728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    දෙව්ලොවට මඟ කියන සදහම් යාත්‍රාව

    කෘත යුගය, නේත්‍රා යුගය, ද්විපර යුගය හා කලියුගය යන යුග සතර අතරින් ඔබ අප සියලු දෙනා වෙසෙන
    කලි යුගය, යුග අතර නරකම යුගයයි. ක්‍රි.පූ 2588 දී ආරම්භ වූ කලි යුගය වර්ෂ 4,32000ක කාලයක් පවතිනු ඇත. අද අප වෙසෙන 2015 වර්ෂය කලියුග වර්ෂවලින් 5115 වේ. එනම් මුළු කලියුග වර්ෂ 4,32000ක කාලයෙන් මේ වන විට වර්ෂ 5115ක් ගතවී ඇති අතර වර්ෂ 4,26 885ක් ඉතිරිව පවතී.

    කලියුගය කාලයේ වෙසෙන මිනිසුන්ගේ ගතිගුණ ඉතා කෲර බවත්, ධාර්මික අතින් ඉතා දිළිඳු බවත් බුදු දහමේ සඳහන්ය. කලියුග වර්ෂ 216000දී මිනිසුන් තිරිසනුන් ලෙස පහත් ආකාරයෙන් හැසිරෙන බවද සෘෂි මතයයි. ඒ බව මෙසේ සඳහන් වේ.

    "නිස්සාරා පෘථිවි නිරෞෂධී රසා නීචා මහත්වං
    ගතා රාජා අර්ථ පරායණෝ භූමි තලේ විප්‍රාන්‍ය කර්මස්ථිතා
    භාර්යා බන්ධුසු බද්ධ වෛරී හෘදයන් - ප්‍රත්‍රේ ද්වේෂතා
    ඉන්ථමි භූතමිදං ජගත් කලියුගේ දර්මෝ වනාන්ත්‍රං ගතඃ"

    මෙහි අර්ථය වන්නේ, පොළොව නිසරු වී ඖෂධවල ගුණය නැති වී යන බවත්, අසත්පුරුෂයෝ උසස් ස්ථානවලට පැමිණෙන බවත්, දේශපාලකයෝ මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කො‍ටගන්නා බවත්, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තමන්ට අයත් තාරුණ්‍යය පසෙක තබා අනෙක් කටයුතුවල නියැලෙන බවත්, අඹු සැමියන්, නෑ හිත මිතුරන්, පිය පුතුන් අතර වෛරය ද්වේශය ඇති වෙන බවත්, ධර්මය වන ගත වන බවත්ය.

    ඒ නිසා අනික් යුග තුනටම වඩා කලියුගයේ වෙසෙන මිනිසුන්ගේ ආයුෂ අඩුය. කලියුගයේ පරම ආයුෂ අවුරුදු 120ක් වේ. නමුත් මෙම 120ද පරම ආයුෂ වන්නේ කලියුගයේ මුල්කාලීනවය. කලියුගයේ අවසන් භාගය වන විට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 10 තෙක් අඩු වන බව දීඝ නිකායේ අග්ගත්තුක සූත්‍රයේ සඳහන් වේ.

    අප බුදු පියාණන් කලියුගයේ මුල් කාලීනව පහළ වී නිවන් මඟ සොයා ලෝක සත්ත්වයාටද අනුකම්පා කර එම මාර්ගය නොසඟවා වදාළහ. නමුත් එම සැබෑ සත්‍යයක් වූ බුදු දහම අද සමාජයේ වෙසෙන පුහුදුන් මිනිසුන් බොහෝමයක් ප්‍රතික්ෂේප කිරීමටත්, සැක පහළ කිරීමටත්, නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් කිරීමටත්, හාස්‍යයට ලක් කිරීමටත් පුරුදුව සිටියි. මිනිසුන් පරලොවත් විශ්වාස නොකරන තත්ත්වයටම පත්ව ඇත. සියල්ල මෙලොව පමණක් බව සිතන මිත්‍යාදෘෂ්ටික හේතුහාමිලා බවට පත්ව ඇත. සත්ක්‍රියා කිරීමේ පින්දහම් කිරීමේ කිසිදු පල ප්‍රයෝජනයක් නැතැයි සිතා දෙව්ලොව බඹ ලොව ප්‍රතික්ෂේප කරති.

