728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    සම්බුදු රජාණන් උපන්දා ලොව පැවති මහා ග්‍රහ බලය


    හිරු සහ සඳු නොමැතිව සත්ත්වයින්ගේ පැවැත්මක් නැති ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි යැයි මා සිතමි. පෘථිවිය ඇතුළුව සියලුම ග්‍රහයින් එක පෙළට සිටින ආකාරය ගැන මොහොතකට සිතුවොත් දකින්නට ලැබෙන්නේ අපට කිට්ටුවෙන්ම මහ පොළොව වටකරගෙන සිටින්නේ සඳු, කුජ හා සිකුරු බවයි.

    ජීවින්ගේ සිතිවිලි හරහා ඔවුන් තුළ ගොඩ නැඟෙන බලයත් ශෘංගාරාත්මක හැඟීම් හා බැඳීම් එම ග්‍රහයින් තිදෙනාගේ මූලිකත්වයෙන් සත්ත්වයා තුළ ජනිත කරවයි. සිතිවිලි, ප්‍රජාව බෝ කිරීම, ආදරය හා ඇලීම, එකිනෙකා පරයන බලය මේ ආදී දේ සියලු සත්ත්වයාටම පොදුවේ ලබාදීම මෙම ග්‍රහයින් තිදෙනාගෙන් සිදුවෙයි.

    ජන්මියෙකුගේ ජන්ම පත්‍රයක සඳු, සිකුරු හා කුජ සංයෝගව තිබීම අති ධාවනකාමයෝගයක් හැටියට ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වෙයි. එම සංයෝගය ස්ත්‍රී කේන්දරයක පිහිටා ඇත්නම් ඇය පුරුෂ අන්තඃපුරයක් තබාගන්නා බවට ජ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන් වීමෙන්ම ඒ බව පැහැදිලි වෙයි. එය සිද්ධාන්තයක් පමණි. එම යෝගය තිබූ පමණින් එම කාන්තාව එවැනි තත්ත්වයකට පත් නොවන බව පාඨකයා සිහි තබාගත යුතුයි. මෙම ග්‍රහයින් තිදෙනාගේ සංයෝගයත් එම ග්‍රහයින්ගේ එකිනෙකා මත වැටෙන දෘෂ්ටියත් රවි,ශනි,ගුරු,රාහු,කේතු ආදී ග්‍රහයින්ගේ සංයෝග හා දෘෂ්ටිය ද පුද්ගලයාගේ ආශාවන්ගේ අසීමාන්තික බව හා අවම ආශාවන් ඇති බව තීරණය වනු ඇත. ජන්මීන්ගේ සකල ක්‍රියාකාරකම්වල ප්‍රමුඛයා තණ්හාවයි. ආශාව හෙවත් තණ්හාව පැවැත්මේ සාධකය යි.

    සඳු,කුජ හා සිකුරු ජීවීන්ගේ තණ්හාව කෙරෙහි එසේ බලපාද්දී බුද්ධිමත් සත්ත්වයාගේ තණ්හාව යටපත් කරන්නට හා ඊට එරෙහිව ක්‍රියා කරන්නට සූදානම්ව සිටින ග්‍රහයෙකු ද සිටී. ඒ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි. පෘථිවිය කේන්ද්‍ර කොටගත් විශ්වය අංශක 360 ප්‍රමාණය අංශක 13 කලා 20 ගණනේ නැකත් 27කට ත්, අංශක 3යි කලා 20 ගණනේ නැකත් පාද වශයෙන් කොටස් 108ත් , අංශක 30 ගණනේ රාශි 12ටත් වශයෙන් බෙදා ඇත. මෙහිදී අංශක 90 සිට 120 දක්වාත් 210 සිට 240 දක්වාත් 330 සිට 00 දක්වාත් ගුරු ග්‍රහයාගේ බලවත් ස්ථාන වෙයි. මෙම ප්‍රදේශයන් රාශි යොදා සඳහන් කළොත් කටක, වෘශ්චික හා මීන යන රාශී වේ. කෙනෙකු උපදින විට මෙවැනි රාශියක් ලග්නය වුවහොත් එම පුද්ගලයා අධ්‍යාත්මික වශයෙන් කිසියම් තත්ත්වයක් ලබාගැනීමට හැකියාව ඇති කරයි. මෙයින් වඩාත් ප්‍රබල වන්නේ කටක රාශියයි. එසේ වන්නේ එය ගුරු ග්‍රහයාගේ පරම උච්ච රාශිය වන නිසයි.

