728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ළිං පතුලෙන් ගොඩට පැමිණි නාලනී ඉරේෂා ලවා ලෝකයාට කී රහස

    හදිසි මරණ වලදී සැඟවුණු දේ අනාවරණය නොවූ සිද්ධීන් බොහොමයක් යටපත් වී යයි.කාලයේ වැලිතලාවෙන් යටපත් වී ගිය බොහෝ රහස් අපට රහස් වුව ද විශ්වයට ඒවා රහස් නොවේ‍.මේවා අතරින් සමහර අසාධාරණ , අපරාධ මළ ගිය ප්‍රාණකායන්ට කියාගත නොහැකි වූ දේවල් විවිධාකාරයෙන් වරින් වර ඉස්මතු වේ.
    මළගිය ප්‍රාණකාරයන්ගේ චිත්ත සන්තානවල නොපෙනෙන එවැනි සමහර භූතාත්ම තමන්ගේ වුවමනාවන් ඉටුකර ගන්නට මිනිස් ශරීරවලට රිංගා ක්‍රියාකාරකම්වල යෙදෙති.එයින් මිනිස් ශරීරයට සිදුවන හානිය ඔවුන්ට නො වැටහේ.

    ඉරේෂා වට්ටාරම ප්‍රදේශයේ පදිංචි දහසය හැවිරිදි තරුණියකි.ඇය වැඩිවියට පත් වූයේ මෙයින් සිවු වසරකට පෙර මාතර දී ය.ඇය වැඩිවියට පත් වූ දා පටන් ආහාර අරුචියෙන් පෙළුණා ය.කෑම බීම ප්‍රතික්ෂේප කළා ය.ඇගේ ශරීරයේ දකුණු පැත්ත හිසේ සිට පාදාන්තය දක්වා ම මස් දියවී ගියාසේ කෙට්ටු වී ඇට පෑදී ඇත.මුහුණ ද එසේ ම ය.දකුණු ඇස යටට ගිලී කම්මුල් වළ ගැසී ඇ‍ට මතුවී කට ඇද වී ඇත.වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ විට ‍'මේ වගේ ලෙඩක් මීට පෙර අප දැක නැතැයි'කියති‍‍.එහෙත් ඖෂධ නියම කරති. බෙහෙත් නොදී අරින්නේ ද නැත. බෙහෙත් වැඩි වී තවත් අතුරු ආබාධ මතු වී ඇත.එසේම ඉ‍රේෂා වතුරට අකමැති ය.බියක් ද දක්වයි.
    ඉංග්‍රීසි සිංහල වෛද්‍ය ප්‍රතිකාර නොකළ දෙයක් නැති තරම් ය. තම එකම දියණිය වෙනුවෙන් අවුරුදු හතරක් තිස්සේ මේ මව්පියන් නොකළ දෙයක් නැත.මේ අතර 'සෙත්මිණ' පත්‍රයේ නොපෙනෙන ලෝකය විශේෂාංගය කියවන ඥාතියෙක් එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඉරේෂාගේ මව්පියන් දැනුවත් කෙළේ ය. ඒ අනුව ඔවුහු ඉරේෂා එහි කැඳවා ගෙන ගොස් අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ප්‍රතිකාර ඉල්ලා සිටියහ.

