728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    ලෝක හයක් ඔබ සිරුරේ


    ජ්‍යොතිෂය වේදාංගයකි. එදා ඉන්දියාවේ විසූ බ්‍රාහ්මණයන්ට පමණක් සීමා වූ විෂයක්ව පැවැති ජ්‍යොතිෂය අද පවතිනුයේ කනගාටුදායක තත්ත්වයක ය. අද එම විෂය බඩ වඩා ගැනීමේ ශාස්ත්‍රයක් බවට පත්ව ඇත.
    ජ්‍යොතිෂයේ මුල්ම ග්‍රන්ථය වන පරාශරය,පරාශර මහ මුනිතුමන් විසින් දේශනා කරනුයේ බ්‍රාහ්මණ තරුණයකුවන මෛත්‍රීට ය. මේ ග්‍රන්ථයේ දී පරාශර මුනිතුමන් සප්ත ලෝකයක් ගැන සිය ශිෂ්‍යයාට විස්තර කරයි.

    ( ලෞකික ලෝකයේ වසමින් ජ්‍යොතිෂය ඉගෙනීමට උත්සාහ දරමින් අතරමංව සිටි මා ද සැබෑ ඥාන ලෝකය හඳුනා ගත්තේ ම‍ගේ ආචාර්යවරයා වන කරූ හීන්කෙන්ද මහතාගේ දේශනයන් තුළිනි.)
    අප වසන මෙම ලෝකය හෙවත් පෘථිවිය ඇතුළත් වන ලෞකික හෙවත්, භෞතික ලෝකය 6 ආකාර වේ. පෘථිවිය භූ ලෝකය වශයෙන්ද ඉන් ඔබ්බේ ග්‍රහ මණ්ඩලය තෙක් පැතිර ඇතැයි සලකන ලෝකය භූම ලෝකය වශයෙන්ද, එතැන් පටන් නක්ෂත්‍ර මණ්ඩලය දක්වා පැතිරී ඇති කොටස ස්වර්ග ලෝකය වශයෙන් ද හැඳින්වෙන අතර මෙම ලෝක ලෞකික ලෝකයක් වේ.

    මෙම ලෝකවල ස්වභාවය වන්නේ තමන්ගේ රැකීම, තමන්ගේ ආරක්ෂාව සඳහා සටන් කිරීමයි. කෙටියෙන් පවසතොත් අවිද්‍යාවයි. අන් අය පරදවා නැඟී සිටීම, අන් අය පැරදවීම, අන් අයගෙන් ආරක්ෂා වීමට සටන් කිරීම මෙම ලෞකික ලෝකවල වෙසෙන්නන්ගේ පරමාර්ථයයි.
    මෙයින් පහළම ලෝකය වන කුජ නිවේදනය කරන කුජ විසින් පාලනය කරනු ලබන ලෝකය භූ ලෝකයයි. පෘථිවිය මේ භූ ලෝකය නිවේදනය කරයි. දෙවන ලෝකය වශයෙන් පෘථිවියෙන් ඔබ්බේ ඇති ග්‍රහ මණ්ඩලය තෙක් පැතිර ඇති භූම ලෝකය රවිගෙන් පාලනය වන අතර එය ලෞකික ලෝකයකි. සැප සම්පත් විඳීම මෙම ලෝකයන්හි පරමාර්ථය වේ.

    තෙවන ලෝකය වන ස්වර්ග ලෝකය සිකුරු නිවේදනය කරයි. ස්වර්ග ලෝකය ද සියලු සැප සම්පත් ලෞකික සැප සම්පත්වල උපරිමය නිවේදනය කරයි.
    මේ ලෞකික ලෝක තුනෙන් ඔබ්බේ මහා ලෝකය පිහිටා ඇති අතර මහා ලෝකය බුධගෙන් නිවේදනය වේ. මහා ලෝකය පසු කළ විට සඳු නිවේදනය කරන උදාන ලෝකය ද ඉන් ඔබ්බෙහි ශනි නිවේදනය කරන තපෝ ලෝකය ද අවසාන වශයෙන් ගුරුගෙන් නිවේදනය වන සත්‍ය ලෝකයද වේ.