    කෙනෙකුගේ ලග්නය කටකය වුවහොත් එම කේන්දරයේ 5 වැන්න හා 9 වැන්න යන ධර්ම ත්‍රිකෝණය ගුරුගේ බලවත් රාශීන් වෙයි. කේන්දරයක බලවත්ම භාවය වන 9 වැන්න ගුරුට අයත්වීම කටක ලග්නකාරයාගේ විශේෂත්වය යි. කටක ලග්නකාරයාගේ දෙපස හෙවත් 2 වැන්න හා 12 වැන්නේ අධිපතියන් වන්නේ රවි හා බුධයි. මෙම රාශි දෙකට මැදි වූ කටක ලග්නය විශේෂත්වයක් ගෙන දෙයි.
    දර්ශනවාදය, ආගමික භක්තිය, පිරිසිදු හදවත, දුර දක්නා නුවණ, භාවනා කිරීම පෙර ආත්ම භවයන් හි කරන ලද කුසල් ගැඹුරු ධර්මයන් අධ්‍යයනය යන මෙම කරුණු කේන්දරයක 9 වෙනි භාවයෙන් අනාවරණය වන කරුණු වෙයි.

    වි‍ශ්වයේ අති විශේෂ වූ ගුරු ග්‍රහයාට කටක ලග්නකාරයාගේ 9 වැන්න අයිති වීමම කටක ලග්නයෙන් උපදින අයගේ ස්වභාවය ගැන අවබෝධ කරවන්නකි. එසේම පෞරුෂත්වය, නැණවත් බව, සත්‍යවාදී බව දැඩි බව, ස්ථිර ප්‍රතිපත්ති, රවි ග්‍රහයා නිවේදනය කරයි. තියුණු බුද්ධිය, කතාව විචක්ෂණ බුද්ධිය පිළිබඳව බුධ ග්‍රහයා නිවේදනය කරයි. එසේ නම් රවි හා බුධ යන ග්‍රහයින් දෙදෙනාගේ සංයෝගය ඇතිවීමෙන්පුද්ගලයාගේ බුද්ධිය කෙබඳදැයි හොඳ අවබෝධයක් ලැබෙනු ඇත. මෙවැනි ග්‍රහයින් දෙදෙනෙකුට අධිපති වන භාව දෙකකට මැදිවුනු කටක ලග්නයෙන් උපදින අය බොහෝවිට සාන්තුවරු දර්ශණවාදීන් හා අධ්‍යාත්මික පැත්තට නැඹුරු වූ අය වෙති. කටක ලග්න අයගේ රවි හා බුධ සංයෝගය ධනය ඉපයීමට හා ලෞකික සැප විඳීමට ආශාවක් ඇති නොකරයි. එයට හේතුව දෙවැන්න ධනය හා ලෞකික වශයෙන් ලැබෙන දේවල් ද 12 වැන්න වැය වීම් හා අහිමි වීම් ද කියවෙන භාව දෙකට අධිපතිකම් දරන රවි හා බුධ වීම නිසයි.