    නාගොඩවිතාන මහතා ද මේ අඩක් (පළුවක්)තරුණ අඩක් වැහැරුණු ශරීරය දැකඅන්ද මන්ද වී ගියේ ය.එහෙත් ඒ බවක් නොඅඟවා රෝගයේ ආරම්භය දක්වා ඉතිහාසය විස්තර කරන ලෙස පියාට කීවේ ය.
    ඉරේෂාගේ පියා එය විස්තර කළේ මෙසේ ය.'මීට අවුරුදු හතරකට කලින් දුව වැඩිවියට පත් වුණා'. ඊට අවුරුද්දකට කලින් අල්ලපු ගෙදර නාලනී නමැති කාන්තාවක් ළිඳට පැන ජීවිතය හානි කර ගත්හ. ඒ මරණයෙන් අවුරුද්දකට පසුව තමයි දුව කොටහළු වුණේ. දුව නිදාගත්තේ යකඩ ඇඳක. දවසක් රාත්‍රියේ දුව හිටියේ වෙනදා ඉන්න යකඩ ඇඳේ නොවෙයි.වෙනත් ඇඳක මගේ බිරිඳ දුවගෙන් අහලා තියෙනවා ඇයි ඒ ඇඳට ගියේ කියලා.දුව කියලා තියෙනවා මාලනී නැන්දා කැවිලි පිඟනක් අරගෙන ඇවිත් ඔය ඇඳේ බැහැ පුතේ මේ ඇඳට එන්න කියලා උස්සාගෙන ඇවිත් තිබ්බාලු.ඊට පස්සේ පිඟනෙ තිබුණ කැවිලි කැව්වලු.
    අපි දුවව නාවලා ඊට පහුව දා ඇදුරෙක් ගෙන්නලා නූලක් දාන්න සූදානම් වුණා ම දුව සිහි නැතුව වැටුණා. ඊට පස්සේ නාලනී විදියට කතා කළා.
    'ඉතින් එයා මොනවද කිව්වේ?'යි ගවේෂකවරයා ඇසීය.
    'නාලනීගෙ භූතාත්මය කිව්වා මම ළිඳට පැනලා මැරුණෙ නෑ මගේ මිනිහා මට ගහලා මරලා ළිඳට දැම්මා කියලා.
    මේ කතාව ගමට ආරංචි වුණා.එතකොට අපි ජීවත් වුණේ මාතර. මේ ආරංචිය ගමට ගියාම නාලිනීගේ මිනිහට ආරංචි වුණා. ඒ මිනිහා තවත් තුන් දෙනෙක් එක්ක රෑ අපේ ගෙයි දොර කඩාගෙන ඇතුල්වෙලා අපට මරණ තර්ජනය කරලා ගියා.අපි ඊට පහුවදාම ගේත් ඉඩමක් අතහැරලා වට්ටාරම පදිංචියට ආවා.ඊට අවුරුදු දෙකකට පස්සෙ නාලනීගෙ මිනිහා වාහනේක හැපිලා මැරුණා කියලා ආරංචි වුණා.ඒත් දුවගෙ අසනීපය තවම තියෙනවා'යි ඉ‍රේෂාගේ පියා කීවේය.
    ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකරන විට ඉරේෂා පැද්දෙන්නට වූවාය. කතා කළේ නැත.දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූ‍ජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. බෝධි පූජා අවසන්කොට නැවත පැමිණි දිනයේ ඉරේෂා ප්‍රලය වී අඬන්නට වූවා ය.භූතාත්මය සමඟ ගවේෂකවරයා සාකච්ඡාකරන්නට විය.
    'කවුද මේ ශරීරයට රිංගාගෙන අඬන්නේ?'

    'මම නාලනී'යි භූතාත්මය කීවාය.
    'කවුද නාලනී කියන්නේ?'
    මේ දුව‍ගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ මම'
    'ඇයි මේ දුවගෙ ඇඟට රිංගලා කරදර කරන්නේ?'
    'මම කරදර කරන්නේ නැහැ.ඒත් මම මේ කරන්නේ වරදක් බව දන්නවා.අනේ මහත්තයා මගේ කතාව‍ ලෝකෙටම කියන්න ඕනෑ.ඒක කියලා හිත හෑල්ලුකර ගන්න ඕනැ.'
    'මොකද්ද ඔය තරම් වැදගත් කතාව?

