728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    ග්‍රහලොව සෙන්පති වෘෂභ රාශියට

    2015 මැයි මස 3 වන ඉරු දින රාත්‍රී 11 පසුවී විනාඩි 57ට අඟහරු තමාට සමපල උදා කරන්නා වූ වෘෂභ
    රාශියට පිවිසෙනු ඇත. රවිට අයත් වූ කැති නැකතේ දෙවන තුන්වන හා හතරවන පාදවලත් සඳුට අයත් වූ රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් වූ මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් ගමන් කරන්නා වූ අඟහරු 2015 ජුනි මස 16 වන අඟහරුවාදා පාන්දර එක පසුවී විනාඩි 8 දක්වා වෘෂභ රාශියෙහි බුධ ග්‍රහයාත් සමඟ යෝගව ගමන් කරනු ඇත. සෙනසුරුගේ නැකතක වක්‍ර ගමනක යෙදී සිටින සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය අඟහරු වෙත එල්ල වනු ඇත.

    ලෞකික බලය ලබා ගැනීමත් අනුරාග සිතුවිලි වැඩි කිරීම කෙරෙහිත් අඟහරු සිකුරුගේ රාශියට පැමිණීම සිදුවුවද ඥාණකාරක බුධ වෘෂභයේ තැන්පත්ව සිටීම නිසා තරමක් දුරට හෝ තද ආශාවන්ගෙන් මිදීමට හැකියාව හිමි වුවද මිනිස් සිත් පාලනය කර ගැනීමක් සිදු නොකළහොත් අනුරාගී හැඟීම් වැඩි වීම හේතුවෙන් ස්ත්‍රී දූෂණ මෙන්ම පැහැරගෙන යාම් ඉහළ යනු ඇත

    . භූමිය ආශ්‍රිතව පතල් කර්මාන්තවල නියලී සිටින අයට වටිනා මැණික් වර්ග හමුවන අතර විශේෂයෙන් පතල් ආශ්‍රිතව රැකියාවන්වල නිරතවී සිටින අයට හදිසි උපද්‍රවවලින් විවිධ වූ කරදර ඇති වනු ඇත.
    කෘෂිකර්මාන්තයේ නියලී සිටින අයට තරමක් අයහපත් වූ බලපෑම් එල්ල වන අතර තම කෘෂි භෝග කෘමි අවධානම් මෙන්ම ජල ගැලීම් හේතුවෙන් හානියට පත්වනු ඇත. අඟහරුගේ පූර්ණ දෘෂ්ටිය කාලාත්‍ර භාවය වෙතටත් අය භාවය වෙතටත් එල්ල වන අතර මේ කාල වකවානුවේ මහජනයාගේ සිත් දැඩි බවකින් යුක්ත වීමත් හදිසි තීරණ ගැනීම  හේතුවෙන් මත ගැටුම් දුර දිග යාමෙන් ආරවුල් ඇති වී ඝාතනය කිරීමද සිසු ගැටුම් ද උද්ඝෝෂණ ද ඇති වනු ඇත.

    ව්‍යාපාරික ගොඩනැගිලි හදිසි ආපදාවලට ලක්වේ. ගිනි ගැනීම් කඩා වැටීම්වලට ලක්වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වන අය තමාගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතු වකවානුවක් වේ.

    මේෂ 
    ඔබ නීති වෘත්තියේ යෙදී සිටින අයකු නම් ඔබගේ කටේ බලය පෙන්වීමට අවකාශ ලැබෙන අතර කථික තරග වලට ඉදිරිපත් වන දරු දැරියන්ට ද තරග ජය ලබා ගැනීමේ අවකාශ උදාවේ. කෙසේ හෝ තමා සතු ධනය වැඩිකර ගැනීමට උත්සාහ දරන ඔබ අනවශ්‍ය වියදම් නම් පාලනය කර ගත යුතුය.
    ණයට දීම්ද කිරීම නොකළ යුතුය. තම පවුලේ දියුණුව වෙනුවෙන් පවුලේ අය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.
    ඔබට ලැබිය යුතුව පවතින මුදලක් තිබේ නම් එම මුදල් ලැබීම තවදුරටත් ප්‍රමාද වනු ඇත. හදිසි ශරීර පීඩා ඇති විය හැකි බැවින් ද අවධානම් තැන්වලට යාමෙන්ද වැලකී සිටීම යහපත් වනු ඇත.

    වෘෂභ 
    තමාගේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයක් වේ. හදිසි කේන්ති යන ගති මතුවන අතර තරමක් නපුරු අයකු මෙන් අන් අයට ඔබව පෙනෙනු ඇත.
     අධ්‍යාපන කටයුතුවල නිරත වන අයකු නම් ඔබ වෙනදාට වඩා උත්සාහයෙන් යුක්තව පාඩම් කටයුතු වල නිරත වනවා ඇත. ඔබගේ සහකරුට හෝ සහකාරියට හදිසි රෝගාබාධයක් මතුවිය හැක. මේ දිනවල ඔබ කරන සෑම ක‍ටයුත්තකදීම හොඳ අවධානයෙන් ක්‍රියා කළ යුතු අතර නීතිමය ප්‍රශ්නයකට මැදිවීමට හැක. හෘදය ආශ්‍රිතව රෝග පීඩාවලින් පෙලෙන අයකු නම් ශරීර ශක්තිය කෙරෙහි අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත.

