728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ඉඩමේ බොරළු මිණිකැට ලෙස වටී

    ගිණිකොනට බෑවුම නම් ගින්දර මෙන් ධනය ලැබේ

    සමහරු නිවසක් තැනීමට භූමියක් ‍තෝරනවිට කිසිම සෙවීමක් බැලීමක් නැතිව පරිසරයේ ලස්සනට රැවටේ. වෙල් යායක් අසල ලස්සන නිවෙසක් තැනූ පවුලකට ගං වතුර ගලා නිවෙසේ අඩි 6 පමණ උසට ජලයෙන් යට වීම නිසා කලහකාරින්, සුරාව විකුණන වෙනත් නරක වැඩ කරන පරිසරයක නිවෙසක් තනා පදිංචි අය මුලින්ම සුරාවට පුරුදු වූයේ ඔවුන් සමඟ හිතවත්කම දක්වන්නට යාමයි. පසුව පැණි හැලියට වැටුණු ඇඹලයා සේ සුරාව නැතුව බැරි විය. පවුලේ ප්‍රශ්න ඇති විය. ලොකු දුව සුරා මුදලාලි‍ගේ පුතකු හා හාදවී පැන ගියේ ය.

    එම දුක වාවා ගත නොහැකිව මේ යෝධයා දිවා රෑ නොතකා සුරාපානයට ඇබ්බැහි විය. අවසානය වූයේ ඔහුගේ ජීවිතය ඔහුට අහිමි වීමයි. තවත් එක්තරා මනුස්සයෙක් ගණිකා නිවාසයක් ලඟ ඉඩමක් ගෙන නිවෙසක් තනා ගත්තේ ය. පිරිමි දරුවන් තිදෙනකි. අර ගණිකා නිවසේ භාරකාරිණීය මෙයින් එක් දරුවකු මුලා කරගෙන එම ගණිකා නිවහනේ වෙසෙන වෙසඟනකට විවාහ කර දුන්නා ය. තවත් කෙනෙක් භූමි පාලුවක් කර ඇති නිවෙස හා ඉඩම ඉතා අඩු මිලකට ගෙන අමාරුවේ වැටී ඇත. ධනය සියල්ල වියදම් විය. දරුවන් අකීකරු විය. ඔහු සදාකාලික රෝගියකු විය. බිරිඳ ඔවුන් අතහැර නව නිවෙසක පදිංචියට ගියා ය. කරුණු මෙසේ හෙයින් නිවෙසක් සෑදීමට ඉඩමක් තේරීමේදී හොඳට හිත බලා පරිසරය ගැන සොයා බලා මිල දී ගන්න.

    පරිසරය ගැන සැලකිලිමත් වන්න. ගංවතුර ගලා යට වූ භූමි නිවාස තැනීමට සුදුසු නැත. මුහුද අයිනේ වෙරළ කාදනයට ලක්වන භූමි අත්හරින්න. පාළු භූමි අත්හරින්න. ගවයින් මැරූ ඉඩම පදිංචියට සුදුසු නැත. එහි ශාපයට ඔබත් ලක්වේ. ඇළ අසළ ඉඩම කලකදී ඇළටම බිලි වන බැවින් එම ඉඩම් ගැනීමෙන් වලකින්න. දිගු කලක් නරක ස්ත්‍රීන් විසින් ‘කාම සේවනය’ කළ ඉඩම මහ මූසළ ඉඩම් වේ. නිවෙසක් තනා පදිංචි වුවහොත් කෝටිපතියකු වුවත් ඉතා කෙටි කාලයකදී ධනය විනාශයට පත්වී ඔහුත් මරුතුරුලට යයි. ධනය නැතිවුණු සොවින් ඔහු මරු දකී.

