728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-08

    නැකැත් චාරිත්‍ර හරියටම ඉටු කරන්නේ මෙහෙමයි

    අලුත් අවුරුද්දේ කප්රුක පහළ වන්නේ නැකත-නැකත ලෙස කළොත් පමණයි

    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොත එසේත් නැත්නම් සංක්‍රමණය නව වසර සැමරීම ලෙස කියයි.නමුත් සිදුවනුයේ එය නොවේ.

    *සූර්යයා අස්විද නැකතට පැමිණීම මෙහිදී සිදු වෙයි. කට වහරට මේෂ රාශියට පැමිණෙන බව කියනු ලැබුව ද එය සිදුවන්නේ අනාගතයේ කිසියම් දිනක ය. ඒ අනුව අස්විද නැකතේ ආරම්භයත් මේෂ රාශියේ ආරම්භයත් එකම තලයකට කිසියම් දිනක සිංහල අවුරුදු උදාවන මොහොතේ සිදුවනු ඇත. එය සිදුවන්නේ වසර දහස් ගණනක් ගතවීමෙන් පසුව ය.එසේ වුවද වසරින් වසර අප්‍රේල් 13 හෝ 14 දින නව වසර සමරනු ලබයි. අස්විද නැකතේ ආරම්භය, සූර්යයා ගේ පැමිණීම මෙසේ සමරනු ලබන්නේ ය.

    දෙදහස් පහළොවේ අප්‍රේල් 14 අඟහරුවාදා අපර භාග 1.47(13.47)ට නව වසර උදා වේ.
    ඊ‍ට පැය 6යි විනාඩි 24ක කාලය පුණ්‍ය කාලය යි.අප්‍රේල් 14 දා පෙරවරු 07.23ට පූර්ව පුණ්‍ය කාලය ආරම්භ ‍වේ.එදින රාත්‍රී 8.11 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබේ.

    පූර්ව පුණ්‍යකාලයේ දී ආගමික වතාවත්වල යෙදීම අපර කොටසෙහි දී නැකැත් අනුව ලිප ගිනි මොලවා නව වසරේ කටයුතු අරඹයි.
    එදින සවස 2.05ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිසාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි හා උක් සකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක් හා විළඳ කැවිළි ආහාරයක් පිළියෙළකර ගැනීම මැනවි.
    නව වසරේ වැඩ අරඹන්නේ අඟහරුවාදා දිනකි.කුජට අයත් මෙදින ට හිමි රතු පැහැය බැවින් රතු වර්ණයෙන් යුතු ඇඳුමින් සැරසීම සුදුසු වෙයි.

    14 දා අපර භාග 2.42ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැ‍ඟෙනහිර බලා වැඩ අල්ලා ගණු දෙනුකර ආහාර අනුභව කරයි.
    අප්‍රේල් 15 බදාදා පූර්ව භාග 9.06ට දකුණු දිසාව බලා හිසට කොහොඹ කොළ ද පයට කොළොන් කොළ ද තබා ළා කොළ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි.

    මෙදින බදාදා දිනකි.එදිනට හිමි වර්ණය වන්නේ කොළ පැහැය යි.මෙදින හිමි වර්ණයෙන් සැරසීම සුබ වන්නේ ඒ නිසා ය.
    රැකී රක්ෂා සඳහා නව වසරේ පිටත්වන්නට ඇති සුබ දිනය 22 දා ය.එදින උදේ 6.02ට නැඟෙනහිර බලා පිටත් වීම සුබ වේ.
    කොළ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිළි අනුභව කර පිටත් වීම සුදුසු වන්නේ ය.

    සේවා අවශ්‍යතා සඳහා යන්නන් ට අප්‍රේල් 17සිකුරාදා සුදු නිල් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් අනුභවකර උතුර දිසාව බලා පිටවීම සුබයි.
    මේ පිළිවෙත් මුළු ජන සමාජයක් එකවර සිදුකරයි. මේ සිතිවිලි එකවර විශ්වයට මුදා හැරේ.එයින් අපට යහපතක් සිදුවන්නේ ය.

