728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-08

    හැදිච්චකම ගැන සදාකාලයටම වටින කතාවක්

    අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නා හිමි මෙසේ දෙසුවෝය
    සිංහලයිනි! මේ ඔ‍බේ අලුත් අවුරුදු සමයයි.දැන් ඔබේ නිවෙසෙහි සීතකරණය තුළ රසමසවුළු සිර වී තෙරපී නැකත උදාවන තුරු එළියට පනින්නට බලා ගෙන ඇත.කටට රහට කැවිලි පළතුරු ද මස් මාංශ අලුත් ඇඳුම් ආදිය අවුරුද්ද ය. බාර් වසන්නට කලින් ගෙනැවිත් ගබඩාකර ගත් මත්පැන් නැත්නම් මොන අවුරුදු ද?කය සන්තර්පනය හැරෙන්නට තවත් දෙයක් ආධ්‍යාත්මයක් ඇතැයි සිතන්නේ කීයෙන් කීදෙනා ද?තවත් කෙනෙක් තමන්ගේ දරුවන්ටත් අවුරුද්දක් ඇතැයි සිතා මාසික වැටුපත් අවුරුදු අත්තිකාරමක් බිරිඳ ඉතිරි කළ කැටයේ සොච්චමත් ගෙන යන්තමින් පිරිමසා ගනිති. අසල්වැසියාට දෙවැනි නොවන්නට කටයුතු කරන්නෝද සිටිති. තවත් කෙනෙක් දරුවන්ගේ සිත් නොතලන්නට කනකර උකස්කර අවුරුදු කති. තවත් අයෙක් යාන්තමින් කිරිබතක් පමණක් උයාගෙන හූල්ලති.

    රටම අවුරුදු කන මොහොතේ මහළු මඩම්වල මවුපියවරු අවුරුදු කෑ හැටි මෙනෙහි කරමින් කඳුළු පිස දමති. තෑගි බෝග ගෙන පුතා ලේලිය බෑණා දුව එනතෙක් මහළු නිවසේ බලා සිටින්නෝද වෙති. තෑගි බෝග නැතත් මුහුණවත් දකින්නට එනු ඇතැයි බලා සිටින්නෝ ද වෙති. අවසානයේ අනේ උන්ටත් හරියට වැඩ රාජකාරි කියා හිතෙන් සමාව දෙන අයද සිටිති.

    අදින් අවුරුදු 58කට පෙර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංහලයාට " සිංහල සභ්‍යත්වය" පිළිබඳ මහා පඬිරුවනක් ලියූ ලිපියකින් ‍උපුටා ගත්තකි මේ. 1957 අප්‍රේල් රසවාහිණි සඟරාවට අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියෝ ලියූවකි.
    " පිරිසිදු සිංහල සභ්‍යත්වය බමුණාගෙන් හෝ ඔවුන් අනුව ගිය සෙස්සන්ගෙන් ඇති වූවා යැයි සමහරු සිතති. එය වැරදිය. සිංහල සභ්‍යත්වය යනු බෞද්ධ ආභාසය යි. බෞද්ධ සභ්‍යත්වය බුදුරජාණන් වහන්සේ ඇති කළාහ.

    බුදුරජාණන් වහන්සේ පහළ වූයේ එවන් උතුමකු පහළ වුවොත් යහපතැයි ද පහළ වී සත්ත්වයන් විඳින දුකින් එයට හේතු වූ අභිධර්මයෙන් ලොව මුදා ධර්ම මාර්ගයට ගන්නවා ඇතැයි ද කියා දැඩි බලාපොරොත්තුවක් මිනිසුන් තුළ පැවැති කාලයේ ය. බුද්ධෝත්තමයෙකු මිස සුළුපටු කෙනෙකුට මැඩලිය නොහැකි තරමට බහුතර ජනතාව නොමඟට බැස සිටීම, විශේෂයෙන්ම රාජ මහාමාත්‍යාදී පාලක පක්ෂය නොමඟ ගිය පූජක බලයට වහල්ව නොමඟම සුමඟ යැයි පිළිගෙන සිටීම එයට එක් හේතුවකි.

