728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    සිකුරා උච්ච වෙයි-සතුරා මිත්‍ර වෙයි

    දුම්රිය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය නිරතුරු

    අසුර ගුරුවර සිකුරු සිරසට ඔටුණු පළඳිති රැජිණ වරමින
    පතුරවති අම සැපද සමඟමලෙඩ දුකෙහි ඇති විසද අපමණ
    සිවුර සමඟම පිරුවටද නිති කිළිටි කෙරුමට යොදයි වැදි බණ
    කුමර කුමරිය පිනුම් මොකටද ගත කරන අම්බලමෙ ජීවන

    සතුට සැපත සුවය මවන සිකුරු ග්‍රහ බලවේගය පසුගිය 16 දා පෙරවරු හයයි දහයට පමණ තම උච්ච භවනය වන මීනයට සැපත් විය.මාර්තු 12 දක්වා සිකුරිය එහි ගතකරයි.

    සිකුරු උච්ච තත්කාල මොහොතේදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මකර ලග්නය උදාවෙයි.එහි වික්‍රමස්ථානය වන කාම ත්‍රිකෝණයේ තුන්වැන්නට සිකුරා ගෝචර වන්නේය. එහිදී සිකුරු‍ට කුජ,යුරේනස් හා කේතු මුණ ගැසේ.
    මේ ග්‍රහ ගෝචරයත් සමඟ මිනිසා පස්කම් සැප භුක්ති විඳීම කෙරෙහිම අවධානය යොමු කරයි. ආමාශය, මුත්‍රාශය ආශ්‍රිත රෝග උත්සන්න වනු ඇත.රෝහල් බලධාරීන් විසින් එවැනි රෝගාබාධ වලට ඖෂධ ගබඩාකර තබා ගැනීමද අතවශ්‍ය වෙයි.

    උච්ච බල සිකුරාට වක්‍ර ගුරුගේ දෘෂ්ටියද එල්ලවේ.මෙවැනි අවස්ථාවයක මීට පෙර උපත ලැබූ වැඩිහිටියන් සිය මුනුබුරු මිනිබිරියන්ගේ දියුණුව හා ජයග්‍රහණය තෘප්තිමත් විය හැකි කාලවකවානුවක් උදා වේ.තව දුරටත් ඔවුන්ට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටුකරදීම සඳහා සැළසුම් සකස් කර ගැනීමට සුදුසුම කාලයකි.

    තම උච්ච භවනයෙ දී සිකුරාට යුරේනස් සහ කුජ යන ග්‍රහයින් ඒකරාශී ගත වෙයි.එය ගමන් බිමන් වලට එතරම් සුබ නොවේ.
    මත්පැන් භාවිතාකරමින් විනෝද ගමන් යාම,දුම්රියේ පාපුවරුවේ ගමන අවධානම් වෙයි.දුම්රිය අනතුරු වැඩි විය හැකි බැවින් එහි සියලු කාර්ය මණ්ඬලය සැලකිළිමත්ව අනතුරු අවමකර ගැනීමට කටයුතු කරන්න.මෙයින් ඉතිහාසගත විය හැකි දුම්රිය අනතුරු මැඬ පැවැත් විය හැකි වනු ඇත.

    සිකුරු මාරු තත්කාල ලග්න කුණ්ඩළියේ අංශක තුන්සියයත් තුන්සිය තිහත් අතර බල ප්‍රදේශයට අනුර නැකත අයත් වී එහි සෙනසුරු තැන්පත්ව වක්‍ර ගුරුගේ දෘෂ්ටියට ලක්වූ මොහොතක සිකුරියගේ ද දෘෂ්‍‍ටිය ලැබෙන්නට ප‍ටන් ගැනීම නිසා අමාත්‍ය මණ්ඩලයේ නව සම්ප්‍රාප්තියක් ද සිදුවී‍මේ ඉඩක‍ඩ පවතී.
    විවිධ දේශපාලන පක්ෂ ස්ථාවරත්වය පිළිබඳ අභියෝගයක් ඇත.පක්ෂ නායකයන් බුද්ධිමත්ව තීරණ ගතයුතු කාලයකි.

