728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-08

    සූරිය දෙවිඳු නිල් මහනෙල් මල් ඇතිව

    ලක් දෙරණට රැස් විහිදන සුබ මොහොත


    මෙවර සිංහල අලුත් අවුරුද්ද 2015 අප්‍රියෙල් 14 වන අඟහරුවාදා දින අපර භාග 1.47ට උදාවෙයි. එතැන් සිට අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වෙයි. එම චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මේ වනවිටත් ඔබ දනිතැයි සිතමු. නොදන්නේ නම් මේ වසරේ ඕනෑම ලිතකින් හෝ පුවත්පත්වලින් දැන ගත හැකි වෙයි. මේ ලිපියේ අරමුණ ඒ ගැන කීම නොවේ. ඒ හා බැඳුණු සදාතනික සත්‍යය ගැන ඇතැම් විට ඔබ නොදන්නා කරුණු කියා පෑම ය. මේ පිළිබඳව කීමට පළමු කරුණු දෙකක් මනාව වටහා ගත යුතු ය.

    1 ලංකාවේ පිහිටීම හා ග්‍රහ මණ්ඩලයේ ගමන් රටාව විශේෂයෙන් සූර්යයාගේ ගමන් රටාව,
    2. අප්‍රියෙල් 13 හෝ 14 දිනයක්ම මේ සඳහා යොදා ගන්නේ ඇයි?

    අප වාසය කරන මේ භූමිය හෙවත් ලංකාව ලෝක සිතියමේ උත්තරාර්ධ ගෝලය වන නිරක්ෂයෙන් උතුරු කොටසෙහි නැගෙනහිර දේශාංශ අංශක 75 - 90 අතර කලාපයේ පිහිටා ඇත. හරියටම කිවහොත් නැඟෙනහිර දේශාංශ අංශක79 කලා 51 හා උතුරු අක්ශාංශක 6දශම53 අතර පිහිටා ඇත. හෙවත් නිරක්ෂය පැන උතුරට කෙටි දුරක් ගමන් කරන විට අප ලංකාව හමුවේ. මෙය මෙසේ පිහිටීමේ දී සූර්යයාගේ ගමන් මාර්ගය බලමු. සූර්යයා පෘථිවියේ සිට බලන විට පෘථිවිය වටා ගමන් කරතැයි අප උපකල්පනය කර සිටිමු.

    නමුත් සත්‍ය වන්නේ අප සූර්යයා වටා කරකැවෙමින් සිටීමයි. මේ සූර්යයා නැගෙනහිර සිට බටහිරට ගමන් කරයි. මෙසේ ගමන් කිරීමේදී මේෂ රාශියේ සිට මීන රාශි මණ්ඩලයට ගමන් කරයි. නැවත මේෂයට පැමිණේ. සූර්යා මේෂයෙන් ගමන ආරම්භ කරතැයි ද අපි උපකල්පනය කරමු. මේ අතර පෘථිවිය ද ස්වකීය කක්ෂය වටා භ්‍රමණය වේ. මේ නිසා අපට දහවල් රාත්‍රී කාලයන් උදා වේ. සම්පූර්ණ රාශි මණ්ඩලය ගත් විට එහි ප්‍රමාණය අංශක 360 කි. මෙය රාශි 12ට බෙදා එක් රාශියකට අංශක 30 බැගින් අයිති වේ. එනම් මේෂ රාශියට අංශක 30 වෘෂභයට අංශක 30 වශයෙන් රාශි 12ටම අංශක 360 කි.සූර්යයා මේ එකින් එකට ගමන් කරයි. මෙසේ යන ගමනේදී මේෂයේ සිට මීනයට ගමන් කරයි.

    සූර්යයාගේ ගමන් මාර්ගය
    මේ ගමනේදී (චිත්‍ර‍යේ දැක්වූ ආකාරයට) එක් එක් රාශිය පසු කරමින් මාර්තු 21 දින නැවත මීන රාශියට පැමිණේ. මේ සඳහා අවුරුද්දක කාලයක් ගතවේ. (ගෝල දෙකක් ඇඳ ඇත්තේ තනි ගෝලයක නො එසේම පසුපස පෙන්විය නොහැකි බැවින් ) මෙසේ ගමනේ යෙදීමේදී මාර්තු 21 දින මීනයට එයි. එයද පසුකර මේෂයට එයි. මීනයේ අවසාන අංශකය අත්හැර මේෂයට පළමු අංශකයට එයි. මෙසේ පැමිණීම අප්‍රියෙල් 13 හෝ 14 දින සිදුවේ. සම්පූර්ණයෙන්ම අත්හැරීමක් මේෂයට ඇතුල් වීමත් අතරට කාලය පැය 12 මිනිත්තු 48 ක් ගතවේ. මෙය සූර්ය සංක්‍රාන්ති වෙලාව සේ හඳුන්වනු ලැබේ. මෙය අපි 'නොනගතය' සේ හඳුන්වමු. 'පැමිණියා වූ ද ‍නොපැමිණියා වූ'ද කාලය වශයෙන් මේ කාලය දෙකට බෙදා පළමු අර්ධය හා අපර අර්ධය වශයෙන් ගණන් ගැනේ. පළමු අර්ධය ඇත්තටම සියලු වැඩ අත්හැර පුණ්‍ය කාලය සේ හඳුන්වා වැඩ අත්හැර සිටී. අපර භාගය ආරම්භයේ දී සූර්යයා හැරි අඩක් මේෂයට ඇතුල් වී ඇත. එයට පැය 6 මිනිත්තු 24 ගත වේ. එම කාලයේ අවුරුදු උදාව සිදුවී නැකැත් ආරම්භ වේ. අවුරුදු උළෙල ආරම්භ වේ.