    නව වසරේ අප සියලු දෙනා ප්‍රාර්ථනා කරනුයේ සුබ දේ ය. එය විශ්වයට මුදා හැරීමෙන් නොපෙනෙන බලයක් ඇතිවන බව ඔබ නොදන්නවා විය හැක.නමුත් වැඩි දෙනෙක් එක්ව එකම වර කරන ප්‍රාර්ථනයක් ඉටු වනු ඇත.මෙය විශ්වාසයකි.පුරාණයේ සිට පැවත එන ජන විශ්වාසය මිනිසා‍ගේ ආරම්භය දක්වා ම දිව යයි.
    සූර්යයා මූලික කරගනිමින් අවුරුදු සමරයි.විශ්වයේ ශක්තිය ඇති කරන්නා සූර්යයා ය.මෙය විද්‍යාඥයෝද පිළිගන්නා මතයකි.

    පුණ්‍යකාලයේ දී ගමේ පන්සලට ගොස් පුණ්‍ය කටයුතුවල නිරත ගැමියා එතෙක් තරහ මරහ තිබූ අය සමඟ සමාදාන වෙයි .එකට ආගමික කටයුතුවල නිරත වෙමින් ‍යහපත් සිතිවිලි ඇතිකර ගනී.
    ගෘහය පවුල් ඒකකය මූලික කර ගනිමින් සාමූහික වගකීමෙන් යුතුව ලිප ගිනි මෙලවීමේ සිට කරන කටයුතු නැකත අනුව ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.

    මනස,කුස හා හිස මූලික කරගනිමින් වත් පිළිවෙත් ක්‍රියාත්මකව ඇත.අපේ සිරුරේ නිරෝගී පැවැත්ම උදෙසා මනස,කුස මෙන්ම හිස අනිවාර්යයෙන්ම නිරෝගීව පවත්වාගෙන යා යුතු ය. ‍ස්වභාව ධර්මය ද මේ නිරෝගී බවට අපි උපකාර කර ගනිමු.මේ සඳහා එදා මිනිසා විශේෂයෙන් ළිප ගිනි මෙලවීමේදී සුවඳ හා පැඟිරි දර එක්කර ගත්ත ද එය මේ වනවිට අපහසුතා හේතුවෙන් හෝ පිළිවෙත් පිළිනොගැනීම හේතුවෙන් අතහැරී තිබේ.කිරිබත පිළියෙළ කිරීමේ දී ද ඊට එක්කරගත යුතු ද්‍රව්‍ය සියල්ලම හැර කිහිපයක් යොදා ගන්නා බවක් ද දැකිය හැකි නමුත් නිරෝගී සම්පත්තිය මෙන්ම ශරීර ස්‍යෙඛ්‍යය පවත්වාගෙන යාම උදෙසා අවශ්‍ය දෑ මෙසේ පෙන්වා දී ඇති බව පිළිගත යුතු ය.

    ගොවිතැනින් ජීවත් වූ ආදි මිනිස් සමාජය භව භෝග සම්පත් මුල්කර ගනිමින් මේ කටයුතු ඉටුකිරීමට කටයුතු කළහ.
    ගණුදෙනුවේදී එදා ළිඳට මූලික තැනක් ලැබිණි.තඹ කාසි ,පිච්චමල් ආදිය ළිඳට දා පැන් ලබා ගනිමින් ළිඳ සමඟ ගණුදෙනු කළාහ.
    බාලයන් වැඩිහිටියන් ට බුලත් හුරුළු දී වැඳීම ද ගණුදෙනුව සමඟ සිදුවන්නකි.මෙහිදී දරුවන්ගේ හිස අත ගා සුබ ප්‍රාර්ථනා කරති,ආශිර්වාද කරති.