    ලඳු දෙනි පහත් බිම් ගල් වලවල් ගොඩකර සැදූ භූමි ගඩොල් පෝරණුවලට මැටි ගත් වලවල් කුණු දමා ගොඩකළ භූමි නිවාස තැනීමට සුදුසු නොවේ. මිනී කනත්ත (සුසාන භූමිය) ඉඩම් වෙන්දේසිකරුවන් විසින් සංරක්ෂණය කර විකුණා දමයි. මේ භූමියේ නිවාස තැනීම ඉතා අහිතකරයි. කිසිම වගතුවක් නැත.
    ගිලා බැසීමට ‍ගොදුරුවන ඉඩම්වල ද නිවාස තැනීම අශුභ ය. නාය යන භූමිවල නිවාස තැනීම ජීවිතවලට පවා තර්ජනයකි.පස්වලට යට වී මියයෑමට සිදුවේ.
    නිතර හෙණ වදින ඉඩම්වල නිවාස තනා පදිංචි වීම ඉතා අනතුරු සහිතයි. තද බෑවුම්වල නිවාස තැනීම ද කවදා හෝ මහ වැසි කාලයට නාය යාමට ලක් විය හැක. දිය පාරවල් පොළොව යටින් ගලා යන භූමි ද පදිංචියට සුදුසු නැත.
    කුකුලන්,ඌරන්,හරකුන් ඝාතනය කරන භූමිවල පදිංචිය අනතුරු සහිතයි. අධික ලෙස වාහන ධාවනය වන ස්ථානවල පදිංචිකරුවන්ට නිතර පපුවේ අමාරු සෑදේ. වාහන දුම නිතර ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මීට හේතුවයි. නිවසේ වෙසෙන කුඩා දරුවා සිට මහල්ලා දක්වා සියලු දෙනා ගිලන් වේ. ඇදුම, පීනස හෘද රෝගීන් මේ අතර වේ.
    විදුලිය නල ජලය දුරකථන, වෙළෙඳසල්,පූජනීය ස්ථාන,පාසල්,රෝහල්, බැංකු,රජයේ කාර්යාල, දුම්රිය ස්ථාන ලඟින් තිබිය යුතුයි. විශේෂයෙන් පාසල්.පූජනීය ස්ථාන, රෝහල් පිහිටා තිබිය යුතුයි. අඩුම වශයෙන් කිලෝ මිටර් 5 ඇතුළත නම් වරදක් නොවේ. ගමනා ගමන පහසුකම් ගැනත් සිතන්න. දැන් ඔබට හොඳ පරිසරයක් නිවෙසක් නැතිව අමාරු දෙයක් නොවේ.

    නිවසක් තැනීමට පෙර බෑවුම කොයි දිසාවටද හඳුනා ගන්න.සම බිමක් සේ පෙණුනද ජලය ගාලා යන්නේ කො‍යි දිසාවට ද යන්න වැදගත් වෙයි.එම දිසාව අනුම ඉඩමක ගුණ දොස් ඇති බව හඳුනා ගන්න.

    බෑවුම සොයා ගැනීමට
    පළමුව වතුර බාල්දියක් බිමට වක්කරන්න. එවිට බෑවුම තිබෙන දිශාව වතුර ගලාගෙන යයි. එයින් තීරණය ගැනීම ඔබට ඉතා පහසුයි.
    බෑවුම නැඟෙනහිර නම් එම භූමිය වාසයට සුදුසු භූමියකි. ඉතා ඉක්මනින් නිවෙස තනා අවසන් කර ගැනීමට හැකිවේ. කොඩිවින කර ඇති භූමියට නම් නිවාස සෑදීම කල්යයි. බාධා කරදර ගෙන එයි. එසේ ‍නොවේ නම් ධනය ලැබේ. බිරිඳට මුදල් ලැබේ. දරුවන් සැම දෙනාම ඉතා හොඳින් අධ්‍යාපනය ලබයි. දෙමහල්ලන් ඉතා සතුටින් කාලය ගෙවයි.

    බටහිර බෑවුම නිවාස තැනීමට අශුභ වේ. බිරිඳ සහ සැමියා නිතර අසනීප වේ. ධනය අධීක ලෙස වැය වේ. ණයවීමට සිදුවේ. දූ දරුවන් අකීකරු වී අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කර ගනී. හිතුවක්කාර විවාහ කරගෙන දුක්විඳි. අනාගතය ගැන කිසිම අරමුණක් නැත. අද හම්බ කරපු මිල මුදල් අදම වියදම් කරගෙන හෙට ණය වෙයි. දූ දරුවන්ගේ දියුණුව ඇණහිටී. විවාහ කඩාකප්පල් වීම, දරු සම්පත් අහිමි වීම වේ. මෙය පුරාණ මතයයි.

