කෙනෙකු මෙලොව උත්පත්තිය ලබන මොහොතේදී පැවති ග්‍රහ බලයට අනුරූපවත් ගත කිරීමට අදාළ වන්නා වූ මහ දශාවන්ට අනුරූප වත් ජීවිත කාලය ගත කරනු ඇත. සිදුහත් කුමරු කිඹුල්වත් නුවර ශාක්‍ය වංශයේ සුදොවුන් නම් මහ රජුටත් මහාමායා දේවියටත් දාව උත්පත්තිය ලබා වැඩිවියට පත්ව ගිහිගෙය එපා වීම, සිරුරට දුක් දීම, බුදු වීම, නින්දා අපහාස විඳීම හා පිරිණිවන් පෑම දක්වා වූ කාල පරිච්ඡේදය උපත ලැබූ මොහොතේ පැවති මහ දශාවට අනුරූප වෙමින් ගෙවන ලදී.
බුදුරජාණන් වහන්සේගේ ජන්ම ලග්නය ලෙස සඳුට අයත් කටක ලග්නය වන අතර ගුරුට අයත් විසා නැකතින් ජන්ම ලාභය ලැබීය. ජන්ම ලග්නයේම බ්‍රහස්පති ග්‍රහයා උච්ච බලයෙන් යුක්තව දිග් බලව තැන්පත්ව සිටි හෙයින් බ්‍රහස්පතිගේ මහ දශාව සිදුහත් කුමරු ඉතා ප්‍රීතිමත්, සැපවත් කාලයක් ගෙවන ලදී. ගුරු මහ දශාවේ රාහු අන්තරයේ යසෝදරා කුමරියව සරණ පාවා ගත්තේය.
වයස අවුරුදු 35ක් වන තුරුම ගෙවීමට නියමිත වූ සෙනසුරු මහ දශාව කාලයේ සිදුහත් කුමරුගේ ජීවිතය වෙනසකට ලක් විය. කටක ලග්නයට සෙනසුරු සුබ පල ඇති නොකරයි. සෙනසුරු ග්‍රහයා ලෞකික ජීවිතයකට වඩා ලෝකෝත්තර ජීවිතයකට බර කරවන ග්‍රහයෙකි. ගුරු මහ දශාවේ රාහු අන්තරයේදී විවාහ වුවද විවාහ ජීවිතයත්, ගිහි ජීවිතයත් සෙනසුරු මහදශාවේදී කල කිරීමට විය. සෙනසුරු මහ දශාවේ දී දක්නට ලද සතර පෙර නිමිති ද සිදුහත් කුමරුගේ කලකිරීමට හේතු විය.
වයස අවුරුදු 29 තමාට දාව උපන් බිළිඳු කුමරු ද තම දේවියද හැර දමා කන්තක අසු පිටින් නේරංජනා නදිය තරණය කර හුදකලාව ගත කිරීමත් සෙනසුරුගේ අඟහරු අන්තර් දශා කාලයේ සිදු විය. අනතුරුව උදාවූ සෙනසුරුගේ රාහු අන්තරයේදී දුෂ්කර ක්‍රියා කරමින් පාරමී පුරන්නට විය.
කෙසේ වෙතත් රාහු අන්තරය වසර 2යි. මාස 10කුත් දින 6ක් පැවතිණි. ඉන් අනතුරුව උදාවුණ ගුරුගේ අන්තරයේදී නැවත වරක් බ්‍රහස්පතිගේ බලය ලැබිණි. ඒ අනුව දැඩි දුක් දීමෙන් පලක් නොවන බව අවබෝධ විය. මෙසේ විවිධ වු දුක් දෙමින් සෙනසුරුගේ රාහු අන්තරය ගතකළ සිදුහත් කුමරු සෙනසුරුගේ ගුරු අන්තරයේදී මධ්‍යම ප්‍රතිපදාවෙන් ගත කරන ලදී. වයස අවුරුදු 35ක් වීමෙන් අනතුරුව උදාවූයේ උත්පත්ති ජනම කේන්දරයේ බලවත් වූ රවි සමඟ දසවැන්නෙහි තැන්පත්ව සිටින බුධ ග්‍රහයාගේ මහ දශාවයි.