    රජෙක් සිහිනෙන් බිය වී තමාගේ ගුරු බමුණාට දන්වා ඔහු‍ගේ උපදෙස් පරිදි දුර් විපාකයෙන් මිදීමට සිය ගණනක් මිනිසුන් හා ගව, එළු, බැටළු ආදී තිරිසනුන් ද බිලි දීමට සැරසෙයි. කොසොල් රජු සිහින අනුව බමුණාගේ උපදෙස් පරිදි කරන්නට ගිය දෑ මෙයට නිදසුනකි. ගමක නුවරක මනා පෙනුමක් ඇති අවිවාහක යුවතියක දුටු විට ප්‍රසිද්ධ ගණිකාවක බවට පත් කිරීමට රජහු පවා පුරෝගාමී වෙති. අම්බපාලි ආදීනට වූ දේ මීට නිදසුනකි. රජහු පවා ශෝභන ස්ත්‍රියක දැක ඇය පාවා ගන්නට සිතුනු විට ඇය සස්වාමික බව දැනු‍ණොත් මොන උපායකින් හෝ ඇයගේ සැමියා මරා ඇය පාවා ගන්නට යටි උගුල් අටවති. කමුදුප්පලානීන දුග්ගත සේවක වස්තුව මෙයට නිදසුනකි.

    පහත් යැයි සම්මත කෙනෙකු වේදය කියවනු ඇසුවහොත් ඔහුගේ දිව කපා දමන්නට ද බමුණකු වේදය කියවන විට ශුද්‍රයකු එය අසා සිටියහොත් කනෙහි ලෝදිය වත්කර ද බන්ධන දෙන්නට ද රාජ නීතියෙන්ම අවසර තිබුණි. එදා ශිෂ්ඨ සමාජය වූ සෙස්සනට ගුරුව ආදර්ශ දෙන්නට සිටි බමුණන් අන් සිරිතක් තබා කන බොන සැටියෙන්ම නරකම ආදර්ශ දුන්හ. බොජුන් ගනිමින් වැලමිටි හන්දියේ පටන් ඇඟිලි අග තෙක් අත ලෙව කෑම බොජුන් ගෙන අවසන් වූ කළ හැම ඇඟිල්ලක්ම කට තුළ දමා ලෙවීම, කෑම කමින් තළු මැරීම, සුරුස් ගා ශබ්ද ඇසෙන අයුරින් වතුර බීම, නොයෙක් විට අඩ නිරුවතින් සිටීම ආදී නින්දිත පැවතුම් එදා උසස් යැයි සම්මත බමුණන් නිසා ඔවුන් අනුව යන බහුතර ජනතාව පුරුදු වී තිබුණාහ. මෙකී නොකී කෲරකම් නීචකම් අශිෂ්ටකම් උසස්ම පෙළේ උදවිය අතර ශිෂ්ඨ ධර්ම සේ පිළිගැනී පැවැති සමයක ඔවුන්ගේ බලයටවත් ගරු නොකරන වීර පුරුෂයෙකුගේ පහළ වීම අත්‍යවශ්‍ය සමයක බුදුරජාණන් වහන්සේ පහළ වූහ.

    බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාන්ත ගුණයෙන් එහෙත් අනභිබවනීය ‍තේජෝ බලයෙන් අප්‍රතිවර්ණීය දේශනා ශක්තියෙන් පරම ආදර්ශය පෑමෙන් ඒ රාජ මහාමාත්‍ය බ්‍රාහ්මණ ආදීන් දමනය කොට ඔවුන් සමානාත්මතා ධර්මයෙහි අවිහිංසක ප්‍රතිපත්තියෙහි " අග්‍රම ශිෂ්ටාචාරයෙහි" පිහිටවූ සේක. බමුණු ඉගැන්වීම්වල ශක්තිය බිඳ දමා කන බොන හැටි ඇඳුම් අඳින හැටි සමාජයේ ගැවසෙන හැටි ආදී ලෞකික දේ මෙන්ම ලෝකෝත්තර ප්‍රතිපත්ති මාලාව හෙළි පෙහෙළි කොට දේශනා සඳහා අනුගාමීන් යැවූ සේක. පැවිදි පිරිස පුහුණු කරවූ සේක. මෙයින් ශිෂ්ට ආදර්ශමත් භික්ෂු සංඝ නමින් පිරිසක් හැඳින්විණ. ඒ අනුව උපාසක පිරිසද තමන්ගේ කුල දේවතාවන් අනුව යන්නන් වී සියලුම ලබ්ධිකයන් අභිබවා ශිෂ්ඨ කාරුණික සමාජයක්ව බැබලුණාහ. ඔවුන්ගේ සභ්‍යත්වය බුදුරදුන්ගේ ආදර්ශය හා අනුශාසනය පරිදි හැඩගැසුණු භික්ෂු සංඝයා ඇසුරෙන් ලැබූ සභ්‍යත්වය බෞද්ධ සභ්‍යත්වය නම් විය. මේ එක් කලෙක දඹදිව පුරා පැතිර ගියේය.

