728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-08

    අලුත් අවුරුද්දට සුබ නැකතට උතුරවන්නේ පොල් කිරි නොව එළකිරි මය

    කිරි ඉතිරවීම සිංහල සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. ඕනෑම සුබ වැඩකදී මෙන්ම අලුත් අවුරුදු උදාවේදී ද කිරි ඉතිර වීම පුරාණයේ සිට පැවැත එන හෙළ සිරිතකි. මේ කිරි ඉතිර වීම සුබ මුහුර්ථයකින් සිදු කිරීම අනිවාර්ය
    වේ. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවේදී නම් කිරි ඉතිර වීම සිදු කරනුයේ අලුත් අවුරුද්ද උදාවන නැකැතට ය. ඒ සඳහා නැවුම් මැටි මුට්ටියක් හෝ ඇලුමිනියම් මුට්ටියක් යොදා නොගනී.

    කිරි ඉතිරවීම සඳහා ලිප බැඳීමේදී ද නැවුම් ගඩොල් කැට තුනක් තෝරා ගත යුතුයි. ඒ සඳහා කළු ගල්, බ්ලොක් ගල්, ගෑස් ලිප් ආදිය කිසිවිටකත් භාවිතා නොකළ යුතුයි. නැවුම් ගඩොල් තුනක් යොදා සාදන ලිප ගෙයි සාලය මැද යකඩ තහඩුවක් උඩ තැනිය යුතුය. දහනය සඳහා තෝරා ගන්නා දර විශේෂ කිහිපයක් පුරාණ පොත පතේ සඳහන් වේ. ඒවා අතර සුවඳ හමන කුරුඳු දර, සුදු හඳුන් දර, රත් හඳුන් දර, දේවදාර, අගිල්, සුවඳ කොට්ටං හා පැඟිරි සහිත දරද විශේෂ වේ. නමුත් අද සමාජයේ මෙවැනි දර විශේෂ සොයා ගැනීම දුෂ්කර බැවින් වෙළෙඳපොලේ පවතින දර භාවිතා කිරීම සඳහා අශුභ නොවේ. නමුත් ලිප දැල්වූ පසු එම ලිප නිවීමට නොදී තබා ගැනීමට වගබලා ගත යුතුමය. යම් හෙයකින් කිරි මුට්ටිය ලිප තැබූ විට ලිප නිවී යාම ඉතාම අශුභය. එසේ වුවද කිරි මුට්ටිය ලිප තැබූ පසු දර දහනය වැඩි කිරීම සදහා ලිපට කටින් පිඹීම නොකළ යුතුම දෙයකි. ඒ සඳහා වෙනත් උපකරණයක් භාවිතා කිරීම සිදු කළ යුතුයි.

    අලුත් අවුරුදු උදාවන නැකැතේදී අදාළ සුබ දිශාව බලා කිරි පිරවූ මැටි මුට්ටියට අමුකහ පෙත්තක් දෙකක් දමා ලිප මත තැබීම සිදු කරයි. එම ලිප මත තැබූ කිරි මුට්ටියට වැඳ නමස්කාර කිරීමද හෙළ බොදු සිරිතයි. මේ කිරි මුට්ටිය ලිප මත තබන තැනැත්තා කිසිවිටකත් වෛවර්ණ වස්ත්‍ර ඇඳීම නොකළ යුතුයි. සුදු වර්ණයෙන් යුත් වස්ත්‍රයකින් සැරසී මේ චාරිත්‍රය සිදු කළ යුතුය

    නූතන යුගයේ කිරි ඉතිර වීම සඳහා කිරි වර්ග දෙකක් භාවිත කරයි. ඒ අතර එළකිරි සුදුසුම කිරි වර්ග වන අතර පොල් කිරි ද ඇතැමුන් භාවිතා කරයි. නමුත් කිරි ඉතිර වීම සඳහා එළකිරි මිස පොල් කිරි කිසිසේත් යොදා නොගත යුතුයි. කිරි ඉතිරිවීම සඳහා සුදුසු කිරි වර්ග 8ක් ව්‍යවහාරයේ පවතී. එනම් එළ ගව කිරි , මී ගව කිරි, බැටළු කිරි, ඔටු කිරි, එළු කිරි, ඇත්කිරි, මව් කිරි හා අශ්ව කිරියි. නමුත් භාවිතයේ යෙදෙන්නේ එළ ගව කිරි පමණි. දොවාගත් එළකිරි 7 වරක් පෙරා නැවුම් මුට්ටියට දමා ඉතිරවීම සිදු කරන්න. දොවාගත් නැවුම් එල ගව කිරි සොයා ගැනීමට අපහසු නම් වෙළෙඳපොළේ විකිණීමට ඇති කල්කිරි භාවිතය සඳහා යොදා ගත හැක.
    ඇතැමුන් එළකිරි ඉතිර වීමට බියක් ඵල කරනු අසා ඇත. එල කිරිවල ලේ මිශ්‍ර වී අපිරිසිදු යැයි ඇතැමුන් පවසති. නමුත් එළකිරි ඉතාම පිරිසිදු කිරි වර්ගයක් බවත් එහි ලේ මිශ්‍ර නොවන බවත්, එහි විෂබීජ නාශක ගුණය හා අදෘෂ්‍යමාන දෝෂ නාශක ගුණය ඇති බවත්, පුරාණ පොත පතේ සඳහන් වේ. නමුත් එළකිරි සත්ත්වයෙක්ගෙන් දොවා ගන්නා කිරි බැවින් එය උතුරුවාලීමට පෙර 7 වරක් පෙරා ගත යුතුයි. අද සමාජයේ එළ ගවයන් අඩු බැවින් දොවා ගත් කිරි සොයා ගැනීම ඉතා අපහසු කර්තව්‍යයකි. එළ ගව කිරි ඉතිරවීමෙන් ලක්ෂ්මි දේවියගේ හෙවත් ශ්‍රියාකාන්තාවගේ බැල්ම වැටෙන බව සෘෂි විශ්වාසයයි. එමඟින් පුද්ගලයින්ගේ හා එම ස්ථානයේ ඇති සියලු දෝෂ භංග වී සෞභාග්‍යයද උදාවනු ඇතැයි පැවසේ.

