කුජ සමඟ සංයෝග වී සිවු වැන්නේද පස් වැන්නේ රාහුද නවාංශක කේන්ද්‍රයේද සිවු වැන්නේ කුජ යෙදීමෙන් දරුවකුගේ දුක් ගැහැටවලට මුහුණ දීමට දෙමාපියන්ට සිදුවේ. මෙවැනි දරුවෙක් බිහිවී වයස අවුරුදු 16 ඉක්මවන විටම දරුවා දෙමාපියන්ට අවනත නොවේ. එම දරුවා නිසා දේපළ පවා නැති වී යාමට පුළුවන. අවසානයේ දෙමාපියන්ට මහ මඟට බැසීමට සිදුවේ.
    මෙතැන් සිට ලග්නය අනුව මේ තත්ත්වය සොයා බලමු.

    මේෂ
    මේෂ ලග්නය හිමි මවගේ හෝ පියාගේ කේන්ද්‍රයේ පස් වැන්න හිමි රවි.3,10,11 භාවයක යෙදීනම් බලවත් එඩිතර දරුවෙකි. දරුවාගේ කේන්ද්‍රයේ මේෂ ලග්නය වී 10 වැන්නේ කුජ යෙදුනේද බලවත් ව්‍යාපාරිකයෙකි. රාහු 10 වැන්නට යෙදුනේ නම් හිතුවක්කාර ඉක්මන්කාරී කෝපයට පත්වන දරුවෙකි. මේ ග්‍රහ තත්ත්වය යටතේ කවදා. හෝ දෙමාපියන්ට අඳුරු ගමනක් යාමට සිදුවේ.

    වෘෂභ
    පස්වැන්න අධිපති බුධ ඥානකාරක දරුවන් ඇති කරන ග්‍රහයෙකි. නමුත් බුධ කුජ සමග සංයෝග වී හත්වැන්නේ යෙදුණ හොත් අසුබ දායකවේ.
    ලාබාල වියේදීම අයාලේ යන අසුබ විවාහයක පැටලේ. වෘෂභ ලග්නය හිමි මවක් හෝ පියෙක්නම් බුධ කුජ යෝගය පස් වැන්නේ යෙදී ඇත්නම් එම දරුවා දෙමව්පියන්ට පාලනය කළ නොහැක. මාපියන්ට මහපාරට බැසීමට සිදුවේ.

    මිථුන
    මිථුන ලග්නය හිමි ඔබගේ පස්වැන්න අධිපති සිකුරු කලාකාමී දරුවන් හිමිවන යෝගයෙකි. එම සිකුරුට කුජ රාහු ත්‍රිග්‍රහ සංයෝගය පස් වැන්නේම යෙදුනේ නම් පියා ගිය අඩිපාරේම යන්නේ ඉක්මන් විවාහයකට පැටලෙමින්ය. මිථුන ලග්නයේ පියාද ‍මේෂ ලග්නයේ පුතාද බොහෝ දුරට ගැටලු ඇතිවන ලග්න දෙකකි.මේෂ ලග්නයේ10 වැන්නේ කුජ රාහු යෙදී නම් මිථුන ලග්නයේ පියාට සිදුවන්නේ දරුවන්ගේ නපුරු ගති නිසා නිවසින් පිටවී යාමටය.

    කටක
    පස්වැන්න වු වෘශ්චිකය හිමි කුජ දරුවන් නියෝජනය කරනු ඇත. ග්‍රහලොව හිතුවක්කාර ග්‍රහයෙක් වන කුජ සමග රාහු සංයෝගය පස්වැන්නේ යෙදීම දරුවන්ගේ. පිහිට අවිනිශ්චිත බව පෙන්නුම් කිරීමකි. දරුවාගේ කේන්ද්‍රයේ 10 වැන්නේ කුජ සමග ගුරු හැර කිනම් ග්‍රහයෙක් සිටියද මව් පියන් වශයෙන් ඔබට කදුළු සැලීමට සිදුවන්නේ දුක් ගැහැට නිසාය.

    සිංහ
    ඔබගේ පස් වැන්න හිමිවන්නේ ගුරුටයි. දරුවන් ඉතා යහපත් ගුණ ගරුක අය වේ. ඔබට පවතින යහපත් ගුණ ධර්ම දරුවන්ටද ඇතිවේ.
    නමුත් මේෂ ලග්නයේ දරුවෙක් සිටී නම් එම දරුවාගේ කේන්ද්‍රයේ 10 වැන්නේ නීච ගුරු සමඟ කුජ, රාහු ත්‍රිග්‍රහ සංයෝගය යෙදුනේ නම් කවදා හෝ එම දරුවා විවාහ වීමෙන් පසුව ඇතිවන ගති ගුණ නිසා ඔබට කදුළු සැලී‍මටත් ඒ අනුව නිවසින් පිටවීමටත් සිදුවේ.

    කන්‍යා
    කන්‍යා ලග්නයේ පස්වැන්න සෙනසුරුට හිමිවේ. උපතේදී සෙනසුරු 8 වැන්නේ නීච වීමත් 5 වැන්නේ කුජ රාහු යෙදීමත් සිදුවී ඇත්තම් ඉතා අසුබ ගෙනදේ. පිරිමි දරුවෙක් නිසා සිත් කලකිරීමකට හේතුවේ. කුම්භ ලග්නයේ දරුවෙක් ඔබට සිටීනම් කුජ රවි 10 වැන්නේ දිග් බලය අනුව අති බලවත් වීමෙන් පියාට නොයෙකුත් අයකු බලපෑම් කිරීම නිසා පියාගේ සිත් බිඳීමෙන් දරු සෙනෙහස තුරන්වීමත් ඈත් වීමටත් සිදු වේ.