    ඒවා සංකල්ප යැයි ප්‍රසිද්ධයේ හඬ නගති. එපමණක්ද නොව අෂ්ඨ සමාපත්ති, පංච අභිඥාලාභී සෘෂිවරුන් සත් භාවයෙන් යුතුව නිර්ලෝභීව සමස්ථ ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස ලොවට දායාද කළ උතුම් දිව්‍යමය විෂයක් වූ ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය හා දේහ ලක්ෂණ විද්‍යාව ආදී කොට ඇති දිව්‍යාමය විෂයයන් තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීම උදෙසා තිරස්චිත විෂයන් ලෙසත්, මිථ්‍යා දෘෂ්ටික විෂයක් ලෙසත් හුවා දක්වමින්, නොයෙකුත් තර්ක විතර්ක ගෙන හැර පාමින් ගැරහීමට ලක්කරති. ජ්‍යොතිෂය චිරස්ථිත විෂයක් වනුයේ ගිහි අපට නොව පැවිදි භික්ෂුන් වහන්සේලාටය. ඒ බව දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ 32 වන විවරණයේ ඉතා පැහැදිලිව සඳහන් වේ.

    කලියුගයේ වෙසෙන පුහුදුන් මිනිසුන් පරලොවත් නැතැයි සිතුවද, සියලු සත්ත්වයෝ කිසියම් ආත්ම භාවයකින් චුත වූ පසු තමා කර ඇති පින් හා පව් පදනම් කර ගනිමින් උපත ලබන තල 31ක් බුදු දහමේ සඳහන් වේ. ඒ මෙසේයි. සතර අපාය, බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම ලොක 4, මනුෂ්‍ය ලෝක 1 හා දිව්‍ය ලෝක 6යි.
    සදෙව් ලොව කාම ලෝකයට අයත් වේ. තිස්තුන් කෝටියක් වූ තලාටු, බුමාටු, අල්පේශාක්‍ය හා මහේශාක්‍ය ආදී කොට ඇති දෙවිවරු බහුතරයක් සදෙව් ලොව වසති. සදෙව් ලොව උපදින දෙවිවරු දේව නමින් හඳුන්වති. සදෙව් ලොව හෙවත් දිව්‍ය ලෝක 6 මෙසේයි. චාතුර් මහාරාජිකය තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරාතිය හා පරිනිර්මිත වසවර්තිය, වේ. මෙම දිව්‍ය ලෝක සය පිළිබඳ විස්තර වෙන වෙනම දැනගනිමු.

    * චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය -
    විනිපාතික සත්ත්වයෝ අයත් වන්නේ මේ දිව්‍ය ලෝකයටය. මෙහි ධ්‍රැත රාෂ්ඨ, විරූඨ, විරූපාක්ෂ හා වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරු වැඩ වසති. යම රජවරුන් ලෙස ක්‍රියාකරන රවිමානික ප්‍රේතයෝ ය. භුමාටු දෙවියෝද මෙය වේ. දෙවිවරුන්ගේ උත්පත්තිය ඕපපාතිකය. මෙහි ආයුකාලය පැහැදිලි කිරීමේදී මිනිස් ලොව වසර 50ක් චාතුර්මහා රාජිකයේ එක් දවසකි. එබඳු දවස් 30ක් එක් දිව්‍ය වර්ෂ 500ක් මෙහි පරම ආයුෂ වේ. එය මිනිස් ලොව අවුරුදුවලට පරිවර්තනය කළ විට අවුරුදු අනූ එක් ලක්ෂ විසිපන් දහසකි. (91,25 000)

    * තාවතිංස දිව්‍ය ලෝකය -
    මෙය ද පොළොවට ඉතා ආසන්න දිව්‍ය ලෝකයකි. තුසි පුරය, තිදස් ලොව යන නම් වලින්ද තාවතිංසය හැඳන්වේ. සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ වෙසෙන්නේ ද මෙහිය. මෙහි මිනිස් ලොව වර්ෂ 100ක් එක් දවසකි. එබඳු දවස් 360ක් එක් දිව්‍ය වර්ෂයකි. එවැනි වර්ෂ සංඛ්‍යාවෙන් අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයකි. (3 60 00000) චාතුර් මහා රාජිතයත් තාවතිංසයත් ශක්‍ර දේවේන්ද්‍රයන් නිතර වැඩ වාසය කරන දිව්‍ය ලෝක වේ. සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු චාතුර්මහාරාජිත දෙව් ලොවේ ගෙවී තිබෙන දෙව්ලොව කාලය දින 51ක් වන අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තාවතිංසය දෙව් ලොවේ ගෙවී තිබෙන දෙව්ලොව කාලය දින 26කි.