    මිථුන 
    පවුලේ ප්‍රශ්න තරමක් දුරට වැඩි වනු ඇත. මේ කාලයේ ඔබට විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් ඇසුරු කිරීමට ඉඩ ප්‍රස්ථා ඇතිවේ. තම මතය නිවරැදිය යන මතයේ සිට කටයුතු කරන ඔබ තම වාසියට බොරු පැවසීමටද පසුබට නොවනු ඇත.
    ඔබ නොදත් සතුරු බලවේග ඔබට රහසේ ක්‍රියාත්මක වන අවකාශයක් වෙයි. තමා සතු ධනය යම් යම් හේතු මත වියදම් වීම් ඇතිවේ. නීතිමය ගැටලුවලට මැදිහත් වී සිටින අයකු නම් සාර්ථක විසඳුමක් අත් නොවනු ඇත.

    කටක  
    ඔබගේ ලැබීම් මාර්ග වැඩි දියුණු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. යම් යම් වැඩ කටයුතු සඳහා ඉදිරිපත් වීමේ ගති පෙන්නුම් කරයි. ඔබගේ නම ජනප්‍රියත්වයට හේතු නිතැතින්ම ලැබෙනු ඇත. කොතරම් වැඩ බහුල වුවද එම කටයුතු සැහැල්ලුවෙන් ඉටු කරන ඔබ නිතර විනෝදයෙන් පසුවනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතුවල නිරත  වී සිටින අයකු නම් ඔබට බැඳීම වැඩි වන අතර පවුලේ අය සමඟ විනෝද ගමන්වලට සහභාගි වීමට අවකාශ උදාවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින්නේ නම් ඔබගේ ලාබ වැඩි වී ආදායම සරු වනු ඇත.

    සිංහ
    ඔබ නොසිතූ ආකාරයේ ශුභපල ඔබට අත්වනු ඇත. ඔබගේ පෙර පින් බලය මතු කරවන අතර රැකියා අපේක්ෂාවෙන් සිටි අයකු නම් ඔබට ගැලපෙන ආකාරයේ රැකියාවක් ඔබට හිමි වනු ඇත. ඔබ කරන රැකියාවේ වෙනසක් හෝ උසස්වීමක් අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ද ඉටුවේ. පුණ්‍ය කටයුතු අවස්ථා සඳහා සහභාගි වීමට අවස්ථා ඔබට ලැබෙනු ඇත. හදිසි ධනලාබ ඇති වනු ඇත. ඔබ කුජ මහ දශා හෝ අතුරු දශා ගත කරන අයකු නම් ඔබගේ දියුණුව නිතැතින්ම හිමි වනු ඇත. නමුත් තුලා වෘශ්චික ධනු නවාංශක හිමි නම් ඔබට සුබපල අත් නොවනු ඇත. ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට යහපත් කාලයක් ද වනු ඇත.

    කන්‍යා 
    සිතට අවිවේකී ගති ඇතිවේ. අවිවාහක අයට තමාට ගැලපෙන සහකරු ‍හෝ සහකාරිය හමුවන අතර තනිකඩ අය ප්‍රේම සම්බන්ධතාවලට පැටලෙනු ඇත. ඔබට වැඩ කටයුතු අධිකව සිදු කිරීමට සිදු වන අතර එම නිසාම ඔබට කිරීමට ඇති යම් යම් කාර්යයන් අතපසු වී යනු ඇත. හවුල් කටයුතුවල නිරත වී සිටී නම් එම කටයුතු වලින් සාර්ථක පල අත්කර ගත හැකි වේ. ඔබගේ ප්‍රයෝජන සඳහා නිවෙසට හෝ කාර්යාලයට විසිතුරු දේ මිලට ගැනීමට සිදුවේ.

    තුලා
    ඔබ සමඟ හිතවත්ව කටයුතු කරන අයගෙන් තරමක් පරිස්සම්ව කටයුතු කිරීමෙන් ඔබට ඉදිරියේ දී ඇතිවන බොහෝ කරදරවලින් මිදීමට හැකිවනු ඇත. තමන්ගේ වැඩ කටයුතු සඳහාද යම් යම් බාධා වීම් ඇති වේ. රථවාහන භාවිතා කරන අයකු නම් රිය පැදවීමේදී සැලකිලිමත් වන්න. ඔබගේ සහකරුට හෝ සහකාරියට රෝගාබාධ මෙන්ම ශාරීරික පීඩා ගෙන දෙනු ඇත.ඔබගේ ලැබීම් මාර්ගවලට යම් යම් බලපෑම් ඇති වීම මත ආර්ථික අපහසුතා පෙන්නුම් වේ. ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ අනවශ්‍ය ගැටුම් ඇති විය හැකි බැවින් මේ වකවානුව බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා යහපත් වේ.

