
කුජ-ගුරු-ශුක්‍ර බලවත් වෙයි
දෙදහස් පහළොවේ අප්‍රේල් හයවරනිදා රාත්‍රී හතයි හතලිස් තුනට පමණ සිකුරු ග්‍රහයා වෘෂභ රාශියට සම්ප්‍රාප්ත වී ස්වක්ෂේත්‍ර බල ලබයි.
අප්‍රේල් අට වෙනි දා රාත්‍රී හයයි විසි අටට පමණ රාත්‍රී දහයයි විසි අටට පමණ ගුරු ග්‍රහයා වක්‍රයෙන් මිදෙයි.
සිකුරු සම්ප්‍රාප්තියේ තත්කාල ලග්නය ලෙස නැගෙනහිර ක්ෂිතිජයේ සිකුරුගේම තුලා ලග්නය උදා වී පවතී. එමෙන්ම ගුරු ග්‍රහයා වක්‍රයෙන් මිදෙන මොහොතේ දී නැගෙනහිර ක්ෂිතිජයේ ඔහුගේ මිත්‍ර අඟහරුගේ වෘශ්චික රාශිය උදා වී පවතී.
ගුරු ග්‍රහයා තමාගේ හැඩකාර සිකුරිය යහපත් මඟට ගත යුතු නිසා නිතර නිතර ගුරුහරුකම් දීම නිසා සිකුරු නිතරම සිතන්නේ ගුරු ග්‍රහයා තමාගේ සතුරා ලෙසයි. නමුත් සිකුරු බලවත් වී කෙටි කාලයකින්ම ගුරු ග්‍රහයා වක්‍රයෙන් මිදීම නිසා මේ දෙදෙනාගේ සැබෑ නෛසර්ගික ගුණය ප්‍රදර්ශනය වනු ඇත. මේ නිසා ජන්මාන්තර වෛරක්කාරයින් සමඟිසම්පන්න වීමේ මානසිකත්වයක් ඇති වී පැරණි කොන්තර අතහැර දමනු ඇත. පරම්පරා ගණනාවක් නොහද නෝක්කාඩු පසුවූ අසල්වාසීන් මෙන්ම ඥාතීන්ද සමඟි වනු ඇත.
ආගම්, විවිධ ජාතීන් අතර ද සමඟිය ඇති වනු ඇත. එකම රටේ දිවි ගෙවන සමාන අයිතිවාසිකම් හිමි පුරවැසියන් සේ සිතන්නට සියලු දෙනාම පෙළඹෙනු ඇත. දේශපාලන වශයෙන්ද පක්ෂ පාට අතහැර සහයෝගයෙන් යුතුව අනාගත පරපුර වෙනුවෙන් ස්වයංපෝෂිත රටක් බිහි කිරීමට සියලු දෙනා සිතට ගනී.
යම් යම් අකටයුතුකම් සිදු කිරීමට පෙළඹෙන කණ්ඩායම් නිතැතින්ම මර්දනය වනු ඇත. පොදුවේ සියලු ජන කොටස්වලට තමාගේ පුද්ගලික දියුණුව සලසා ගැනීමට විවිධ අයුරින් අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇත. මේ අනුව ග්‍රහ බලය විසින් ලග්න හිමියා වෙතට ලබා දෙන වරප්‍රසාද හඳුනාගෙන සුදුසු පියවර ගැනීමට ඔබේ ලග්නය හරහා ගෙන එන තොරතුරු කෙරෙහි අවධානය යොමු කර බලන්න.
මේෂ - අලුත් ගමනක්
මෙතෙක් ඇණහිට තිබූ ඔබේ දියුණුවට අදාළ කටයුතු බොහොමයක් නව මුහුණුවරකින් යුතුව ඉටු කර ගැනීමට අවස්ථාව සැලසී ඇත. ආගම දහමට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වේ. නිවාස ගොඩනැඟිලි ඉදිකර ගැනීමට අවශ්‍ය කරන පසුබිම සකසා ගත හැකි වේ. පපුවේ මහන්සිය ඇති අතර වෛද්‍ය උපදෙස් පැතීම මැනවි.
වෘෂභ - ධන ලාභ
ඔබට හදිසි ධනලාබ බලාපොරොත්තු රහිත ක්‍රමවලින් මෙන්ම බලාපොරොත්තු රහිත අවස්ථාවලදී උදාකර ගත හැකි වේ. යම් යම් අසනීප තත්ත්වයන්ගෙන් පෙළුනේ නම් එකී රෝග සමනය වී යාමට පසුබිම සැකසේ. යම් යම් තීරණ වැරදි සහගත ද විය හැකි බැවින් යමක් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ දැන උගත්කම ඇති අයගෙන් විමසා බැලීම වටී. විවාහ ප්‍රමාදවීම් වේ. ඒවා වළකා ගැනීමට ගුප්ත ශාස්ත්‍ර පිළිවෙත් පිළිපැදීම හොඳයි.
