728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    බෝධිය පව් සෝදන පින්තොටද?


    නවග්‍රහයින්ගෙන් පොදුවේ අප කා‍ටත් ග්‍රහ අපල ගෙන එයි.ඇතැම් ග්‍රහයින්ගෙන ලැබෙන අපල වලින් අපට එතරම් අහිතකර අශුභපල නොලැබෙන අතර ඒවා බෝධි පූජාවකින් සෙත් කවියකින් දේව පූජාවකින්
    යන්ත්‍රයකින් නූලකින් එම අපල තුනීකර ගැනීමට පුළුවන. ඇතැම් කර්ම ඒවායින් සමනය කරගත නොහැක.මිනිසකු වස පානය කිරීම නිසා මිය යාම වෙඩි වැදී ,බෝම්බයකට හසුව එසේත් නැතිනම් ගසකින් වැටී හෝ දියේ ගිලී මිය යෑම අපි දකිමු.මේ ඇතැම් අපලයකට කොතරම් ශාන්ති කර්ම කරත් පල ලබන්නට නොහැක.ඉරණමේ ලෙසින්ම පව පලදෙයි.

    තිලොවට අග්‍ර වූ අසම සම බුදුපියාණන්ට බුදුබව ලැබීමට උපකාර වූ ජය ශ්‍රී මහා බෝධියට අප පූජා තබන්නේ බුදු රදුන් පෙන්වා දුන් කළගුණ සැලකීම සිහිපත් කරමිනි.
    නමුත් වර්තමානයේ බෝධි වන්දනාකරන සමහරු ප්‍රසිද්ධියේ ම කරන සමහර ක්‍රියා නම් අනුමත කළ නොහැක.රතු රෙද්දක් පොරවාගෙන බෝධිය අභියස හිඳ මහ හඬින් බෝධි පූජා කවි කියන්නෝ සිටිති.මේ සමඟ එක්වන පිරිසක් හිස බිමට හරවාගෙන වැඳ යාදින දේට කන් යොමා අසා සිටිති.මෙසේ කරන සිල් මාතාවන් ද සිටින බව මා දැක ඇත.සමහරු බෝධිය අභියස පරල වී ශාස්ත්‍ර කියති.තමත් අය මියගිය ඥාතියා බෝධියට බාර කරති.එසේ බාරකළ"මෑණි" ‍කියන තැනැත්තියක මටද හමු විය.ඇය කීවේ භූතයා බෝගසට තබා බැන්ද බවයි.‍බුදුරදුන් පිටදුන් බෝධීන් වහන්සේ වෙත පුදන අප මේවා කෙසේ පිළිගත යුතු දැයි ඔබ මඳක් සිතා බලන්න.මෙය බෝ රදුන්ට කරන නින්දාවක් බව මට සිතේ.

    පූජාවට්ටි බෝධියට තබා දුම් අල්ලා දුම්මල ගසන අවස්ථාද දැක ඇත.එවැන්නන් බැත්මතුන් සූක්ෂම ලෙස මුලා කරන්නෝ නොවෙත් ද?සමහරු වටතිර ඇද ඒ තුළට වී භූතයන් අල්ලයි. පොත බලා මන්තර කියයි.
    අපේ උතුම් බෝධිය ළඟ ද බොරුව රජකරවන්නෝ සිටීම කෙතරම් අභාග්‍යයක්ද?කේවට්ටයන්ගේ ජන්ම භූමියක් බවට බෝමළුව පත් කරගෙන ගැනීම කනගාටුවකි.ඇතැම් උපාසක උපාසිකාවන් උපායෙන් පිරිස මුලාකර බෝධි පූජා තබා දේවාලයේ කපු මහතා කියන යාතිකා කර දේව නමස්කාරයේ යෙදේ.බුදු දහමට මෙය පටහැනිය. දෙවියන් ට අවශ්‍ය වන්නේ පින් ය.‍බෝධි පූජා යැයි පිරිස රවටන අය මෙසේ දෙවියන්ට තමන් කළ පවු අනුමෝදන් කරති.

    බෝධි පූජාවකින් පවුලේ සමඟිය ඇති කිරීම,ග්‍රහ අපල දුරුකිරීම,රෝග සුවය මෙන්ම පැනගියවුන් ගෙන්වා ගැනීම,නිවාස තනවා දීම,ලොතරැයි දිනුම් ලබාදීම ආදිය කළහැකි බව පවසමින් සමහරු මුලාකරති.සමහරු මුදල් උපයා ගැනීමට මෙවැනි දේ කරති.තම පවුලේ අය ලේලිය දරුවන් සමගවත් සමඟිව සිටීමට නොහැකි අය බොහෝ විට මෙවැනි කටයුතුවල යෙදෙන බව අපි අත්දැක ඇත.දූෂිත මෙවැනි අය අතින් බොධි පූජා තබා පිහිට ලබාගත හැකිද?

    ‍කරදර බාධක උපන් සැමට පොදු දහමකි.මේ බව දැන ඔබ මනා සිහියෙන් කටයුතුකරන්න සිතට ගන්න.සද්ධාව නම් දහම්ගඟේගිලී සිත සැහැල්ලුකර ගන්න එවිට ඔබට හැකි වෙයි.


    ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බෝධිය පව් සෝදන පින්තොටද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top