    ගැටලුව වන්නේ "නොනගතය" යන්නට වැරදි අර්ථකථනයක් දීමය. නොනගතය යනු නැකැත් නැති වෙලාව වශයෙන් ඇතුම් දෛවඥ මතයි. මෙහිදී ඔවුන් තවත් වරදක් කරයි. නැකැත යනු නක්ෂත්‍රයටම යෙදෙන කෙටි යෙදුමකි.
    නැකැත් 27ක් තිබේ. එනම් අස්විද, බෙරණ, කැති, රෙහෙන වශයෙන් කෙටියෙන් නැකැත් යයි හඳුන්වන තාරකා මණ්ඩල 27ක් තිබේ. ඒවා එකක් පසුපස අනෙක වශයෙන් ‍නොනැවතී උදා වේ.
    නැකැතක් නැති වෙලාවක් නොමැත. මෙවර නොනගතය වෙලාවේ දී දෙනට නැකැත උදාවී තිබෙනු පංචාංග ලිත පරීක්ෂාවෙන් ඔබට ද බලාගත හැකිය.

    මෙහිදී ඔවුන් පටලවා ගන්නේ නැකැත වශයෙන් "ශුභ මුහුර්තිය" යන වදනය "ශුභ මුහුර්ථ" නැති වෙලාවල් පමණක් නොව දින ද කොතකුත් ඇත. එහෙත් නැකතක් නැති වෙලාවක් නොමැත. මෙවර නොනගතයේ අපර කොටසෙහි අවුරුදු චාරිත්‍ර කිරීමට යොදා ගෙන ඇත. මේ කාලයේදී හෙවත් බක් මාසයේ දී සූර්යයා මීන රාශි‍යෙන් පැන ඇවිත් මේෂ රාශියේ දී ගමන් කර ලංකාවට මුදුන් වේ. ලංකාවට බො‍හෝ ලංවී ගමන් කරයි. එය ගොවිතැනින් ජීවත් වූ ලංකා වාසින්ට උත්සව සමයකි. සිංහල අවුරුදු කාලය උත්සව කාලයකි. මෙහිම මේ ආරම්භ වන දෙවන කොටසින් මෙය ආරම්භ කරමු.

    සුර්ය දිව්‍ය රාජයා සිය උත්තරායන ගමනේදී ආරම්භයේදීම පෘථිවියට ලංව( ශ්‍රී ලංකාව ආසන්නයෙන්) ගමන් කිරීම කෘෂිකාර්මික රටක් වන ලංකාවම ඉතා ප්‍රීතියකි. ගොවිතැනින් ජීවත් වූ වැව් බැඳි රටක් වන අපි අහස් වැස්සත්, සූර්ය රශ්මියත්, නොඅඩුව ලබන ,වෘක්ෂ ලතාවෙන් පිරුණු ඒ මත ජීවත් වුණු අපට සූර්යයා ආශිර්වාදයකි. ස්වභාව ධර්මය ආශිර්වාදයක්. සූර්යයාට නමස්කාර කළ යුතුය. වන්දනා කළ යුතුය. නොපෙනෙන දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නට පෙර ඉන්නවා යයි විශ්වාස කරන එහෙත් දැකපු කෙනෙක් නැති නමත් අහවල් දෙවියන් යයි හඳුන්වා නොදුන් අයෙක් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා සියලු සත්ත්වයන්ගේ පැවැත්මට කෙලින්ම‍ උපකාර වන පෙනෙන සූර්යයන් කෙරෙහි වන්දනා කිරීම කිසිදු දෝෂයක් නැත. යුක්ති යුක්තය. එසේනම් සූර්යා ලංකාවට සෘජුව, කිට්ටුවට එන මේ වෙලාවම ඊට තෝරා ගැනීම කොයි තරම් යෝග්‍ය දැයි කල්පනා කරනු මැනවි.