    * යාම දිව්‍ය ලෝකය -
    මිනිස් ලොව අවුරුදු 200ක් මෙහි දවසකි. එබඳු දවස් 360න් එක් දිව්‍ය වර්ෂයකි. යාමයේ පරම ආයුෂ දිව්‍ය වර්ෂ අවුරුදු 2000කි. (174000000) සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු යාමයේ ගෙවී ඇති දෙව් ලොව කාලය දින 13කි. මේ යාම දිව්‍ය ලෝකයේ උපදින්නෝ අධික සැප භුක්ති විඳිතියි ධර්මයේ සඳහන් වේ.

    * තුසිත දිව්‍ය ලෝකය -
    මෙය තව්තිසාව නමින්ද හැඳින්වේ. මෙහි මිනිස් ලොව අවුරුදු 400ක් එක් දිනයකි. එබඳු දවස් 360ක් එක් දිව්‍ය වර්ෂයකි. එබඳු දිව්‍ය වර්ෂ 4000ක් මෙහි පරම ආයුෂ වේ. එය මිනිස් ලොව වර්ෂ ගණනින් පනස් හත් කෝටි හැට ලක්ෂයකි. (57 60 00000) පාරමිතා සියල්ල පුරා බුදු වීමට නිසිකල් එනතුරු පස්මහ බැලුම් බලන ‍බෝසත්වරු මෙහි වැඩ සිටී. මෙහි සඳහන් කළ පස් මහ බැලුම් යනු කාලය, ද්වීපය, දේශය, කුලය හා මවයි. තවද දිව්‍ය ලෝක සයේම දේව සභා, දේව සමුලු ආදිය පැවැත්වෙන්නේද තව්තිසාවේය. බුදුවීමට ප්‍රථම ගෞතම බුදුන් සන්තුසිත නම් දෙවියකු ලෙස වැඩ සිටියේ ද මේ දිව්‍ය ලෝකයේය. එපමණක් ‍‍නොව මත්තට බුදුවන මෛත්‍රී බුදුන්ද නාථ දෙවියන් ලෙස වැඩ වසන්නේද දිව්‍ය ලෝකයේමය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තුසිත දිව්‍ය ලෝකයේ ගෙවී ඇති දෙව් ලොව කාලය දින 6ක්.

    * නිර්මාණ රතී දිව්‍ය ලෝකය -
    මෙහි මිනිස් ලොව අවුරුදු 800ක් එක් දිනයකි. එබඳු දිව්‍ය වර්ෂ 8000ක් මෙහි පරම ආයුෂ වේ. එය මිනිස් ලොව වර්ෂ ගණනින් දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයකි. ( 230 400 0000) මේ දිව්‍ය ලෝකයේද සැප සම්පත් අසීමිතය. මෙහි වෙසෙන දෙවිවරු සිය දිව්‍ය ශෝභාව ගැන ආනන්දයටත්, ආඩම්බරයටත් පත්වන්නෝය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිර්මාණ රාතී දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන දෙව් ලොව කාලය දවස් 3ක්.

    * පරිනිර්මිත වසවර්තිය දිව්‍ය ලෝකය -
    මෙහි එක් දිනක මිනිස් ලොව අවුරුදු වලින් 1600කි. එබඳු දවස් 360ක් එක් දිව්‍ය වර්ෂයකි. එය මිනිස් ලොව වර්ෂ ගණනින් නවසිය විසි එක් කෝටි දහසය ලක්ෂයකි. මෙහි වෙසෙන දෙවිවරු අනුන්ගෙන් ලැබෙන පින්වලින් දිව්‍ය සැප සම්පත් විඳී. එපමණක් නොව දිව්‍ය සම්පත් වර්ධනයද කර ගනී. මාර දිව්‍ය පුත්‍රයාද මෙහි වෙසෙන බව ධර්මයේ සඳහන් වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මේ දෙව්ලොවේ ගෙවී තිබෙන දෙව්ලොව කාලය දින 1යි පැය 14කි.

    දෙවිවරු ඕපපාතිකව උපත ලැබුවද ඒ ඒ දෙවිවරු උපත ලබන ඉරියව් වෙනස් වේ. එනම් අලුතින් උපත ලබන දෙවියකු කිසියම් දෙවි කෙනෙකුගේ උකුලෙහි පහළ වුවහොත් ඔහු හෝ ඇය එම දෙවියාගේ දරුවෙකු ලෙස සැලකේ.
    යම් දෙවියකුගේ සයනය මත දෙව්දුවක් පහළ වුවහොත් එම දෙවියාගේ බිසව ලෙස සැලකේ. දෙවියකුගේ සයනය වටා පහළ වන අය අදාළ දෙවියාගේ පිරිවර දෙවිවරු හා දෙවඟනක්ය. දිව්‍ය විමානයේ අනෙක් තැන්වල පහළ වන අනෙක් දෙවිවරු සුළු සේවක දෙවිවරු හා දෙවඟනක්ය. මේ සම්බන්ධව දීඝ නිකායේ මෙන්ම මජ්ජිම නිකායේ අටුවා වල පැහැදිලිව සඳහන් වේ.