    යම් තැනක බුද්ධාගම මුල් බැස ගත්තේද එයින්ම මේ බෞද්ධ සභ්‍යත්වය තදින් වැළඳ ගැනිනි.
    මිහිදු මා හිමියන් මඟින් ලක්දිව බුදු සසුන ස්ථිරව පිහිටුවීමත් ලක්වැසියා බෞද්ධ වීමත් යථෝක්ත සභ්‍යත්වය ලක්දිව පැතිර යාමට හේතු විය. ඒ අනුව හැඩ ගැසෙමින් සිංහලයෝ ලොවටම ආදර්ශමත් වූහ. ශිෂ්ඨාචාරයෙන් ක්ෂාන්ති , මෛත්‍රී ආදී අධ්‍යාත්මීය ගුණ සමුදායෙන් ගැඹුරු වූ ධර්ම ඥානයෙන් කලාත්මක නිර්මාණ කෞෂල්‍යයෙන් පර සතුරන් ඉදිරියෙහි නොපසුබස්නා එඩිතර වීර වික්‍රමයෙන් අන් සියලු ජාතීන් ඉක්මවා වර්ෂ දෙදහසකට නොඅඩු කාලයක් නිදහස භුක්ති වින්දාහ. මෙසේ වූ ‍සංස්කෘතිය හා සභ්‍යත්වය බෞද්ධ සභ්‍යත්වය යැයි ද බෞද්ධ සංස්කෘතිය යැයි ද ව්‍යවහාරයට පැමිණියේ ය. සිංහල සභ්‍යත්වය හා සිංහල සංස්කෘතිය ලෙස ව්‍යවහාරයට ආවේද එසේමය.

    මෙසේ ලක්වැසි බෞද්ධයෝ හෙවත් සිංහලයෝ වර්ෂ දෙදහසකට වැඩි කලක් උසස් සභ්‍යත්වයක් ඇතිව උසස් ම සංස්කෘතිය ලැබ සිටි. මත්තටත් එය නැසී යා නොදී රැක ගන්නට බැඳී සිටින විශිෂ්ට ජනතාවකි.
    පෘතුගීසී ආදී යුරෝපීය ජාති 3ක් ආශ්‍රයෙන් සිංහලයා සභ්‍යත්වයෙන් හා සංස්කෘතියෙන් එන්න එන්නම පිරිහුණා මිස නැඟුණේ නම් නැත. එදා චාම් පැවැත්මෙන් යුතුව ශිෂ්ටව ගුණාත්මකව සිටි රට ධර්මද්වීපයක් කළ සිංහල පරපුරේ අද සිටින අය කෑමට ඇඳීමට පිටරට දෙසට කටඅයා සිටීමට, යටත් පිරිසෙහි තම දරුවන්ගේ කෙළි බඩු සඳහා පවා පිටරටට දත නියවන, තවමත් තමාට වු දේ නොසලකා වියදම් අධික ජීවිතයකට බැස සූදුවට, මත්පැනට, කාමුකත්වයට වහල්ව අව සිහියෙන් පල්ලමකට පෙරළෙන්නන් සේ කරන විහිළු නොපෙනේ ද? මේ සිංහලයා වහලෙකු කිරීමට විජාතිකයන් පුරුදු කර වූ මාර්ගයෙහි අන්ධානුකරණයෙන් සිහි කල්පනාවෙන් තොරව යන ගමනෙකි.

    අතීතය දෙස යළිත් බලා එය වර්තමානයට ඇද ගන්නට දැන් කාලය එළැඹී ඇත. එය නොතකා හැරයොත් දැන් යන හැටියටම විජාතික තාල පිළි‍ගෙන තවත් අයට අනුව නටන්නට ගියොත් සිංහලයා අන්ත පරිහානියට වැටී සදා දාසත්වයේම කිසිකලෙක නොනැගිටින වැටීමකින් ඉන්නට සිදු වනු ඇත. නිදිගැට හැර විදේශීන් සිංහලයන්ගේ ඇස් මත්තෙහි ඇලවූ පටලය ඇසට අයත් එකක් නොව ඇස් අඳුරු කරන්නක් බව තේරුම් ගෙන ගලවා දමා පැරණි සභ්‍යත්වය අනුව නැගී සිටින්නට දැන් කාලය එළැඹ ඇත.

    මේ බලන්ගොඩ මහ නාහිමියන් අදින් වසර 50කට ත් එහා සිංහලයා ඇමතූ බස අදටත් වලංගු ය. මේ ජයට අවුරුදු කන සිංහලයා තමන්ගේ පපුවට තට්ටු කර මම මිනිහෙක් දැයි අසා තහවුරු කර ගත යුතුය.


    මතුගම මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හැදිච්චකම ගැන සදාකාලයටම වටින කතාවක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top