    තත්කාල ලග්න කුණ්ඩළියේ තුන්වන සිකුරු මාරු තෝතැන්න වීමත් එහි යුරේනස් තැන්පත් වීමත් නිසා තැපැල් හා දුරකථන කටයුතු කෙරෙහි තදින් බලපෑම් එල්ල වෙයි.ජංගම දුරකථන වෙබ් අඩවි මගින් සිදුකෙරෙන අවිචාර කටයුතු නිසා නව නීති සම්පාදනය කරන්නට ද සිදු වෙයි.මේ කාලයේ වැඩිහිටියන් මෙල්ල කිරීම පහසු නොවනු ඇත.තරුණ කණ්ඩායම බුද්ධිමත්ව නිසි මඟ ගියොත් සාරධර්ම සුරැකෙයි.තෙරක් නොපෙනෙන සංසාරගමනේ මේ එක් ආත්ම භාවයක් පමණක් බව තේරුම්ගෙන කුසල් රැස්කරන්න.මේ චේතනාව ජය ගන්නට ඔබේ ලග්නය හරහා ගෙන එන තොරතුරු විශ්ලේෂණයට අවධානය යොමුකරන්න.

    මේෂ - රාගික හැඟීම් මැඬගන්න
    ඔබේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීමට අවශ්‍ය ඇඳුම් ආදී දේ මිලදී ගැනීමේ බාධක ඉවත්වනු ඇත.සමිති සමාගම් සාමාජික සාමාජිකාවන් සමඟ එක්ව සාමූහික ක්‍රියාකරකම් වල නියැලීම‍ට හැකිවේ.කාලය ශ්‍රමය විනෝදය වෙනුවෙන් වෙන්කරන සමයක් වෙයි.අනාගත අවශ්‍යාතාවයක් ‍වෙනුවෙන් තබා තිබූ මුදලක් විනෝදය සඳහා වියදම් කිරීම නිසා ණය වීමට මෙන්ම බරපතල ගැටලුවකට මුහුණදීමට සිදුවෙයි.මේ නිසා යමක් කිරීමේ දී දෙවරක් සිතන්න.විරුද්ධ ලිංගිකයන් සමඟ රහසිගත ගමනකට පසුබිම සැක සේ.රාගාධික ගති නිසා ඔබේ යහපත් පැවතුම්වලට අභියෝගයක් විය හැක.නින්දා අපහාසවලට පවා හේතු විය හැකි ග්‍රහ අපලයක් ද ඉස්මතු වන බැවිනි.

    වෘෂභ - රත්තරන් කාලයක්
    ඔබට ස්වර්ණමය යුගයක් උදා වෙයි.සතුරන් මෙල්ල වී මිතුරන් බවට පත්වේ.මේ නිසා ඔබට ඇතිවන අපවාද චෝදනා ගිලිහී යයි.මානසික ඒකාග්‍රතාවය ඇති වීම නිසා ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ගත හැක.

    කුමන තරාතිරමක වුවද කය වෙහෙසා වැඩකරන්නට සිදුවේ. සතුටින් ‍ඒ කටයුතුවල යෙදෙන්න. එවිට ඔබ‍ කෙරෙහි ප්‍රසාදය ඇති වේ.කළුගල් හා සම්බන්ධ කටයුතු ගෙපල කැපීම් කාණු කැපීම වැනි දෑ කරන්නට වෙයි. බෙල්ලෙන් උ‍ඩ යම් රිදීමක් වේදනාවක් වේ නම් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
    මීයන් සුනඛයන් වැනි සතුන්ගේ සපා කෑමෙන් පරිස්සම් වන්න.නිරපරාදේ චෝදනාවක් අපවාදයකට ලක් විය හැක.