    දෙවිවරු ඉතා සියුම් ශරීරවලින් යුක්තය. දෙවිවරුන්ගේ දිව්‍ය සළු, දිව්‍ය විමන් හා දිව්‍ය ශරීරයේ කාන්තිය දොලොස් යොදුන් පැතිරෙන බව ධර්මයේ සඳහන් වේ. දෙවඟනක් උත්පත්තිය ලබනුයේ වයස අවුරුදු 16ක තරුණ යෞවනියකගේ පෙනුම ඇතිවය. මුළු දිව්‍ය කාලය පුරාවටම එම පෙනුමෙන්ම පසුවේ. එසේම දෙවිවරු උත්පත්තිය ලබන්නේ වයස අවුරුදු 20ක තරුණ ජව සම්පන්න යෞවනයෙකු ලෙසය. මුළු දිව්‍ය ආයු කාලයම එම පෙනුමෙන් ගත කරයි.

    භද්‍ර යෞවන පෙනුම මුළු දිව්‍ය කාලය පුරාවටම පැවතුණද දිව්‍ය ලෝකයෙන් චුත වීමට ආසන්න වූ විට පෙර නිමිති පහළ වීම දැකිය හැක. ඒවා අතර පැලඳ සිටින දිව්‍ය මල් මාලා මැලවී යෑම, හැඳ සිටින දිව්‍ය වස්ත්‍ර සළු කිලිටි වීම, කිහිලි වලින් දහඩිය ගැලීම, දිව්‍ය ආසනයේ අසුන් ගෙන සිටින විට ඉන් ආස්වාදයක් නොලැබීම ප්‍රධාන තැනක් ගනී.

    දෙව්ලොවට නියමික ආයු කාලය අවසන් වී දිව්‍ය ආත්මයෙන් චුත වන දෙවිවරුන්ට අමතරව අධික ලෙස කෝපය ඇති වීම නිසා දිව්‍ය භාවය අ‍හෝසි වන දෙවිවරුන්ද සිටී. එමෙන්ම අධික සැප භුක්ති විඳීම නිසා නියමිත වේලාවට ආහාර පාන නොගැනීමද දිව්‍ය ආත්මය අහෝසි වීමට හේතුවන තවත් කරුණකි.
    දෙවිවරුන්ට මිනිස් ගඳ යොදුන් සීයක් දුරට දැනෙන බව පොත පතේ සඳහන් වේ. ඒ නිසා කිසිදු මනුෂ්‍යයෙකුට දෙවියන් වැහීමක් සිදු නොවේ. දෙවියන් මිනිස් සිරුරට විත් ආරූඨ නොවේ. මිනිස් සිරුරට ඇතුළු වන්නේ ප්‍රේත ආත්ම හෝ යක්ෂ ආත්ම පමණී. එසේ ඇතුල් විය හැක්කේත් ආත්මීය වශයෙන් දුර්වල මනුෂයන් තුළට පමණී.

    එක් ඇසක් කන කැස්බෑවකු විය සිදුරෙන් අහස දකින්නාක් මෙන් ලබාගත් අති දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවය, නිර්වානය තෙක් ඇති අපගේ දීර්ඝ සසර ගමන සැපවත් කර ගැනීමට අවශ්‍ය පින් රැස් කිරීමට ලැබුණු මහඟු අවස්ථාවකි. කාම දුගතියේ නොවැටී කාම සුගතියේම උත්පත්තිය ලැබීමට හැකි පමණ, හැකි සෑම විටම පින් රැස් කිරීමට වග බලා ගන්න. පින් රැස් කිරීම පිනෙහි හැසිරීම, කළ පිං නැවත නැවත මෙනෙහි කිරීම බුදුන් අනුදැන වදාළ කරුණු වේ. ඔබත් වැඩි වැඩියෙන් පින් දහම් කර සදෙව් ලොව උත්පත්තිය ලැබීමට වරම් හිමිකර ගන්න.

    ජ්‍යොතිෂවේදිනී දේශබන්ධු මංජුලා පුෂ්පරාංගනී පල්ලේ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දෙව්ලොවට මඟ කියන සදහම් යාත්‍රාව Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top