    'මහත්තයා මම ළිඳට පැනලා මළාය කියලයි හැමෝම කතා වෙන්නේ.මම ජීවිතේ නැතිකරගත්තේ නෑ.‍මගේ මිනිහා තිරිසනෙක්. හැමදාම බීගෙන ඇවිත් මට ගහනවා.එදත් මට ගැහුවා.ගහලා බෙල්ලත් මිරිකුවා.බෙල්ලට ගහපු පාරට මට සිහි නැති වුණා.හුඟ වෙලාවකට මට සිහිය ආවෙ නෑ.මිනිහා බය වෙලා මාව උස්සගෙන ගිහින් ළිඳට දැම්මා.මාව ළිඳ ඇතුලේ හිර වුණා.මිනිය ගොඩ අරගෙන සිය දිවි හානිකර ගැනීමක් කියලා තීන්දු කළා.මම කාලයක් ළිං පතුලේ හිරවෙලා හිටියා. මම ගොඩට එනකොට අරූ වෙන ගෑණියෙක් ගෙදර අරං එනවා දැක්කා.මම මුගෙන් පළිගන්න හිතුවා.මූ මිනීමරුවෙක්බව ලෝකෙට කියන්න හිතුවා.ඒකට ක්‍රමයක් හොය හොයා ඉන්න කොට මේ දැරිවි කොටහළු වෙලා තනිවම ඉන්න කොට මම ලං වුණා.මම කැවිළි පිඟානකුත් අරගෙන ආවා කෙල්ලගෙ හිත ගැස්සුනා.කෙල්ල හිටියේ යකඩ ඇඳක.මට යකඩ ඇඳට ලංවෙන්න බැරි වුණා.ඒ පාර දුවේ මට ඔතන ඉන්න අමාරුයි කියලා දැරිවිව උස්සලා එතන තිබුණ අනික් ඇඳෙන් තිබ්බා.තියලා මම ගෙනා කැවිලි කැව්වා.ඊට පස්සේ දැරිවිට ආවේශවෙලා මගේ කතාව කිව්වා.'

    'මේ කතාව ගමට ආරංචි වුණාම අරූ බය වුණා.ඌ දවසක් රෑ තව යාලුවො කීප දෙනෙක් එක්ක බීලා ඇවිත් මේ දැරිවිගෙ ගෙදර දොර කඩාගෙන ඇතුල් වෙලා ‍තොපි වහාම මේ ගමෙන් පිට වෙලා යන්න ඕනැ නැත්නම් මරනවා කියලා තර්ජනය කළා.මට හොඳටෝම කේන්ති ගියා.මේ දැරිවිගෙ පවුලෙ අයට මේ කරදරය සිද්ධ වුණේ මං නිසා නේද කියලා.මම අරූගෙන් පළිගන්න ක්‍රමයක් හෙවුවා.ඒත් මේ දැරිවිගෙ පවුලෙ අය එදාම ගම අත්හැරලා පිට වෙලා ආවා.ශය අතරෙ මටත් වෙලාව ආවා අරූ බීලා පාරෙ යන වෙලාවක් අහු වුණා. වාහනයක් වේගෙන් එන වෙලාවක මම මූව ඒ වාහනේට තල්ලු කළා.හීඃ......හීඃ.....හී.........දැන් ම‍ගේ හිත සැහැල්ලුයි මහත්තයා ‍මගේ කතාවක් කියා ගත්තා. අරූගෙන් පළියත් ගත්තා'යි භූතාත්මය කීවාය.

    'ඒ වුණාට නමුත් කරන මේ වැඩේ වැරදියි. බරපතල පාපයක්. මේ දරුවගෙ අධ්‍යාපනය කඩා කප්පල් වුණා.මේ අයගෙ ගෙවල් දොරවල් අගහැරලා එන්න සිද්ධ වුණා.දරුවගෙ අසනීපයට ප්‍රතිකාර කරන්න ගිහින් මේ අය නැත්තටම නැති වුණා. දුක් විඳිනවා.තමුන්ට සිද්ධ වුණේ පෙර අකුසලයක විපාකයක්.දැන් තමන් මහා පාපකර්මයක් කරන්නේ.කරුණාකරලා මේ ළමයගෙ ශරීරයෙන් ඉවත් වෙන්න.'
    'ඔව් මහත්තයා මම ඒක දන්නවා.මේ ගෙදර අය එක්ක මම බෝධි පූජා වලට ගියාම මගේ හිත නිවුණා.මට මේ ළමයා අතහැර යන්න ඕනෑකම තියනවා.ඒත් මට යන්න බැරි හේතුවක් තියනවා මහත්තයා'
    'මොකද්ද ඒ හේතුව?'
    'මට යන්න බෑ මහත්තයා මම ඉන්නේ නිරුවතින්.'