    නැකත් පාද 108කට කොටස් කරන ලද විශ්වයේ සුවිශේෂ වූ කොටසක් ඇත. එය අංශක 90 සිට 93යි කලා 20ය. එනම් කටක රාශියේ පුනාවස නැකතේ 4 වන පාදයයි. මේ පුශ්කර වර්ගෝත්ථම නවාංශකය යි. මේ පුශ්කර වර්ගෝත්ථම නවාංශකය නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පවතිද්දී ජන්මියෙකුගේ උපතක් සිදුවුවහොත් කටක ලග්න හා කටක නවාංශකය හිමි ඔහු ඉතා බලසම්පන්න කෙනෙකු වෙනවා පමණක් නොව එම ජන්මියාට ගුරුගේ බලපෑම මත තණ්හාව දුරු කරගන්නට හැකි අධ්‍යාත්මික පරිසරයක් නිර්මාණය වෙයි.
    නිමක් කොනක් නැති සසරෙහි සැරිසරන අපට අති ධාවන කාම යෝග කොතෙක් තිබුණත් ගුරුගේ බලපෑම ඇතා නැතා මේ පිළිබඳව නිවැරදි හා පැහැදිලි අවබෝධයක් අප සතුව ඇත. ඒ මීට වසර 2558කට පෙර වෙසක් මස පුර පසළොස්වක දා චක්‍රවර්තී රාජ ‍යෝගයන් සහිතව පුෂ්කර වර්ගෝත්ථම නවාංශකයක් ඇතිව පෙරවරු 11ත් 11.30ත් අතර සියලු සත්ත්වයා දුකින් මුදවන්නට පහළ වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසාය.

    ඉහත වගුවට අනුව සිද්ධාර්ථ කුමරුගේ කේන්දරයේ ග්‍රහයන්ගේ පිහිටි ස්වභාවය ඉතාමත් බලවත් ය. ඊට අමතරව රාහු සහ කේතු තැන්පත් භාවයන්ගේ අධිපතියන් වන සඳු සහ ශනි සංයෝගය තමන්ගේ අරමුණ කෙසේ හෝ මුදුන්පත් කරගැනීම ඒකායන බලාපොරොත්තුවක් ලෙස ජන්මියා පොළඹවන යෝගයකි. එම ග්‍රහයන් දෙදෙනාම බලවත් ගුරුගේ නැකතේ සිටිමින් ලග්නය හා ගුරු දැකීම මුලින් සඳහන් කළ ආකාරයට තණ්හාව දුරුකොට සත්‍ය ගවේශනයකට මංපෙත් විවර කරදෙන හා අධ්‍යාත්මික ජීවිතයක් ගෙන යන්නට මග පාදා දෙන පිහිටීමකි. ලග්නාධිපති සඳු සෙනසුරු සමඟ සංයෝග වීමත් සෙනසුරු අෂ්ටාමාමිස ගතවීමත් දුර්වල ය.

    මුලින් සඳහන් කළ ආකාරයට කටක ලග්න හිමි අයට රවි බුධ සංයෝගය ලෞකික වශයෙන් සුබ නැත. ගෘහ ජීවිතයේ කරදර ‍බොහෝ ඇති කරයි. එම යෝගය 10 වැන්නේ රවි බුධ ග්‍රහයින්ව අශුභ ලෙස දැකීම හා සඳු ශනි ගුරුගේ නැකත්වල සිටීම ලෞකික සැප නැතිකරන්නටත් භාවනා ක්‍රම වෙත යොමු වන්නටත් ගිහි සැප අත්හරින්නටත් හේතු ඇති කරයි.

    යමක් විනිශ්චය කරන්නටත් පෘථුල අදහස් ද සියුම් දර්ශන ඥාණය හා සිහි බුද්ධියද ලෞකික දේ ගැන ඇති විපුල ඥාණයද යුක්ති සහගත තීන්දුවලට බැසීම ද කරුණු තේරුම් බේරුම් කිරීමේ දී දක්වන අපක්ෂපාතී බව ගුරු හා බුධ සංයෝගයෙන් කියවෙයි. ඉතා සියුම් ලෙස නවාංශක කේන්දර සටහනේ බුධගේ බලවත් රාශීය වන කන්‍යාවේද මානසික තත්ත්වය ගැන අනාවරණය වන භාවය වන 3 වැන්නේ එම ග්‍රහයින් දෙදෙනා සංයෝගව ඇත.