    කැවිලි පෙවිලි අසල්වාසීන් හා නෑදෑයින් සමඟ බෙදා හදාගෙන බුදිති.
    හිසේ නිරෝගී බව උදෙසා හිස‍ තෙල් ගෑමේ චාරිත්‍රයට මූලිකත්ව දී තිබේ.
    ඉපැරණි යුගයේත්,අද ගැමි නිවෙසේත් රැකී රක්ෂාවලට පිටත් ව යාම යනුවෙන් අදහස් කෙළේ ගොවිතැන් කටයුතු ඇරඹීම ය.කෘෂිකර්මාන්තය මූලික කරගනිමින් දිවි ගෙවූ පැරණි මිනිසා මේ වත් පිළිවෙත් සිය ජන ජීවිතය සාර්ථක කරගැනීමට මැනවින් එක්කර ගත් හ. සාමූහිකව ක්‍රියාකරමින් සිය ජීවිත සාර්ථක කරගත්තා පමණක් නොව ඒකායන සුබ ප්‍රාර්ථනා මඟින් හා සුබ ක්‍රියා අනුගමනය කරමින් විශ්ව ශක්තිය ලබාගත් හ.
    නිසි කලට වැසි, භව භෝග සම්පත්,ආයුෂ මෙන්ම නිරෝගි බව ආදී සියලු යහපත් දේ ලැබීමට හේතු වූයේ මේ සුබවාදී පැවැත්මයි. නිසි චාරිත්‍ර ඉටු කිරීමයි.

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂාකරන බව අමුතුවෙන් කිවයුතු නොවේ.විශ්වය අපව ආරක්ෂා කිරීම හෝ නොකිරීම අපේ පැවැත්ම මත රඳා පැවතීම ද මේ දහමට සමාන ය.
    සමඟි සම්පන්නව තිබූ ශ්‍රී ලංකා සමාජය යටපත් කරන්නට නොහැකි බව දැනගත් අධිරාජ්‍යවාදියා හෙළයා භේද භින්න කිරීමට විවිධ උපක්‍රම කළහ. ඊට ගැති වූ කණ්ඩායමක් ද ඒ අනුව බිහිවීම වැලකිය නොහැකි විය.
    මේ නිසා චාරිත්‍ර විධි හෙළා දකින්නෝ නැතුවා නොවේ.

    නිසි සිතිවිල්ලකින් ‍තොරව කරන්නන් වාලේ නව වසරේ චාරිත්‍ර සිදුකිරීමෙන් අපට එදා නිසි කලට ලැබුණු වැසි අද නැත.විපර්යාස බොහෝ ය.
    විශ්ව ශක්තිය නිසි ලෙස යොදා ගැනීමට අප කටයුතු නොකිරීමේ පලවිපාක මිනිසා භුක්ති විඳිති.රෝගී සමාජයක් වර්තමානය විසින් බිහිකර තිබේ.පැරණි විශ්වාස අන්ද යැයි කියා විසිනොළ යුතු බව පිළිගන්නා තුරු මේ ආදීනව අප කරා පැමිණේ.

    ර‍ටේ යහපත් සංස්කෘතිය පිළිබඳ නොදන්නා බටහිර ගැති පුද්ගලයෝ(කළු සුද්දා)මේ නව වසරේ කෙරෙන චාරිත්‍ර විධි නොපිළිගන්නා තත්ත්වයට පත්ව තිබේ.චාරිත්‍රයක් ලෙස මේවා කළත් අප පිළිගන්නේ නැතැයි පොත පතට පමණක් උගත්කම සීමා කරගත් සමහරු ප්‍රකාශ කරති.මේ අයගේ දෙමාපියන් සීයා ආච්චී හෙළ සංස්කෘතියට අනුව ජීවත් වෙමින් මේ අයට යහමඟ පෙන්වූ බව අකමැත්තෙන් වුව ද පිළිගන්නේ නම් මේ වැනි කතා නොකරනු ඇත.

    ර‍ටේ සංස්කෘතික අමාත්‍යංශයක් ද තිබියදී මෙවැනි ප්‍රකාශ කිරීම වරදක් නොවේ ද?


    ජ්‍යොතිෂවේදී තිලක් ද සිල්වා
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නැකැත් චාරිත්‍ර හරියටම ඉටු කරන්නේ මෙහෙමයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top