728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-25

    උගතා කටමැත නොදොඩයි

    ‘අපි නම් හොඳ සිරිත් විරිත් දන්නවා’ යැයි බොහෝ දෙනා කියති.ඒ කියමන ඇත්ත වන්නටද
    පුළුවන.ඇතැමෙක් මේ දෙක පටලවා ගනිති.සිරිත් යනු කළ යුතු දේ ය.විරිත් යනු නොකළ යුතු දේ ය.මේවා නිකම්ම කළ යුතු නො කළ යුතු දේවල් නොව තමාගේත් සමාජයේත් යහපත පිණිසම තිබිය යුතු ඇවතුම් පැවතුම් ය.සිරිත යන වචනය හැම විටම යෙදෙන්නේ ඉතාම යහපත් ක්‍රියා පටිපාටියකට ය.බුදු සිරිත,දළදා සිරිත ආදී වශයෙන් එය නොයෙක් වර ප්‍රකාශ වෙයි.තව සති දෙක තුනකින් අලුත් අවුරුදු සිරිත ද උදා වෙයි.
    සිරිත සමඟම එන අනෙක් පදය නම් විරිත ය.එනම් අතහැරිය යුතු නොකළ යුතු දේ ය.

    සිරිත ගැන පුන පුනා කතාකරන නමුත් විරිත් ගැන නම් කතා නොකරන තරම් ය.අද අපි නො කළයුතු දේ ගැන කතාකරමු.උගතුන්ට සවන් දීම හොඳ සිරිතකි. උගතුන්ට අවමන් කිරීම නො කළයුතු දේ ය. එනම් විරිත ය.මේ ආදී වශයෙන් ‍කළ යුතුව ඇති සියල්ලෙහිම ප්‍රති පක්ෂය නො කළයුතු දේ ය යන්න අරුත් ගන්වා ගැනීම මැනවි.උගතුන්ට සවන් දීම හොඳ සිරිතක් බව අප කියන විට එහි ප්‍රති පක්ෂය වන්නේ නූගතුන්ට සවන් නොදිය යුතු බවයි.කිසියම් දෙයක් පිළිබඳ උගතෙක් තමන් දන්නා ශිල්ප ශාස්ත්‍ර ආදියෙන් තවත් උගතෙකුට ගරහයි ද ඔහු සිරිත් නොදන්නෙක් බවට පත් වේ. සිරිත් නොදන්නා පුද්ගලයා වියත් සභාවට නොහොබී.

    BA, MA, M Pill, Phd ආදී වශයෙන් "සහතිකධාරී උගතුන්' බොහෝ දෙනෙකුට වියත් සභාවට නොහොබිනා ගති ඇතිව තිබෙන‍්නේ කෙසේ දැයි අපට ප්‍රශ්නයකි.තමන් දන්නා වූ කන් හැන්දෙන් ලෝක ගෝලය විනිවිද යා හැකි යැයි ඔවුහු සිතති.

    එහෙයින් දන්නා නොදන්නා සෑම දෙයක් ගැනම බක පණ්ඩිත දේශනා පවත්වයි.අප මෙය ජ්‍යොතිෂයට සම්බන්ධ කළහොත් තමන් නොදන්නා බව දන්නා පුද්ගලයා හඳුනා ගැනීමට කේන්දරය තරම් උපකාරක වන අන් කිසිවක් නැත.යම් පුද්ගලයෙකුගේ කේන්දරයේ ආරූඪ ලග්නය ගුරු බුධ රවි ආදී ග්‍රහයකු විසින් දකින්නේ ද ඒ සමඟම ඔහුගේ මන්ත්‍ර පදය සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටියට නතු වන්නේ ද එම පුද්ගලයා තමා නොදන්නා බව දන්නෙකි.ඔවුන් මුලු ජීවිත කාලයම ඉගෙන ගනී.මැරෙන මොහොත දක්වාම කනට ඇසෙන වචනයකින් පවා අලුත් යමක් ග්‍රහණය කර ගනී.බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ පරිගණක භාවිතය උගත්තේ තම ජීවිතයේ අවසානම මාස කිහිපයේ දී ය.


    මෙතරම් වයසට ගොස් මට මොන කොම්පියුටර් දැයි උන්වහන්සේ සිතුවේ නැත.උන්වහන්සේ ජ්‍යොතිෂය පිළිබඳව විශාරද දැනුමකින් පොහොසත්ව සිටියෝ ය. එහෙත් ජ්‍යොතිෂය ද උන්වහන්සේ අවසානය දක්වාම අධ්‍යයනය කළ විෂයන් අතර වේ.කෙනෙකු මේ භවයේ දී ලබන දැනුමක් මරණයත් සමඟම කෙලවර වන්නේ නැත.එම කුසලතාව ඊළඟ භවයේ සිට තමා අවබෝධ කොටගත් මට්ටමේ සිට ඉදිරියට විහිදේ.යම් විෂයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්නට ඉගෙන ගන්නට එම පුද්ගලයා නිහතමානී වේ. කරල් පීදුණු ගොයම මෙන් බිමටම නැමේ.එසේ වන්නේ ඉගෙන ගත යුතු දේ තව කොතරම් දුරට විහිදෙන්නේ ද සහ තමා ඉන් දන්නේ කුමන තරම් ස්වල්පයක් දැයි ‍ඔහුට පෙනෙ‍න හෙයිනි.උගතාගේ හොඳම සිරිත තවත් උගතෙකු‍ට සවන් දීම මිස "මම්ම පොරවේය,අනිත් එව්වෝ අබ්බගබ්බයෝය" සිතා කටයුතු කිරීම නොවේ.සහතිකයෙන් උගතෙක් වුවත් ඒ උගත්කමට සරිලන සිරිත් අතින් දුප්පත් නම් ඔහු ඇත්තෙන්ම නූගතෙකි.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: උගතා කටමැත නොදොඩයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top