    බක් මාසය වන විට සියලු ගොවිතැන් කර්මාන්තය තාවකාලිකව හමාර කර විවේක ගන්නා කාලයයි. කෘෂිකාර්මික රටක් වුවද අපි කළේ ප්‍රධාන වශයෙන් වී වගාව ය. අපි බතින් යැපුණු රටකි. බක් මාසය වනවිට ගොවිතැන් කපා පාගා ගෙන තාවකාලිකව ගොවියා මඳක් විවේක ගනියි. කුඹුරු ඉපනැලි වලින් වැසෙයි. හරකුන්ට පවා නිවාඩු ලැබේ. වැට කඩොළුලින් ‍තොරව කුඹුරු බඩවැටිවල ගැවසෙන්නට ඉඩ ලැබේ. දරුවන්ට පවා නිවාඩු ලැබේ. ගොවියා අස්වැන්න විකුණා අටු කොටු පුරවා ගනී. අතිරික්තය විකුණා රෙදිපිළි ගනියි. ගෙවිලියට ද නිවාඩු ලැබෙයි. කෙලි සෙල්ලමින් දවස ගෙවේ. හරියටම මේ කාලයේ ඉර ලංකාවට කිට්ටු වී එබිකම් පායි. හෙල ජනතාව උත්සව පවත්වයි. උත්සවශ්‍රීයෙන් රට ඉතිරේ. අපි සමරන්නේ අප නොදුරට ආ හිතවත් සූර්යාව ය.

    ඈත අතීතයේ සූර්ය වන්දනාව පැවැති බවට ඉතිරිව ඇති සාක්ෂි බොහෝය. එසේ සමරන ලද්දෙත් මේ කාලයේදී ය. සූර්යා පළමුව දිස් වනුයේ උස් මුදුන්වලට ය. සූර්ය රැස් දහර පළමුව වදින්නේ උස් මුදුන් වලටය. ප්‍රතිමා ඇඹුවේ නැති වුවද හෙළයන් එය සූර්යයා පිදීමට දේවාල ඉදි කළහ. දෙවුන්දර හා සමස්ත දෙවුන්දර හා සමන්තකූඨය දෙස බලන්න ඒවා සූර්යයාට පෙනේ. ලංකාවට දෙවියෝ වඩින්නේ දෙවුන්දරිනි.

    දෙවියන්ගේ දොරටුව දෙවුන්දරයි. එයද "ගල්ගණේ කන්ද" නමින් යුත් උස් ගොඩනැඟිල්ලක පිහිටි ශෛලමය දෙවොල සූර්යය වන්දනාව උදෙසා සාදන ලද්දකි. සූර්යයා දිනපතා මේ දෙවොලේ ඇතුළත බිත්තිවලට පවා රැස් විහිදුවා තමා පැමිණි බව ප්‍රකාශ කරයි. මේ දෙ‍වොල ඈත අතීතයේ පවා පැවත එන්නකි. අද පුරාවිද්‍යාවට අයත් ආරක්ෂිත ස්ථානයකි. ලංකාවේ ජාතික පුෂ්පය ද 'නිල් මහනෙල්' මල ය. නිල් මහනෙල් මල හිරු දෙවියන්ගේ අතෙහි රඳවා ඇත. හිරුගේ නිල් රැස් කළඹ හිමි නිල් මහනෙල් මලට ය. එය හිරු උදාවීමත් සමඟ පිපෙයි. හිරු අවරට යාමත් සමඟ හැකිලෙයි. වෙනත් මල් මෙන් නොව නිල් මහනෙල් මල හැකිලුණු පසු නැවත අතින් පිබිදිය නොහැකි ය. ආයේ පිපෙන්නේ පසු දා හිරු උදාවීමත් සමඟ ය.

    නිල් මහනෙල් මල සූර්යයාට දුන්නේ ඇයි?. ඒ සූර්ය දෙවියන් නිසා ය. සූර්යා දේවත්වයෙන් ඇදහූ නිසා ය. මෙසේ සූර්ය මංගල්‍ය බක් මාසයේ එන සූර්යා අපට කිට්ටු වීමට යොදා ගැනිනි. මෙය පුරාතන ලංකාවේ තිබූ අඅග්‍රගණ‍ය ඇදහීමක් විය. මෙය මුල දැන හෝ නොදැන අපි අද ද අනුගමනය කරමු. නැත්නම් සාමාන්‍ය ජනතාව මේ බක් මාසයටම මේ උත්සවය පවත්වන්නට, නැත්නම් සූර්යාවම මුල් කොට පවත්වන්නට, හේතුව කුමක්ද?

    ඇත්තටම මේ සූර්යා අපට ලංවීම මුල්කොට පවතින සූර්යා මංගල්‍යයම විය. සූර්යාගේ ගමන් මග මුල් කොට පවතින සූර්ය ග්‍රහ චාරය මුල් කොට පවසන"උමා ජෙතිෂය" පද්ධතිය අපෙන් බැහැර වූවා සේ සූර්ය මංගල්‍ය ද අපෙන් බැහැර විය. එහෙත් අප මතක තබා ගත යුත්තේ මේ සිංහල අලුත් අවුරුද්ද යනු සූර්ය මංගල්‍යයම මුහුණත වෙනස් කර නැවත සැමරීම. නැතිනම් පැවැත්වීම බව.ය.

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න

    රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සූරිය දෙවිඳු නිල් මහනෙල් මල් ඇතිව Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top