    මෙය අපූර්වත්වය දනවන කේන්දර සටහනකි. ස්වභාව ධර්මයට ආදරය දක්වමින් ස්වභාව ධර්මයට එකඟව ජීවත් වෙමින් ස්වභාව ධර්මයාම අපව දුකට පත්කරන තණ්හාව හෙවත් ආශාවන් ස්වභාව ධර්මයාට හිරිහැරයක් නොවන ලෙසට ස්වභාව ධර්මයාගේම බලය පාවිච්චි කර සාර්ථක ලෙස ජයග්‍රහණය කරා යොමුවන්නට මඟ පෑදූ කේන්දර සටහනක් වීම විශේෂත්වයකි.

    සිද්ධාර්ථ කුමාරයාණන්ගේ වයස 17 වන විට සිද්ධ නම් යෝගිනී දශාව ඉතාම අශුභ ලෙස පිහිටා තිබිණ. ප්‍රගමන කේන්දර සටහනේ ලග්න භාවය 8 වැන්න වීම ගෘහ ජීවිතයේ පරාජයක් පෙන්වූ කාලයක් විය. විංශේත්තරී දශා ක්‍රමයට අනුව වයස 17 දී සෙනසුරු මහ දශාව ලැබීය. 4 වැන්න දුර්වල කරන ලද සෙනසුරු එතැන් පටන් වසර 19ක් ලෞකික වශයෙන් දුක් සහිත ජීවිතයක් ගත කළේය. වයස 35 වන විට බුධ මහ දශාව ආරම්භ විය. එය යෝගිනී දශා ක්‍රමයට අනුව වයස 35 වන විට බුධට අයත් බද්රිකා නම් වූ දශාව ලැබූ අතර එහි ප්‍රගමන සටහනේ ලග්න භාවය 5 වැන්නට වැටීම තම අරමුණ ජය ගන්නට කාලය විය. දශා ක්‍රම දෙකෙන්ම නිවැරදි කාල නිර්ණයන් පෙන්වයි.

    සියල්ල මහා පුරුෂයාණන්ට එතැනින් එහාට ග්‍රහයින්ගේ බලපෑමක් නැත. පරිස‍රයේ බලපෑමක් ද නැත. අධික උෂ්ණත්වයේත් අධික සීතලයේත් වෙනසක් නැතිව වැඩමකර සිටින්නට හැකියාව ඇත. පරිසරයේ බලපෑමක් නැත. සියල්ල ජයගෙන හමාරය එසේ නම් එතැන් පටන් පවතින ග්‍රහයින්ගෙන්වත් මහ දශා යෝගිනී දශා අතුරු දශා වැඩක් නැත. විශ්වයේ ඇති ඉහළම සැප භුක්ති විඳින්නට උන්වහන්සේට හැකි විය. උන්වහන්සේ දේශනා කළ ධර්මය භික්ෂු ජීවිතය ද ගිහි ජීවිතය ද වෙන් වෙන් වශයෙන් ගෙන සියලු ලෝ වැසියාම සැපවත් කරන්නට හැකි ප්‍රබල ධර්මස්කන්ධයකි. මේ අනුව සියලු ග්‍රහ අපල දුරු කරගන්නටත් අවම කරගන්නටත් ඇති එකම පිහිට බුදු දහමයි.

    ජ්‍යොතිෂ විඥානාචාර්ය, විද්‍යා ජෝති පණ්ඩිත වෛද්‍ය ඩබ්ලිව් තිලක් පියසිරි
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සම්බුදු රජාණන් උපන්දා ලොව පැවති මහා ග්‍රහ බලය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top