පිවෙත් කර තදින්
අවුරුදුළි සයක් පබදින්
ගත් වෙන වෙන ලදින්
වන් මහවන සොයා නොලදින්
මැදුම් පිළිවෙත සිට
සැපදී මදක් සිරුරට
සේනානි ගමට
ගොසින් අංපාල නුග සෙවණට
බුධගේ බුධ අන්තරයේ දුක, දුකට හේතුව , දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් සිදුහත් කුමරු බුදුධත්වයට පත් වු සේක. බුධ මහ දශාවේ බුධ අන්තර් දශා කාලය වූ වසර 2යි මාස 4 දින 27 ක් වූ කාලය මධ්‍යයේ දී සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේට නුවණ ප්‍රඥාව පහළ විය. දහම් ඇස පහළ විය. බුධ අන්තර් දශාව අවසන් වීමට පෙර තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාගෙන් ලද ආරාධනාවක් මත බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි සේක. බුදුරජාණන් වහන්සේ දහම් අසා සුද්ධෝදන රජතුමා සෝවාන් බවට පත් විය. තම අගසව් දෙනමද සමඟ මාළිඟාවට වැඩිය බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ ගුණ වර්ණනා කරමින් චන්ද කින්නර ජාතකය වදාල සේක.
සදහම් දෙසන සඳ
නිකුත් කට හඬ මන නද
කුරුවි නදට නද
වඩා ගුණෙන් වෙයි නද
වයස අවුරුදු 38 දී උදාවූ බුධ මහ දශාවේ සිකුරු අන්තර් දශා කාලයේ දී විශාලා මහනුවර තුන් බිය දුරු කරමින් හා අසරණ අයට සරණ දක්වමින් ද ඇප උපස්ථාන කරමින් ද රජගහ නුවර ඉසිපතානාරාමයේ වස් වැසූ සේක. බුධ මහ දශාවේ සිකුරු අන්තරයෙන් පසු උදාවූ බුධගේ රවි අන්තරයේ දී තව්තිසා දෙව්ලොව වස් වැසූ සේක. උත්පත්තියේදී රවි දසවැන්‍නේ උච්චව දිග් බලයෙන් තැන්පත් වීම ඒ සඳහා ඉවහල් විය. වයස අවුරුදු 43දී පමණ උදාවූ බුධ මහ දශාවේ අඟහරු අන්තර් දශා කාලයේ යම් යම් බාහිර කරදර හේතුවෙන් සිත් පීඩා ද ඇති විය.
වස් වසා එම කාලය ගෙවූ සේක. අනතුරුව උදාවූ බුධ මහ දශාවේ ගුරු අන්තරයේදී ප්‍රසිද්ධියට පත් බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරන ලදී. පසුව එහි වස් වැසූ සේක. අනතුරුව උදාවූ බුධ මහ දශාවේ සෙනසුරු අන්තරයේ අලව් නුවරට වැඩම කර ආලවක යක්ෂයා දමනය කර අලව් කුමරු මරණයෙන් බේරා ගැනීමත් අංගුලිමාල දමනය කිරීමත් සිදු කරන ලදී. වයස අවුරුදු 52දී උදාවූ කේතු මහ දශාව බුදුරජාණන් වහන්සේට අයහපත් ලෙස බලපාන්නට විය. නින්දා අපහාස ලැබීමත්, නැති කරදර ඇති වීමත් හේතුවෙන් සමාජයෙන් ඈත්ව හුදකලාව අප්‍රසිද්ධව විසීමට සිදු විය. ශ්‍රී ශරීරයට තුවාල සිදුවීමද මේ කේතු මහ දශාවේ සිදු විය.
සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියේ දී සිකුරු යහපත් ලෙස තැන්පත් වී සිටි හෙයින් වයස අවුරුදු 59න් පසු උදාවූ සිකුරු මහ දශාව යහපත් විය. නමුත් කටක ලග්න හිමියාගේ කේන්ද්‍රස්ථානයක් වූ සතර වැන්නටත් බාධක ස්ථානය වූ එකොළොස්වැන්නටත් සිකුරු අයත් වූ බැවින් කටක ලග්න හිමියාට සිකුරු මාරක යෝගකාරකයාද වේ. සිකුරු මහ දශාවේ කේතු අන්තර් දශාව වන විටත් වරින් වර උදාර ආබාධයකින් පීඩා ලබමින් සිටි බුදුරජාණන් වහන්සේ කේතු අන්තර් දශාවේ දී වෙසක් මස පුර පසළොස්වක දින අළුයම් කාලයේ පිරිනිවන් පෑ සේක.
මෙලොව උත්පත්තිය ලැබූ ඕනෑම පුද්ගලයකුට තම උත්පත්ති කේන්දරයට අනුරූප වෙමින් ජීවිත කාලය ගෙවීමට සිදුවන බව බුදුරජාණන් වහන්සේගේ ජන්ම ශ්‍රී බුද්ධ කේන්දරය අනුව මනාව පැහැදිලි වෙයි. තමා අත්පත්තිය ලබන මොහොතේ පැවති කේන්දරයට අනුව සිය ජීවිතය ගතවීම පිළිබඳ ඔබත් විමසිල්ලෙන් යුක්තව පිරීක්ෂා කර බලන්න.
ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
0 comments:
Post a Comment