    අප වසන ප්‍රධාන ලෝකය වනුයේ භූ ලෝකය වන අතර නිතරම අප පතන්නේ ඊළඟ ලෞකික ලෝකයට යාම මිස ඉන් ඔබ්බේ ඇති සත්‍ය සොයා යාමට නොවේ. අප නිතරම පතන ස්වර්ග ලෝකයද ඇත්තේ පංචේන්ද්‍රියන් පිනවීම පමණී. අප පින් දහම් කළ විට අපගේ ප්‍රාර්ථනය වන්නේ මෙලොව සියලු සැප සම්පත් විඳ දිව්‍ය ලෝකවල ඉපදී සැප සම්පත් විඳී. ඉන් පසු විමුක්තිය ලැබීමයි. අප කිසිවිටක අපගේ අරමුණු අත හැරීමෙන් ලබන සැබෑ විමුක්තිය සොයා මේ ආත්මයේ පටන් කටයුතු කිරීමට සූදානම් නොවෙමු. ඒ අපගේ ලෝකය පාලනය වන්නේ කුජගෙන් බැවිනි.

    අප ඊළඟට සලකා බැලිය යුතු ප්‍රධාන කරුණ වන්නේ මේ ලෝක සැබැවින්ම පවතිනුයේ කොතැනද යන්නයි. බුදු දහම මෙන්ම ජ්‍යොතිෂය අනුව මේ සියලු ලෝක මනුෂ්‍යයා තුළම පවතී. ලෞකික සැප සම්පත් ඉවත දමා, තම ප්‍රඥාව, ලෝකෝත්තර ඥානය දියුණූ කර ගනිමින් සිටින පුද්ගලයා මේ ‍ලෝකයේ ඇති සැප සම්පත් තුළ ඇති දුක හඳුනා ගනිමින් මනසට වහල් නොවී අඳුන ලෝකය තපෝ ලෝකය හඳුනා ගනිමින් තම විමුක්තිය වන සත්‍ය ලෝකය වෙත යාමට උත්සාහ ගනී.

    මහා ලෝකයේ ඥාන ලෝකයේ හෝ තපෝ ලෝකයේ ජීවත් වන්නවුන් අප අතරද සිටිය හැක. දයාව, කරුණාව සියලු මිනිසුන් ජාති,ආගම්,කුල භේදයෙන් තොරව මිනිසුන් ලෙස සැලකීම, මහා ලෝකයේ සිටින්නවුන්ගේ ස්වභාවය වේ. මහා ලෝකයේ අනුන් පරයා යාම, තම ආරක්ෂාව පැවැත්ම වෙනුවෙන් සටන් කිරීමක් නොමැති බැවිනි.

    තම ලෝකෝත්තර ඥානය දියුණු කර ගැනීම ඥාන ලෝකයේදී සිදුවේ. සත්‍ය ලෝකය තපෝ ලෝකය තමන් විසින්ම වටහා ගත යු‍තුවේ.
    බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මුළු විශ්වයම මේ කුඩා ශරීරය තුළ පවතී. මෙම පෘථිවිය මත ජීවත් වන එහෙත් මනසින් සත්‍ය ලෝකයේ ජීවත් වූ ප්‍රඥාවන්තයින් විසින් තම ප්‍රඥාවෙන් සොයා ගත් දැනුම පාර විද්‍යාවන් ලෙස ලෝකයට ලබා දී ඇත.
    අද බුදු දහම වැනි ප්‍රඥාවන්තයින් වෙනුවෙන් දෙසූ දහමක් පවා පරිශීලනය කරනුයේ මෙම ලෞකික ලෝකයේ සැප සම්පත් වර්ධනය කර ගැනීමට විනා තම විමුක්තිය සලසා ගැනීමට නොවේ.