    මිථුන -අනුන්ගේ දොස් සොයන්න එපා
    ලග්න කුණ්ඩලියේ එකම ප්‍රබල යෝග කාරක සිකුරු ග්‍රහයා බලවත් වීම නිසා ඔබේ ජීවන ගමනේ ස්වර්ණමය යුගය උදා වූයේය.සිකුරු දශාව ද ගෙවමින් සිටින්නේ නම් තවත් යහපත් වෙයි.කිසිවක් නොයිල්ලුව ද අවශ්‍යතා හඳුනාගෙන මිතුරන් මෙන්ම වෙනත් අයද අනේක විධ උපකාර කරයි. ජීවනෝපාය ක්‍රමයක් ඇති වෙයි.කරදර නිමාවෙයි.

    තමන් ඇසුරුකරන්නන් අතරින් ඊර්ෂ්‍යාකාරයින් තිදෙනෙක් මතුවී අවහිර කරනු ඇත.ස්ත්‍රීන් සම්බන්ධ වී කීර්තිනාමයට හානියක්ද කරනු ඇත.ගැටුම්වලට යාමෙන් වලකින්න.එයින් පරාජය අත්විය හැක.අනවශ්‍ය විය පැහැදම් ඇතිවිය හැක. ආයෝජන වලට යොදවන්නේ නම් කල්පනාකාරී වන්න.භූමි සම්පත් ලැබීම් ඇත.කේළාම් ඕපදූප අනුන්ගේ දේ ගැන දෝෂාරෝපණ කිරීමෙන් වලකින්න.

    කටක - ඇල්වතුරත් නිවලා බොමු
    මේ සතිය ඔබට එතරම් සුබ නැතත් කරදරකාරී තත්ත්වයක් ද උදානොවනු ඇත.බො‍හොමයක් දේ ලැබේ.නමුත් ඒවා තාවකාලික බව අවබෝධ වන්නේය.ඔබේ කාලය විනෝදය සඳහා යෙදවීමට සිදුවෙයි.නමුත් එයින් අභිවෘද්ධියක් අත්නොවේ.වි‍‍‍නෝදයක් වශයෙන් වගාවක් කිරීමට සිතේ.එය කිරීමට යහපත්ය.එමඟින් මතු දියුණුවට මඟපෑදෙනු ඇත.පෙම් සබඳතා මංගල යෝග ඇත.දරුසම්පත් බලාපොරොත්තු වේ නම් සුබ කාලයකි.

    සිංහ - ගුප්ත ශාස්ත්‍රයේ පිහිට ලැබේ
    රේස් සූදු ආදියෙන් සරුවිය හැක.ඉහල තනතුරක් දරන කෙනෙක් හඳුනා ගැනීමෙන් උපකාර ලබාගත හැක.මුහුණ දී සිටි ප්‍රබල ගැටලුවකින් සහනයක් ලබාගත හැක.ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න.නොසිතන මාර්ග වලින් ගුප්ත කටයුතු වලින් බලාපොරොත්තු රහිත ලාභ ලැබේ.භූමියෙන් ලැබෙන දේ සුබ වෙයි.ධන ධාන්‍ය වලින් වුවද ලාභ ලැබෙන කාලයකි.ශාරීරික රෝගවලින් සුවය ලබයි.මෙයින් ලැබෙන සහනය මත මානසික තෘප්තියක් ලැබිය හැක. ඉගෙනීමට තිබූ බාධක ඉවත් වේ.

