සිඟාලෝවාද සූත්‍රයේ සැබෑ මිත්‍රයෙක් යනු කවරෙක්ද? ඔහු සතු ගුණාගත මෙන්ම චරිත ලක්ෂණ කවරක්ද?ඔහු දැන හැඳින ගන්නේ කෙසේද?යන්න පිළිබඳව මනාව පැහැදිලිකර ඇත. වර්තමාන සමාජයේ ජීවත්වන ඔබටත් මටත් මේ සැබෑ මිත්රයින්ගේ වගතුග දැන ගැනීම ඉතා වටී.එවිට මිත්‍ර ප්රතිරූපකයන් දුරුකොට කල්‍යාණ මිතරන් ජීවිතයට ලංකර ගත හැක. පුරුෂ වේවා ස්ත්‍රී වේවා ළාබාල,තරුණ හෝ මහලු වේවා පුද්ගලයින් ඇති වන්නේත් නැති වන්නේත් එනම් ජීවත සාර්ථක කරගන්නේත් අන්ත අසාර්ථක කරගන්නේත් මිතුරා නිසාය. එවැන්නෝ අප අතර සිටීමට බැරි නැත. අවශ්‍ය වන්නේ ඔහු හෝ ඇය නිවැරදිව හඳුනා ගැනීමයි.
ජ්‍යොතිෂය පිළිබඳ දැනුමත් දේහ ලක්ෂණ විද්‍යාවත් එහි අංග වන හස්තරේඛා විද්‍යාව හා ශබ්ද විද්‍යාවත් මැනවින් පරීක්ෂණාත්මකව උගෙන ප්‍රගුණ කළ අයෙකුට ද ආශ්‍රයට සුදුසු සැබෑ යහපත් ගුණවත් මිතුරා හෝ මිතුරිය ඉතාම පහසුවෙන් හඳුනාගත හැක . එවැනි උතුම් කල්‍යාණ මිත්‍රයන්ගේ ජන්ම පත්‍රවල බොහෝ විට ගුරු ග්‍රහයා ලග්නගත ය. නොඑසේ නම් ගුරු ග්‍රහයා ත්‍රිකෝණ ගත ය. එසේම එවැනි අයගේ ජන්ම පත්‍රවල පංච මහා පුරුෂ යෝග,ධර්ම කර්මාධිපති වැනි රාජයෝග පිහිටීම් දක්නට ලැබේ.එවැනි බලගතු ශුභ යෝග පිහිටි බොහෝදෙනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලණ මිතුරෝ වෙති.
පාප මිතුරෝ
අපට එදිනෙදා ජීවිතයේ හමුවන මිතුරන් අතරත් බැලු බැල්මට මිතුරු ස්වරූපයෙන් සිටින ප්‍රතිරූපක(පාපා මිතුරන්)සතර දෙනෙක් සිටී.ඒ අඤ්ඤදත්තූහර,වචීපරම,අනුප්පියභානී හා අපාය සහායක වශයෙනි.
අඤ්ඤදත්තූහර
මෙවැනි මිතුරන් හඳුනාගත හැකි ක්‍රම කීපයකි.
*හිස් අතින් පැමිණ කිසිවක් රැගෙන යාමට (කෑමක් හෝ වෙනත් යමක්) බලාපොරොත්තු වේ.
*මිතුරාට සුලු දෙයක් දී මිතුරා රවටා ලොකු දෙයක් ,උපකාරයක් බලාපොරොත්තු වෙයි.
*තමාට යම් ගැටලුවක් බියක් ඇති වූවිට ඉන් මිදීමට උපකාර ගැනීමට පමණක් මිතුරා සොයා එයි.
*අනෙකා පිළිබඳ නොතකා තමාගේ අවශ්‍යතාවය ට පමණක් කටයුතු කරන ආත්මාර්ථකාමීයෝ ය.
වචීපරම මිතුරා හඳුනා ගනිමු.