    උතුරු දිශාවට බෑවුම පිහිටි ඉඩම පදිංචියට ඉතා හොඳයි. සැප සම්පත් ලැබේ. දිනෙන් දින පවුල දියුණුවට පත්වේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් යාන වාහන දියුණුවට භාග්‍ය උදාවේ. ස්විප් වාසනා හිමිවේ. දූ දරුවන් පින්වන්තයි. ඔවුන් හොඳ විවාහ කරගෙන පින්වත් වාසනාවන්ත දූ දරුවන් ලබයි. පවුලේ උදවිය සැවොම සතුටින් කාලය ගෙවයි. මේ වැනි පවුලට ඊර්ෂ්‍යා කිරීමට අණවින කොඩිවින කිරීම සිතීමත් වරදකි.
    දකුණට බෑවුම යහපත්වේ. මෙහි මුල් කාලය ඉතා හොඳයි. නිවැසියන්ගේ චර්යාධර්ම අනුව මෙය වෙයි. විනීතව ගතකළොත් පවුල පිරිහීමට පත්වේ. සුරාවට, අධි කාමසේවනය, මත්කුඩු භාවිතය, සොරකම් කිරීම, අනුන් රැවටීම, මව්පියන්ට හිංසා කිරීම ඇතිවීමට ඉඩ ඇත. සිහිනෙන්වත් වරදක් කිරීමට පෙ‍ළඹෙන්නා එපා.

    ගිනිකොණට බෑවුම් නම් ඉතා වාසනාවන්ත භූමියක් බව පිළිගැනේ. මෙහි වැසියන්ට සෙත් කවි" වුවමනා නැත. ඉබේම සෙත් ලැබේ. එහෙත් මෙය ලැබෙන්නේ පෙර පින් ඇති අයටයි. නැතිනම් කරදර බාදා ඇතිවේ. සමහරු වස විස පානය කර ජීවිත හානි කර ගනී. පාප මිතුරන් ඇසුරට වැටී හිරේ විලංගුවට වැටේ.
    වයඹට බෑවුම යහපත් භූමියකි. සුබ පල සමපල ලැබේ. මෙහි වෙසෙන අය විදේශවල වැඩි කාලයක් ගත කරයි. දැහැමි ජීවිත ගත කරන්නෝ ද වේ. තමන් පාඩුවේ ජීවත්වන පවුලකි. උත්සාහයෙන් ජීවත්වේ. අනුන්ට කරදර කරන්නේ නැත. අසරණයින්ට පිහිට වේ. පින්වත් දරුවන් ලැබේ.
    අශුභ භූමිවල ජලය බැසීම හොඳ දිශාවකට යොමු කර මේ දෝෂ මඟහරවාගෙන සුබපල ලබා ගන්න.

    නිවෙසක් තැනීමට සුදුසු පස
    බොරළු ගල් කැට ඇති භූමිය ඉතා වාසනාවන්තයි. කිරි පැහැති පස භූමිය පදිංචියට අශුභයි. ධන හානි ජීවිත හානි වේ. ලොකු බොරළු ඇති භූමිය එතරම් හොඳ නැත. දරුවන්ට පිය සෙනෙහස අහිමිවීමට ඉඩ ඇත. තැනින් තැන අගල් පිහිටි ඉඩම වාසයට සුදුසු නොවේ. විශාල ගස්වල මුල් පොළොව යටින්ඉඩම පුරා ගොස් ඇත්නම් නිවාස තනන්න එපා. කලකදී බිත්ති ඉරි තලා ගිලා බසී.

    මාතලේ ප්‍රදේශයෙහි මෙවන් ලක්ෂණ දක්නට ඇත.එම බිමෙහි පදිංචියෙන් ඈත්වන්න. හැබැයි ගොවිතැනට සුදුසුයි. හුඹස් බැඳි භූමියෙහි ජලය ඇත. පදිංචිට මධ්‍යමයි. ගිනි දැල් මිශ්‍ර භූමිය තිරිවාණ ගල් පිහිටි භූමිය වාසයට මධ්‍යමයි. කහ පැහැති පස පදිංචියට සුදුසුයි. කළු පස පදිංචියට සුදුසු නැත. පදිංචි අයට සොර බිය තොර ලෙඩ රෝග ඇතිවේ. ලේපාට පස නම් දියුණුව ඇතිවේ. වාසනාවන්ත භූමියකි. නිවෙසක් තැනීමට පෙර පස සහ බෑවුම ගැන සිතන්න.


    ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉඩමේ බොරළු මිණිකැට ලෙස වටී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top