    කන්‍යා - වංචාකරුවන්ගෙන් බේරෙන්න
    ආශ්‍රයට බොහෝ දෙනෙක් ලැබුණ ද ඒ සැම කෙනෙක්ම හිතවත් නැත.විශ්වාසය තැබීම භයානකය.නින්දිත පහත් වැඩ රහසින් කරන අයද ඔබට හිතවත් වනු ඇත.බුද්ධය මෙහෙයවා වංචාවලින්, රැවටිලිකාරයින්ගෙන්බේරී කරදරවලින් වලකින්න.බරපතල මුදල් හානියකට මුහුණ දෙයි.සිතට නිස්කලංකතාවය නැති වේ.භාවනා කරන්න.කිසිවෙකුට යමක් ගැනීමට ඇපයට අස්සන්කර ඇත්නම් වාරික නිසි පරිදි ගෙවනවාද යන්න සොයා බලන්න.චූදිතයන්ට ඇප වී සිටී නම් ඒ පිළිබඳවද අවධානයෙන් සිටින්න‍.මෙවැනි දෙයින් අනවශ්‍ය කරදරයක් ඇතිවිය හැකි බැවින් කල්පානාකාරී වන්න.

    තුලා - ස්ත්‍රීන්ගෙන් පරෙස්සම් වන්න
    ඔට්ටු ඇල්ලීමේන් රේස් සූදු ආදියෙන් ධන හානි විය හැක.විශාල ජයක් ලැබෙන බව පෙන්වා දේපළක් විකුණන්නට හෝ උගස් තියන්නට හිතුනොත් එය නොකරන්න. බලාපොරොත්තු ඉටු නොවේ.

    ඔබ විසින් සිදුකරන ශබ්දයක් හේතුවෙන් කරදරයක් ඇති විය හැක.උසාවි සංකීර්ණ ආදියේ දී හඬ නගා කතා කිරීම වුවද දඬුවමක් දෙන වරදක් බැවින් පරිස්සම් වන්න.ස්ත්‍රීන් සමඟ ආරවුල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.
    වාචික පොරොන්දු කඩ වනු ඇත.ඔබත් යම් පොරොන්දුවක් වී ඇත්නම් එයද කඩවිය හැක.එයින් ද ඔබට කරදරයක් විය හැක.විපතක් කරන්නට සතුරන් කටයුතු කරනු ඇත.තමාම පීඩාවට පත්කර ගන්නා දෙයක් හෝ ගොදුරක් විය හැකි බැවින් පරිස්සම් වන්න.

    වෘෂ්චික - ධන ලාභයක් අත ලඟ
    ඉදිරි කටයුතු පිළිබඳ ඉඟියක් ලැබේ.කොට්ටය යටින් කොළයක් පෑනක් තබාගෙන තීන්දු ගැනීමට පුරුදුවන්න.අනාගත දියුණුවට අවශ්‍ය උපදෙස් මනසට ගලා එයි.වහාම නින්දේම වුවද ඒවා සටහන් කරගන්න.ඒ අනුව ඉදිර සැළසුම් ක්‍රියාත්මක කරන්න.

    ඔබේ කාලය විනෝදයෙන් ගත කිරීමට ග්‍රහ ගෝචරය ක්‍රියා කරයි.ජන මාධ්‍යයෙන් ඈත් වන්න.ඔබේ අභිවෘද්ධිය සඳහා මූල්‍ය සම්පාදන ලැබෙනු ඇත.ණය මුදලක් ලැබීමේ වාසනාවද උදාවෙයි.

    ධනු - රැවටීම් හමාරයි
    රැවටුණු කාලය නිමාවේ.සත්‍ය වටහා ගනී.අන්‍යයන් වෙනුවෙන් පරාර්ථකාමීව මෙතෙක් ගෙවූ දිවිය නිමවෙයි.තම දියුණුව තමා විසින්ම සලසා ගත යුතු බව තීරණය කරයි.ආත්මාර්ථකාමී වෙයි. එහි වරදක් නැත.මෙතෙක් කල් විනෝදාංශයක්ව පැවතුණේද ඔබ අන් අයට විශ්වාසවන්ත මිතුරෙකු වීමට ගත් උත්සාහයයි.ඒ තුළින් ඔබ පීඩාවට පත්විය.