*මිතුරාට ඉකුත් වූ දෙයින් සංග්‍රහ කරයි.එනම් පැරණි යට ගිය දේ කථාවට ගනී.
*මතු දෙයින් (අනාගතයේ දී දෙන බව කියමින්) කතාවෙන් සංග්‍රහ කරයි.
*කිසිම වැඩකට නැති දෙයන් වල්පල් ඕපදූප කතාවෙන් සංග්‍රහ කරයි.
*මිතුරාට උපකාරයක් අවශ්‍ය වූ විට තමාට වූ දෙයක් යැයි සාවද්‍ය දෙයක් කියා මිතුරා මුලාකර නොමඟයවා එයින් ද මිතුරාගේ අනුකම්පාව දිනා ගනිමින් කටයුතුකර මඟහැර යයි.
අනුප්රියභානි මිතුරා
*මිතුරා වැරදි පාපී දේ කරයි නම් ඒවා අනුමත කරයි.
*යහපක් දේද අනුමත කරයි.
*මිතුරා ඉදිරියේ ගුණ වයයි.
*නැති තැන නුගුණ අඩුපාඩු කියා බැන වදී.
අපාය සහායක මිතුරා
*මිතුරා සමඟ මත් පැන් පානය කිරීමට එකතු වේ.
*නොකල්හි වීදි සංචාරය කරයි.
*නොමනා නැටුම්,ගැයුම්,වැයුම් බැලීමට යාමට එකතු වේ.
*දූ කෙළියෙහි යෙදීමට ද එකතු වේ.
දැන් ඔබට ඇසුරට ලැබී ඇති හිතවතුන්,මිත්‍රයන් හා අසල්වාසීන් මිතුරන් වෙසින් සිටින මිත්‍ර ප්රතිරූපකයන් ද යන වග මනාව පසක් කරගත හැක.එය ඔබේ ඉදිරි අනාගත ජීවිතය සාර්ථක මෙන්ම කරදර හා සිත් තැවුල් අඩු ප්‍රීතිමත් එකක් කර ගැනීමට මහෝපකාරී වේ.
කළණ මිතුරෝ මිත්‍ර ප්‍රතිරූපකයෝ සේම කල්‍යාණ මිතුරෝ සිවු දෙනෙකි.
බැලූ බැල්මට ඔවුන් මිතුරන් සේ නොපෙනුන ද ඔවුන්ගේ චරිත ලක්ෂණ විමසා බැලීමේ දී ඔවුන් සැබැවින් ම කල්‍යාණ මිතුරන් බව පෙනේ.උපකාරක,සමාන සුඛ දුක්ඛ,අත්ථක්ඛායි හා අනුකම්පක ලෙසින් ඔවුහු නාමිකව හඳුන්වති.
උපකාරක මිතුරා
යම් විපතකට තම මිතුරකු පත් වූවිට ,මත් වූ විට ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන, සිය මිතුරාගේ ධනය ආරක්ෂා කරන,බිය සැක ඇති වූ විට එය නැති කිරීමේ පිළියම් යොදන,මිත්‍රයාට අවශ්‍ය දේ මදි නොවන්නට වැඩියන් ලබාදෙන අය උපකාරක මිතුරන් ය.
සමාන සුඛ දුක්ඛ මිතුරා
තමාගේ රහස් මිතුරා සමඟ පවසන, ඔහුගේ රහස් රකින ,මිතුරාට විපතක් පැමිණි කල අත් නොහරින,සිය මිත්‍රයාගේ යහපත උදෙසා ජීවිතය පවා පූජාකරන අය මේ ගනයට වැටේ.
අත්ථක්ඛායි මිතුරා
පවෙන් වලකාලයි.,පිනට කුසලයට යොමුකරවයි.නොඇසූ නොදුටු දේ අසන්නට දකින්නට සලසයි.මිතුරාට දෙව් මිනිස් සැප ලැබෙන මඟ කියා දෙයි.