    තුලා
    තුලා ලග්නයේ පස් වැන්නේ සෙනසුරුට හිමිය. සෙනසුරු කුජ සමඟ පස්වැන්නේම හෝ සිවු වැන්නේ යෙදුනේ නම් ඊට රාහුගේ බලපෑම 11 වැන්නේ හෝ 12 වැන්නේ සිට ලැබුණොත් දෙමාපිය සතු දේපළ විනාශ කර මහපාර හිමි කරවන දරුවෙක් ලැබේ. දරුවාගේ කේන්ද්‍රයේ 10 වැන්නේ සෙනසුරු කුජ 12 වැන්නේ රාහු සිකුරු සිටී නම් එහි ඇති දුර විපාක පියාට අනිවාර්යයෙන් විඳීමට සිදුවේ. දෙමව්පියන් මහපාරට බස්සවන දරුවෙකි.

    වෘශ්චික
    වෘශ්චික ලග්නයේ පස් වැන්න වු මීනයේ අධිපති ගුරු යහපත් දරුවන් ඇති වීමට කාරක වේ. නමුත් ගුරු සමඟ රාහු කුජ, අව සඳු සංයෝගය 12 වැන්නේ තුලාවේ යෙදීමෙන් ඔබටත් දරුවාටත් එකට නිවසේ සිටීමට නොහැකි වේ.
    තරුණ වියට පත් දරුවාත් ඔබත් අතර ආරවුල් ඇතිවීමෙන් පිය පුතු සෙනෙහස විනාශ වී යනු ඇත. කටක ලග්නයේ දරුවෙක් වුවහොත් 10 වැන්නේ අව, සඳු, රාහු , කුජ ත්‍රිග්‍රහයෝගය යෙදීනම් පියාට ඉතා අසුබ වේ.

    ධනු
    ධනු ලග්නයේ පස්වැන්න හිමි කුජ දරුවන් නියෝජනය කරනු ඇත. කුජ මකරයේ දෙවැන්නේ උච්චවීමෙන් හිතුවක්කාර මුරණ්ඩු පිරිමි දරුවන් හිමිවීමට හේතු වේ. පියාට පාලනය කළ නොහැකි ආකාරයට දරුවන් හැසිරේ. දරුවාගේ කේන්ද්‍රයේද 10 වැන්නේ කජ ශනි අසුබව යෙදුනේ නම් ‍පිය පුතු සෙනෙහස තුරන්වී පියාට සිදුවන්නේ මහ පාරේ . කඩ පිලේ සිටීමටයි. එසේ නැත්නම් නයාට පොළඟාමෙන් අසමගිය ඇතිවේ.

    මකර
    මකර ලග්නයේ පස් වැන්න හිමි සිකුරු යහපත් දරුවන් ඇති වීමට හේතුවේ. නමුත් සිකුරු 12 වැන්නේ යෙදී පස්වැන්නේ කුජ රාහු , රවි ත්‍රි ග්‍රහ යෝගය යෙදුනේ නම් ඔබේ ජීවිතයද අඩපනවන අතර දරුවෙක් නිසා මානසික පීඩනයක් ඇතිවේ.
    එම දරුවාගේ කේන්ද්‍රයේද 10 වැන්නේ රාහු කුජ යෙදී නම් එම තත්ත්වය ඉතා අසුබදායක වේ. දෙදෙනාගේ සමගිය පිය පුතු සෙනහස ඉතා දුර්වල වීමෙන් පියාට මහ මඟ හිමිවේ.

    කුම්භ
    ඔබගේ පස් වැන්න බුධ ට හිමිවී මෙන් නුවණ ඇති යහපත් දරුවන් හිමිවීමට හේතුවේ. නමුත් බුධ සමග කුජ රාහු සංයෝග වී 12 වැන්නේ මකර රාශියේ යෙදුනේ නම් සියලු දේපළ විනාශ කරන අයහපත් දරුවෙක් හිමි වීමට හේතුවේ.
    දරුවාගේ කේන්ද්‍රයේද සිවු වැන්නේ රාහු ,කුජ රවි යෙදීනම් මවටත් පියාටත් සිදුවන්නේ නිවසින් පිටවී යාමටය. ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට අවසානයේ සිදුවේ.

    මීන
    මීන ලග්නයේ දරුවන් නියෝජනය කරන්නේ පස් වැන්නේ සඳුය ,සඳු. සෙනසුරු කුජ සිවු වැන්නේ යෙදී බුධ ලග්නයේ යෙදුනේනම් ඔබට ගැහැණු දරුවකුගේ අයහපත් හැසිරීම් නිසා මානසික පීඩනයට ලක්වේ.
    එම දරුවාගේ කේන්ද්‍රයේද කුජ ලග්නයේ සෙනසුරු සඳු සිවු වැන්නේ යෙදී නම් ඉහත කී තත්ත්වය ඉතා අසුබවීමෙන් පදිංචි ස්ථානය පවා අතහැර දමා පිටවී යාමට සිදුවේ.


    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හැදූ වැඩූ දෙමාපියන්ට නොසලකන පව්කාරයෝ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top