    කළකිරීමක්ද මතුවිය. තරාතිම කෙසේ වුවත් විරුද්ධ ලිංගිකයෙකු සමඟ ප්‍රබල බැඳීමක් ඇති වෙයි. එය සුපිරිසිදු බැඳිමකි. ඔහු හෝ ඇය අනාගත අභිවෘද්ධිය සලසාදීමටද කටයුතු කරනු ඇත. ඉ‍ඩකඩම් පිළිබඳ ආරවුල් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

    මකර - මිතුරු බලය
    මිතුරන් ලැබේ.ඔබගේ මිත්‍රයින් ද ලංවන කාලයකි.මෙතෙක් සතුරන් ලෙස ක්‍රියාකළ අය මර්දනය වෙයි.ඔවුන් ගැටලුවලට මුහුණ දෙන බැවින් ඔබට සතුරුකම් කරන්නට ඒ අයට වේලාවක් නැති වෙයි.

    සමහර සතුරන් ඔබෙන් උදව් පතයි.ඔබට සමාජ පිළිගැනීමක් මෙන්ම මුදල් ලාභයක් ද වෙයි.ගමන්බිමන් වලදී වැඩි ලාභ ලැබෙන කාලයකි මේ නිසා යාන වාහන වල ගමන් යාමේදී පොත් කියවා දැනුම දියුණුකර ගන්න.මැහුම් ගෙතුම් ආදිය ද එහිදී කරන්න.ඔබට එවැනි දෙයින් වාසි ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.දෙපා ආශ්‍රිත රෝග තුවාල ආදිය සුව වෙයි.අත් බෙහෙත් හා කෙම් ක්‍රම මගින් ඔබට සුවය ලැබෙනු ඇත‍.

    කුම්භ - අනාගතේ හොඳයි
    ඔබ යම් ව්‍යාපාරයක් හෝ ආයතනයක් පවත්වාගෙන යයි නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇත්තන් දෙපා ලඟටම එයි.ඒ අය සාදරයෙන් පිලිගන්න.වැඩි දීමනාවක් ගෙවා හෝ පැකිලීමකින් තොරව ගන්න.අනාගතයට මේ අයගෙන් ප්‍රයෝජනය ලැබේ.

    මේ වාසනාව ලග්නදොලසෙන්ම හිමි ඔබට පමණි.වෙනත් රැකියාවක් කළද මෙසේම වාසිදායක වෙයි.මේ අවස්ථාව අතනොහැර තම වාසියට හරවාගන්න මතක තබා ගන්න.වර්තමානයේ ලැබෙන දේට වඩා යමක් අනාගතයේ දී හිමිවිය හැකි බැවින් වියදමක් දැරීමට සිදුවිම පිළිබඳ නොසිතන්න.ඔබ විදුහල්පතිවරයෙක් නම් ආචාර්ය මණ්ඩලයේ බැබලෙන්නේය.

    මීන - අතිධවෙනය හොඳ නැත
    ඔබ ලබන දෙයින් කුල්මත් වනු ඇත‍. නමුත් අවධානමක් ද නැතුවා නොවේ‍.ඔබ රාගාධික වියහැකි අතර විරුද්ධ ලිංගික ඇසුරක‍ට යොමු විය හැක. ෆේස් බුක් පාවිච්චි කරන පිරිමියකු නම් කාන්තාවන්ගෙන් පරිස්සම් වන්න.වැඩිමහල් කාන්තාවන්ගේ ගොදුරක් බවට පත්විය හැක.අවකල් ක්‍රියාවකට නතුකරගෙන අනතුරුව වරද ඔබ මත පටවාවි.

    ඉටගනීමට වැනි බාහිර දේට ‍කාලය යොදවන්නේ නම් සුබයි.එයින් ඔබය වාසි‍ ගෙනදිය හැක.අනවශ්‍ය කරදරවලින් ද මිදීමේ මඟක් වෙයි.කැරපොත්තන් හූනන් ආදීන් ‍ගෙන් කරදර විය හැකි බැවින් පිරිසිදුතාවය පිළිබඳ වැඩියෙන් සැලකිළිමත් වන්න.



    අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සිකුරා උච්ච වෙයි-සතුරා මිත්‍ර වෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top