අවිවාහක වියේ පසුවන යුවතියක නම් කාල සර්ප යෝගය යන නම ඇසීමත් සමඟම ඔබේ සිරුරේ හිරුගඩු පිපෙනවා වන්නට පුළුවන.
ඇයි? මේ යෝගය ඇති අයට විවාහ සැපත හිමි නොවන බවට සමාජයේ තදබල මතයක් පැතිර තිබීම නිසාය.
එහෙත් මෙය සියයට සියයක්ම ඇත්ත නොවන බව දැනගන්න.
කාල සර්ප යෝගය කෙනෙකුගේ සිතෙහි ඇති කරනුයේ දැඩි බියකි. තම කේන්ද්‍රයේ කාල සර්ප යෝගය පවතින බව, එම යෝගය ගැන අතිශයෝක්තියෙන් කර ඇති පලාපල කථන, මේ ජන්මීන්ට කරනුයේ බලවත් අසාධාරණයකි. ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් කරන මේ පලාපල කථන සැබැවින්ම සත්‍ය කරුණු නොවේ. මෙවන් යෝග සම්භාව්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි දක්නට නොලැබීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙම යෝගය යෙදෙන ආකාර 12කට බෙදමින් ලග්නයේ සිට සත්වැන්න දක්වා, දෙවැන්නේ සිට අට වැන්න දක්වා ලෙස රාහු කේතු පිහිටීමෙන් සියලු ග්‍රහයින් එම ග්‍රහයින් දෙදෙනාට මැදිවීමෙන් ග්‍රහයින් පිහිටන ආකාරය පිළිබඳ පලාපල විග්‍රහයක් මෑත කාලීන පොත පතෙහි දක්නට ඇති අතර කිසිදු භාවයකදී මෙම යෝගයෙන් ශුභ පල නොපෙන්වයි.
විශේෂයෙන්ම ජන්මියාගේ ජීවිතයේ කුමන හෝ අංශයක් පීඩාවන බව මෙම පලාපල කථනවලින් පෙන්වා දේ.
ජීවිතයේ සියලු අංශවලින් පරපූර්ණ වූ කිසිදු අඩු පාඩුවක් නොමැති ජීවිත තිබිය නොහැක. රජුට පවා ගැටලු ඇතිවන බැවිනි.
මෙම යෝගය විග්‍රහ කරන බොහෝ දෙනා මේ යෝගය යෙදුන ප්‍රබල පුද්ගලයින් කිහිපදෙනෙකුටම හදිසි අනතුරු, අකල් මරණ හිමිවීම යෝගයේ අශුභතාව වෙනුවෙන් කරුණු පෙන්වීමට යොදා ගනි. එහෙත් නමුත් මෙතරම් අශුභ යෝගයක් තිබිය දී, එතරම් ඉහළට තනතුරු දරන සමාජයේ ගරු කටයුතු චරිත බවට පත්වූයේ කෙසේද යන්න විග්‍රහ නොකරයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන කෘතහස්ත දේශ පාලකයකු ප්‍රවීණ ලේඛකයකු, සැබෑ පඬිවරයකුගේ කේන්ද්‍රයේ මෙම කාල සර්ප යෝගය මැනවින් පිහිටා ඇත. මෙතුමා 1940 අගෝස්තු මස 04 දින පෙ.ව. 03.00ට උපත ලබා ඇත.
ගුරු හා ශනිගෙන් ප්‍රබල රාජ ධර්ම කර්මාධිපති යෝගයක් යෙදෙනුයේ නවවැන්න සහ දශ වැන්න අධිපතියන් එක් වීමෙනි. ගුරුට කේන්ද්‍රගත සඳු ගජකේශරී යෝගයක් උදා කරයි. ලග්නයෙන් දෙවැන්නේ සඳු ප්‍රබල ශ්‍රීමන්ත යෝගයකි. ගුරු මන්ත්‍ර පදය දකින බැවින් තමා නොදන්නා බව දනී. ගුරු හා ශනි ද්විග්‍රහ යෝගවලින් උසස්ම ඥාන යෝගයකි.
ශ්‍රී ලංකාවේ වෙසෙන කෘතහස්ත ලේඛකයකු ප්‍රවීණ පඬිවරයකු වීමට මෙන්ම ප්‍රබල ඇමතිවරයකු, කථානායකවරයකු වීමට එතුමන්ට මෙම අසතුටුදායක යෝගය බලපා නැත. ඒ කේන්ද්‍රයේ පවතින ප්‍රබල යෝග මෙම අශුභ යෝගයන්හි ප්‍රථිපල අවම කරන බැවිනි.
කාල සර්ප යෝගය කේන්ද්‍රයක පවතින එක් පිහිටීමක් පමණි. අපි එම පිහිටීම මූලික කර ගනිමින් අනෙක් පිහිටීම් අධ්‍යයනය නොකර කරන පලාපල කථනවලින් සිදුවනුයේ ප්‍රබල හානියකි.
මේ දෝෂ පිළිබඳ පොත පතින් කරන කරුණු දැක්වීම් ද සාධාරණ නොවේ.
මෙම යෝගයට උදාහරණ දක්වමින් කරන සියලු ප්‍රකාශ ජන්මියාගේ මානසික පීඩනය උපරිම කරන ප්‍රකාශ බැවිනි.
රාහු කේතු දෙදෙනාගෙන් කාල සර්ප යෝගය යෙදුන විට මාස කිහිපයක්ම මේ යෝගය යෙදී පවතී. එම කාල වකවානු තුළ උපදින සියලුම දරුවන්ට දිනයේ කුමන වේලාවක උපත ලැබුවද මෙම අශුභ යෝගය හිමි වේ.
මේ යෝගය ඔබගේ කේන්ද්‍රයේ පවතින්නේ නම් එය බිය විය යුතු, ඔබට රැකියාව, විවාහය. අහිමි කරන පිහිටීමක් ලෙස, එසේ නැතහොත් අභාග්‍ය සම්පන්න පිහිටීමක් වශයෙන් නොසලකන ලෙස වගකීමෙන් යුතුව පවසමු.
කිරින්දේ ඩී.ඒ. වික්‍රමසිංහ
0 comments:
Post a Comment