    කොතරම් අශුභ වුවද අද සමාජයේ ඇතැම් ප්‍රදේශවල කිරි ඉතිර වීමේදී පොල් කිරි පාවිච්චි කිරීම දැකිය හැක. විශේෂයෙන් පහතරට ධීවර ජනතාව, අහිගුණ්ඨක ආදී ගෝත්‍රික ජනතාව, තට්ටු නිවාසවල වෙසෙන ජනතාව හා පැල්පත් වාසීන් පොල් කිරි ඉතිර වීමෙන් ශ්‍රියාකාන්තාවගේ නොව මංගර නම් යක්ෂනියගේ බැල්ම වැටීම සිදුවේ.

    පොල් කිරි ඉතිර වීම මළ ගෙවල් වල සිදු කරනු දැකිය හැක. මෘත දේහය සොහොනට ගෙන ගිය පසු එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කර තහඩු කැබැල්ලක් තබා ඒ මත ලිපක් බැඳ පොල් කිරි ඉතිරවීම සිදු කරයි. මෙසේ කර මංගර යක්ෂණිය හෙවත් සොහොන් කාලිය සතුටු කරවයි.

    අලුත් අවුරුදු උදාවට කිරි උතුරවා අවසන් වූ පසු එම මුට්ටියේ ඉතිරි වූ කිරි පුවක් මලක් ආධාරයෙන් ගෙයි හා වත්ත වටේ ඉසිනු ලබයි. ඇතැමුන් ඉතිරි වූ කිරි මුට්ටිය සුදු රෙදි කඩකින් කට ගැට ගසා මුදුන් වහලේ එල්ලීම සිදු කරයි. එම මුට්ටියට වී මිටක්, අබ ඇට ස්වල්පයක්, තල, උඳු, මුං, මෑ, ඕලු හා නෙළුම් ඇට ස්වල්පය බැගින් එක්කරනු ලබයි. මේ ක්‍රම දෙකෙන් එකකුදු පාවිච්චි නොකරන්නේ නම් උතුරවා ඉතිරි වූ කිරි ගසක් මුලට හලා මුට්ටිය සේදිය යුතුයි.

    කිරි ඉතිරවීමේදී මුට්ටිය හතර වටින්ම කිරි උතුරා ගියේ නම් ඉතා සුබය. එම වසර සතුට සෞභාග්‍ය පිරි එකක් වනු නියතය. එසේම මුට්ටියේ තුන් පැත්තකින් හෝ දෙපැත්තකින් කිරි උතුරා ගියේ නම්ද සුබය. නමුත් කිරි උතුරා නොගියේ නම් හෝ එක් පැත්තට පමණක් කිරි උතුරා ගියේ නම් ඉතා අශුභය. එම අවුරුද්ද කරදර, දොම්නස්වලින් පිරි එකක් වන බව සෘෂි මතයයි.

    කෙසේ වෙතත් හොඳින් කිරි ඉතිරීමට නම් කිරි උතුරා අවස්ථාවේ මුට්ටිය වටේටම හොඳින් ගින්දර තිබිය යුතුයි. අධික තාපය නොමැති විටද කිරි ඉතිරීම සිදු නොවේ. එය අශුභ යැයි පැවසිය නොහැක. එනිසා කිරි උතුරන්නේ නැති නම් ඒ මන්දැයි හොඳින් විමර්ශනය කර බලා තීරණය කළ යුතුයි.
    මේ සියලු කරුණු භාවිතයට ගෙන ඔබත් අලුත් අවුරුද්දේ එල කිරි උතුරවා ශ්‍රියාකාන්තාවගේ බැල්ම ලැබූ වාසනාවන්ත ජීවිතයක් හිමිකර ගන්න.

    ජ්‍යොතිෂවේදිනි, දේශබන්ධු

    මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අලුත් අවුරුද්දට සුබ නැකතට උතුරවන්නේ පොල් කිරි නොව එළකිරි මය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top