    තමන් ඇතුළු තම සත් මුතු පරපුර දිව්‍ය ලෝක සැප සම්පත්වලින් පසු ලබන නිවන හෝ විමුක්තිය වෙනුවෙන් පින් දහම් කරනවා විනා තම බැඳීම්, තම අරමුණු අවම කර ගැනීමෙන් තම රජස්, තමස් ස්වභාවය අවම කර සාත්වික ස්වභාවයට පත්ව සැනසීම ලබා ගැනීමට නොවේ. මෙ ලෞකික අරමුණු අවම කර ගැනීම බුදු දහමේ මෙන්ම ජ්‍යොතිෂයේද මඟ පෙන්වීමයි.
    ජ්‍යොතිෂය ලොවට දායාද කර ඇත්තේ ඉහත සඳහන් තපෝ ලෝකය, සත්‍ය ලෝකය යන ලෝකවල විසූ ප්‍රඥාවන්තයින් විසිනි. එම විෂයන් දේශනා කර ඇත්තේ ද එම උසස් ලෝකවල සිටින ප්‍රඥාවන්තයින් හටම වේ.

    මේ විෂයන්වලින් ඥාන ලෝකයෙන් ඔබ්බට ගොස් හදාරා ලෞකික ලෝකවල සිටින අයට තම දැනුමින් උපකාර කිරීම මෙම විෂයන් දේශනා කළ ප්‍රඥාවන්තයින්ගේ අරමුණ විය.
    මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වනුයේ මෙම ලෞකික ලෝකයේ රජස් හෝ තමස් ස්වභාවයෙන් සිටින පුද්ගලයින්ට මේ දැනුම ලබා දීමෙන් ප්‍රයෝජනයක් නොවන බවයි. අද අප සමාජයේ සිටින මුදලටම වහල් වූ ජ්‍යොතිර්වේදීන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ. මෙම දැනුම අසම්පූර්ණ බැවින් තමන් සාත්වික ස්වභාවයට හෝ පත් නොවූ බැවින් අනුන් පරයා ඉදිරියට යාමට, තමන්ගේ රැකීමට මෙම ශාස්ත්‍රය යොදවති.
    අප අතර ද ප්‍රඥාව ලැබීමට සුදුසු අය සිටිය හැක. ඔවුන්ට ප්‍රඥාව වර්ධනය සඳහා නිසි උපදෙස් නොලැබීමෙන් ඔවුන්ගේ කාර්යභාරය සමාජයට අහිමි වේ. අප ජීවත් වන මේ භූ ලෝකයේ ප්‍රඥා වර්ධනයට පරිසරය සකස් කර ගැනීම පවා අසීරු වේ.

    බුද්ධිය සියලු දෙනාම උපතින්ම රැගෙන පැමිණ ඇත. බුද්ධිය යොදන්නේ තම පැවැත්මට පමණි. අපගේ ආරක්ෂාවට, අන් අය පරයා ඉදිරියට යාමට අපගේ බුද්ධිය යොදන තෙක් අපගේ ප්‍රඥාව වර්ධනය නොවනු ඇත. එහෙත් අප තමස්,රජස් ස්වභාවයෙන්ම පසුවනු ඇත.
    බුද්ධිය අපගේ තමස් ස්වභාවය ඉවත් කර ගැනීමට, සාත්වික ස්වභාවයට පත්වීමට යොදන විට අප නිවැරදි මාර්ගයට යොමු වනු ඇත. බුද්ධි තත්ත්වය ශුද්ධි බවට පත් වනු ඇත.
    ලෞකික බැඳීම්,ලෞකික අරමුණුවලින් අප ඉවත්ව සිටින විට අපගේ මනස අපගේ බුද්ධිය පවිත්‍ර වේ. මෙම ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත මනස වෘද්ධි වශයෙන් හඳුන්වමු.

    අපගේ මනසේ රජ කරන සැකය හා රජස් තමස් ගැන අපගේ ප්‍රඥා වර්ධනයට බාධා කරයි. රාහු විසින් ඇති කරන මේ බලපෑම්වලින් ඉවත් වී සැකය අවසන් වන විට අප සත්‍යය ලෝකයට සම්බන්ධව පාර විද්‍යාවන් වටහා ගැනීමේ ගුණයෙන් හෙවත් ගුරු ආශිර්වාදය ලැබූවන් බවට පත්වනු ඇත.

    කරු හීන්කෙන්ද මහතාගේ පොත පත දේශනා ඇසුරිනි.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලෝක හයක් ඔබ සිරුරේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top