    'හැබෑද ?මම ඒකට උදව් කරන්නම්,ඔය දරුවගෙ ශරීරයෙන් ඉවත් වෙලා බුද්ධ,ධම්ම,සංඝ යන රත්නත්‍රය සිහිකරගෙන මා දිහා බලා ගෙන ඉන්න.දැන් එහෙම හිත හදාගෙන බුද්ධං.....ධම්මං....සංඝං.....සංඝං......ධම්මං...........බුද්ධංකියලා අවරෝහණ ක්‍රමයට ඒකම හිත හිත ඉන්න මම නැවත කතා කරනකම්.
    'හොඳයි මහත්තයා'
    ගවේෂකවරයා තමන් විසින් කරන ලද දානමාන පිංකම් මෙනෙහි කෙළේය.රෝගීන් සුවපත් කළ අයුරු සිහිපත් කෙළේය.දහස් ගණන් දුගතිගාමී භූතාත්ම ඉහළ තලවලට යැවු හැටි ඒ ධර්ම දානය සිහිපත් කෙළේය.මේ කුසල කර්ම සත්‍යවාදී සැබෑ නම් මේ අසරණ නිරුවත් ඥාතියට ඇඳුමක් ලැබේවායි අධිෂ්ඨාන කෙළේය.

    'සාදූ.....සාදූ...සාදූ....මහත්මයා ම‍ට ඇඳුමක් ලැබුණා.ලස්සන ඇඳුමක් ලැබුණා.පින් සිද්ධවේවා.පින් සිද්ධ වේවා.යි'ප්‍රේතිය සිනා සෙන්නට විය.
    'හොඳයි එහෙම නම් දැන් අනුරාධපුරයට ගිහින් ඒවායේ සිද්ධ වෙන දාන මාන පුද පූ‍ජාවලට අත ගසා 'සාදු'කියා පින් රැස්කර ගන්න ඕනැ.බණ පිරිත් අහන්න ඕනැ.උදේ සවස ඒතැන්වල ආගමික වතාවත් කරන කොට පන්සිල් සමාදන් වෙන්න ඕනෑ'යි අවවාද කෙළේ ය.
    ඉන් පසු පළතුරු වට්ටියක් ගෙනවා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යන ලෙස ප්‍රේතියට උපදෙස් දී ඇය ඉවත්ව යන බවට ලකුණක් පෙන්වන්නැයි නියම කෙළේය.
    'මම ගිය සැණින් මේ ඉරේෂා දුව සනීප වේවි'යි ප්‍රේතිය කීවා ය.

    ප්‍රේතිය පළතුරු වට්ටියට සම්බන්ධ වූ සැනින් ඉරේෂාගේ ශරීරයේ වැහැරි ගිය දකුණු පැත්ත ප්‍රකෘති තත්ත්වයට පත්විය.
    මේ ධර්මතාව පුවත්පත මගින් ලෝකයට අනාවරණය කරන කර්තෘවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ද ගවේෂකවරයා පින් අනුමෝදන් කෙළේ ය.ඔවුන් කරන්නේ ද රෝගීන් ට මඟ පෙන්වීම,දුගතිගාමීන් සුගතිගාමී කිරීම මහා කුසලයක් යැයි කීය.

    මතුගම මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ළිං පතුලෙන් ගොඩට පැමිණි නාලනී ඉරේෂා ලවා ලෝකයාට කී රහස Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top