    වෘශ්චික 
    ඔබගේ මතයට අනුව කටයුතු කිරීමටත් අන් අයගේ උපදෙස් වලින් බැහැරව තනි තීරණ ගන්නාවූ කාලයකි. කෙසේ වෙතත් ඔබ විසින් මුදලක් වියදම් කිරීමෙන් අමාරුවේ වැටීමට ඇති බැවින් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. විවාහ ජීවිතයේ ද යම් යම් ප්‍රශ්න කරදර ඇතිවනු ඇත. හවුල් කටයුතුවල නිරත වී සිටීනම් එම කටයුතුවලත් ගැටළු මතුවනු ඇත. නව රැකියා බලාපොරොත්තු වන අයට නව රැකියා හිමි වනු ඇත. මුත්‍රා ආශ්‍රිත රෝගාබාධවලින් ඔබට පීඩා ගෙන දෙනු ඇත.

    ධනු
    ඔබ අධ්‍යාපන කටයුතුවල  නිරතවන්නෙකු නම් එම කටයුතුවලින් බැහැරව ක්‍රියා කරනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුරට පත්වන කාලයකි.
    පවුලේ අයගේ ශරීර සනීපය අඩු වන කාලයක් වන අතර එම නිසා ඔබගේ සිතට ප්‍රශ්න වැඩි වනු ඇත. ඔබටත් ශාරීරක පීඩා ගෙනෙන කාලයක් වේ. යම් යම් කටයුතු සඳහා ඉදිරිපත් වීමේ ගති පෙන්වන ඔබට එරෙහිව පැවති යම් යම් සතුරු උපද්‍රව පරාජය කරගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.දරුවන් ලැබීමට සිටින මවුවරුන් තමාගේ ශරීර සනීපය පිළිබඳ හොඳ අවධානයකින් මේ දිනවල සිටිය යුතුවේ. තමා සතු ධනය වියදම් කරමින් රසවත් වූ ආහාර මිලදී ගැනීමට වැඩි කාලයක් ගතකරයි.

    මකර
    හදිසි කේන්ති යන ගති පාලනය කරගත යුතුවේ. ඔබට යම් කිසි දේපළක් හිමිවීමට ඇත්නම් එම දේපළ ඔබට හිමිවනු ඇත. පුණ්‍ය කටයුතු සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔබට හිමිවේ. රථ වාහන භාවිත කරන අයකු නම් අනතුරු වැඩිවීමේ ප්‍රතිශතයක් පවතින බැවින් සැලකිල්ලෙන් යුක්තව රිය පැදවීම් කරන්න. ගරු බුහුමන් ලැබීමට සුදුසු ඔබ ගරු බුහුමන්වලට ලක්වනු ඇත. මේ කාල සීමාවේ ඔබගේ දියුණුව උදෙසා දැඩි වෙහෙසක් ගනු ලබයි.

    කුම්භ
    තරමක් මුරණ්ඩු වූ ගති පෙන්වන තම මතයට අනුව වැඩ කටයුතු සිදු කරන කාලයකි. පවුල් ජීවිතයේ ද අනවශ්‍ය ගැටුම් මතභේද ඇතිවිය හැකි බැවින් සිත පාලනය කිරීම වඩාත් යහපත් වේ. ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට සිටියේ නම් එම බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් කටයුතුවල නිරතවන අයකු නම් යහපත්පල අත් වේ. තරග විභාග ආදියට මුහුණ දීමක් මේ කාලයේ සිදු කරන්නේ නම් ජයග්‍රහණ හිමි වනු ඇත.

    මීන
    ධන භාවයටත් ධර්ම භාවයටත් අධිපතිවූ අඟහරු සහජ ස්ථානයේ තැන්පත්වීමෙන් ඔබට ඔබගේ සැඟවුණු හැකියාවන් එළි දැක්වීමට හැකියාව උදාවේ. යම් කිසි රෝග පීඩාවකින් පීඩා විඳි අයකු නම් එම රෝග පීඩාවලින් මිදීමට හැකියාව ඇතිවේ. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග හඳුනා ගැනීමටත් එම බලවේග මර්දනය කරගැනීමටත් හැකියාව ලැබේ. මෙම දිනවල ඔබ අන් අය අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වනු ඇත. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයකු නම් තමාට ගැලපෙන ආකාරයේ රැකියාවක් හිමි වන අතර තමන් කරමින් සිටින රැකියාවේද තම දක්ෂතා අනුව උසස්වීම් හිමි වීමේ වාසනාව ලැබෙනු ඇත.

    ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහලොව සෙන්පති වෘෂභ රාශියට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top