මිථුන - සතුරන් මඬී
ඔබගේ නව බලාපොරොත්තු ඉටු කර ගැනීමට පසුබිම සැලසෙනු ඇත. වැදගත් පුද්ගලයෙක් ලෙස සමාජයේ ඉහළ ක්ෂේත්‍රයක අය මුණ ගැසීමට අවස්ථාව සැලසේ. සංසාරගත සතුරෙකු ඔබට විරෝධයක් පානු ඇත. නමුත් ඔබ පුදුමයට පත් කරමින් එකී සතුරා මර්දනය කෙරෙන වැඩපිළිවෙලක් වෙනත් අය මූලික වී සිදු වනු ඇත. ඔබගේ පාරම්පරික උරුම හිමිකමක් අයිතියට තහවුරු කෙරෙනු ඇත. ආමාෂය, යටි බඩ, ඇස් යට ආදී ස්ථානවල රෝගී තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
කටක - ආදායම් තරවේ
ඔබගේ රැකියා ගැටළුවක් නිසා ගිලිහී ගොස් තිබූ ආදායම් මාර්ග තර වෙනවා ඇත. දරුවෙකුගේ ඉටු නොවී තිබූ අවශ්‍යතාවය බලාපොරොත්තු වූවා සේ ඉටුවනු ඇත. ආත්ම විශ්වාසයක් ඇති වේ. විවාහවීමට බලාපොරොත්තු වන අයෙක් නම් උසාවිය, පොලිසිය, රෝහල ආදී ස්ථානයකදී අනාගත සහකරු/සහකාරිය හමු වනු ඇත. අන් අයගේ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් කේලම් කීමටත් ඒ අය පිළිබඳ වාර්තා සැපයිමටත් පෙළඹුනොත් ගැටළු ඇති විය හැක. මේ නිසා තමාගේ කටයුතු ගැන පමණක් බලාගන්න.
සිංහ - වැඩි වැඩ නොකරන් අබරෝ
ඔබ රැකියාවක නියුතු කෙනෙක් නම් රැකියාව ආරක්ෂා කර ගැනීමට උනන්දු වන්න. තමන්ට පැවරෙන රාජකාරී උනන්දුවෙන් වගකීමෙන් නොපිරිහෙලා ඉටු කිරීමට වගබලා ගන්න. රැකියාවෙහි ඉහළ තනතුරු හැකියාව මත ශක්තීන් ආරූඪ කරගෙන ක්‍රියා නොකර මෙල්ල වී සිටින්න. නැතහොත් නිකමෙක් කිරීමට බලපාන සතුරු බලවේග ඉස්මතු වන ග්‍රහ අපලයක් මතු වේ. සෑම වැඩක්ම පරිස්සමින් සිදු කර ගන්න.
කන්‍යා - තනතුරු ලාභ
ඔබගේ බොහොමයක් සැලසුම් වෙනස් කරන්නට සිදු වනු ඇත. සමහර ප්‍රිය සම්භාෂණ ඔබ ප්‍රතික්ෂේප කිරීම සුදුසුයි. ඔබේ කේන්දරයට ගෝචර සිංහාසන යෝගයක් නිර්මාණය වී ඇත. රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් එය ඉටු වේ. තනතුරක් ප්‍රාර්ථනා කරන්නේ නම් එයද ලැබෙනු ඇත. යටිබඩ, ආමාෂය ආදී ප්‍රදේශවල රෝග ඇතිවිය හැක.
තුලා - සැප සම්පත්
ඔබ බලාපොරොත්තු වූ බොහෝ සැප සම්පත් හිමි වනු ඇත. ඔබේ විභාග ජයක්, තරග ජයක්, නඩු හබයකින් ජය ගැනීමක් ආදිය හේතුවෙන් පවුලේ ඥාති හිතවතුන් ඔබ පිළිබඳ සතුටට පත්වෙයි. තුනටිය ආශ්‍රිත රෝග, සෙම් රෝග වැනි දේ උත්සන්න විය හැකි බැවින් ඊට ඉඩ නොදෙන්න. නැතිනම් පසුවට සෙම් රෝග හේතුවෙන් නිව්මෝනියා තත්ත්ව ඇති විය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. හස්තීන්, නාගයන් ආදී සතුන් ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටින්න.