අනුකම්පක මිතුරා
මිතුරාගේ පිරිහීමේ දී සතුටු නොවේ.දියුණුව දැක අවංකව සතුටු වේ.මිතුරාගේ නුගුණ කියන්නන් වලකාලයි.ගුණ කියන්නන් ට ප්‍රශංසා කරයි.
මෙවැනි කල්‍යාණ මිතුරන් හැකිතාක් ලංකර ගන්න.එවිට ඔබගේ යහපත මෙන්ම කීර්තිය ද වඩයි.
බුදුරදුන් දීඝජානු කෝලිය සිටු පුත්‍රයාට ව්‍යග්ග පජ්ජ සූත්‍රය දේශනා කරමින් මෙලොව අභිවෘද්ධියට හෙවත් දියුණුවට ඉවහල් වන කරුණු සතරක් පෙන්වා දී ඇත.උට්ඨාන සම්පදා,ආරක්ඛ සම්පදා,කල්‍යාණ මිත්තතා යනු යහපත් ගුණවත් මිතුරන් ඇසුරයි.එවැනි මිතුරන් ඇසුරේදී වෙහෙස මහන්සියෙන් උපයන ධනය මෙන්ම ගොඩනඟා ගත් කීර්තිය සුරැකේ.පාප මිත්‍ර සේවනයේ දී උපයාගත් ධනයත් ගොඩනඟා ගත් කීර්තියත් දිනෙන් දින පිරිහී විනාශ වෙයි.එය සිදුවන ආකාරය පවා සිතා ගත නොහැක.
මේ කලියුගයයි.කලියුගය ආරම්භ වී අදට වසර 5115 ගත වෙමින් පවතී.කලියුගයේ කල්‍යාණ මිත්‍රයන් සොයා ගැනීමත් එසේම යහපත් ගුණවත් සිල්වත් සැබෑ මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමත් ඉතා අසීරු ය.කෙසේ වෙතත් ඔබ මෙතෙක් ගත කළ ජීවිත කාලයේ ඔබට ආශ්‍රයට ලැබුණු ලංවී සමීප වූ ඔබේ හිතගත් අය මිත්‍ර ප්රතිරූපකයන් ද නොඑසේ නම් සැබෑ කලණ මිතුරන් ද යන වග නුවනින් උක්ත ධර්ම කරුණුවලට අනුරූපව සිතා බලන්න.
එය ඔබේ ඉදිරි ජීවිත කාලයත් ඉදිරි සසර භව ගමනත් ආලෝකමත් වීමට හේතු වෙයි. ත්‍රිහේතුක සම්පත්තියෙන් ද ක්ෂණ සම්පත්තියෙන් ද යුතුව අෂ්ට දුෂ්ටාක්ශනයෙන්ද තොරව උපභෝග පරිභෝග සම්පතින් යුතුව වටිනා විරල වූ උතුම් මිනිසත් බව පාප මිතුරන් නිසා නාස්ති කර නොගෙන සැබෑ මනුෂ්‍යයෙකු ලෙස කටයුතු කර උතුම් අයෙකු සේ මිය යන්න.පෙර පිනෙන් ලද මනුෂ්‍ය ආත්මයේ දී උපරිම ප්‍රයෝජන ගත යුතු ය.ආලෝකයෙන් ආලෝකයටම යා යුතු ය.අප සිදුකරන පින්කම් යහපත් ක්‍රියා අපගේ ඉදිරි භව ගමන සැපවත් කර ගැනීමට උපකාරී වන්නේ ය.නිවැරදි ධර්මාවබෝධය ඒ සඳහා අවශ්‍ය වන බව සිතට ගන්න.
ජ්‍යොතිෂවේදී දේශබන්ධු මහේන්ද්‍ර පල්ලේබැද්ද
0 comments:
Post a Comment