වෘශ්චික - අවුල් එපා
ඔබ වෙත එල්ලවල සතුරු පීඩා තරමක් සමනය වේ. කෙසේ වුවද යම් යම් දේ ලැබේ යැයි බලා සිටීම යහපත් නැත. යමක් ලබා ගැනීමට නම් ඉල්ලීම් කළ යුතු වෙයි. කලාත්‍රයා සමඟ යම් යම් අවුල් හෝ බහින් බස් වීම් ඇති කර නොගන්න. ඕනෑම බර වැඩක් සිදු කිරීමට නව ශක්තියක් ලැබෙන බැවින් නිවාස සෑදීමට වුවත් ආරම්භ කළාට වරදක් නැත. ගුවන් ගමන් හා දුම්රිය ගමන් යාමෙන් වලකී නම් සුදුසුයි.
ධනු - අන් සතුදේ නොගනු
කුමන වයසේ පසු වුවත් පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට පෙළඹෙනු ඇත. ඔබට නව දැක්මක් ඇති දේශනාවකට සවන් දීමට ලැබෙනු ඇත. ශරීරයේ අසාමාන්‍ය පීඩාවක් මතුවීමට ඉඩඇත. ඉඩමක යම් වෙනසක් සිදු කර නීති කරදරයක් මතු විය හැක. සතුරු බලවේගයක්ද නිර්මාණය වනු ඇත. රැකියා ස්ථානයේ දී වුවද අන්සතු දෙයක් උපක්‍රමශීලීව ඔබගේ සන්තකයට යටත් කර ඔබ වංචාකාරයෙකු ලෙස හුවා දක්වා ඔබව සේවයෙන් පහ කිරීමට සතුරු ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක වනු ඇත. කල්පනාවෙන් සිටින්න.
මකර - පරෙස්සමෙන්
ඉඩකඩම්, ගේ දොර, ගහ කොළ ආදියෙන් ලාබ ප්‍රයෝජන අත්කර ගැනීමට හැකි වනු ඇත. ඔබේ ඇඳුම් පැළඳුම් නවීන විලාසිතාවට වෙනස් වනු ඇත. නව දැකුම්කළු බවක් ඔබෙන් දිස් වේ. යම් තනතුරු ලැබීමේ භාග්‍යයද පවතී. දෙපා ආරක්ෂා කර ගත යුතුයි. මුදල් සොරකම් කිරීමේ වංචාවකට ගොදුරු වීමේ ඉඩ අධිකය. යතුරු පැදි, පාපැදිවල ගමන් කරන්නේ නම් උචිත පරිදි හිස් වැසුම් පැළඳීම ප්‍රඥාගෝචරය.
කුම්භ- සැර බීම එපා
ගින්දර, ගෑස්, විදුලිය ආදියෙන් පරිස්සම් වන්න. සැර බීම වර්ග, අරිෂ්ට පරිභෝජනය කිරීම නුසුදුසුය. කොපමණ අවශ්‍යතාවයක් පැවතුණ ද අනුන්ගෙන් මුදල් හෝ උදව් උපකාර ඉල්ලීමෙන් පලක් වන්නේ නැත. කෙනෙකුට තම ආදරය ප්‍රකාශ කිරීම හෝ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මේ කාලය එතරම් සුදුසු නැත. උණ ගස්, උක් ගස් ආදී පුරුක් සහිත ගස් පරිහරණයේදී පරිස්සම් වන්න.
මීන - රැකියාව රැකගන්න
තාවකාලිකව හෝ රැකියාවෙන් ඉවත්වීමට සිදු වනු ඇත. බරපතල ආර්ථික අපහසුතා මතුවිය හැක. ඔබ කරන ක්‍රියාවක් අන් අයෙකුට නුරුස්නා ගතිය හේතුවෙන් ඔහු කුපිතව ඔබට එරෙහිව ක්‍රියා කරනු ඇත.දේපල හේතුවෙන් මෙවැනි දේ සිදු විය හැක. ඔබ ඉක්මන් වුවහොත් ඉඩම් නඩුවලට මැදිහත් විය හැකි බැවින් ඒවාට මැදිහත් නොවීමට වගබලා ගන්න.නැතහොත් අනවශ්‍ය කරදර මෙන්ම වියදම් දැරීමට සිදු වේ. සුළු වරදක් වුවද අතපසු වීමක් වුවද බරපතල වරදක් බවට පරිවර්තනය වීමෙන් ඔබ අපහසුතාවයට පත් වෙනවා ඇත. කල්පනාකාරී වන්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
0 comments:
Post a Comment